ලෝකය වෙනස් වීගෙන යන්නේ ඉතා පුදුම සහගත ලෙසය. තව ටික දිනකින් ඇමරිකාව තනි ගමනක් යන්නට පටන් ගන්නා අතර ඇමරිකාවේ ආධාර උපකාර සහ ඔපීනියන්වලින් ජීවත් වූ රටවල් සියල්ලම එවිට ඇදවැටෙනවා ඇත. ඇමරිකාව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අස්විය. US AID සංවිධානය ජනාධිපති ට්‍රම්ප් විසින් විසුරුවා හරින ලද නිසා එහි ආධාරවලින් ජීවත් වූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල එන්.ජී.ඕ. සියල්ලම හිඟමනට පත් වෙනවා ඇත. ඇමරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ රටේ ළමයින්ට කිසිදු සේවයක් නොකරන බව සඳහන් කළ ජනාධිපති ට්‍රම්ප්, එම දෙපාර්තමේන්තුව වසා දැමීය. මේ නිසා ඇමරිකාවට අලුත් සතුරන් විශාල වශයෙන් සෑදී තිබේ. වර්තමාන ඇමරිකන් මතවාදයට එරෙහි වන රටවල් අතරින් කැනඩාව සහ ප්‍රංශය යන රටවල් ප්‍රමුඛය. ඇමරිකාවේ තිබෙන ලිබර්ටි ප්‍රතිමාව 1865 දී ප්‍රංශය විසින් එරටට තෑගි කරන ලද්දකි. තඹ, යකඩ, පිත්තල යනාදියෙන් සාදා ඇති මෙම ප්‍රතිමාව, නිව්යෝර්ක් නගරයේ බෲක්ලීන් ගංගාව දිගේ යාත්‍රාවකින් යන ඕනෑම කෙනකුට බලාගත හැකිය. ඇමරිකාවේ ජාතික සංකේතය වන්නේ මේ පිළිරුවය. ප්‍රංශයේ ජාතික සංකේතය වන්නේ අයිෆල් කුලුනය. එංගලන්තයේ ජාතික සංකේතය වන්නේ බිග්බෙන් ඔරලෝසුවය. ලංකාවේ ජාතික සංකේතය නෙළුම් කුලුන ද නොඑසේ නම් දළදා මාලිගාව ද යන්න ලිඛිතවම නිරාකරණය කරගත යුතුව තිබේ. ඇමරිකාවේ වර්තමාන ප්‍රතිපත්තියට එරෙහි වන ජනප්‍රිය ප්‍රංශ දේශපාලනඥයකු පසුගියදා කියා ඇත්තේ, 1865 දී තම රට ඇමරිකාවට ලබාදුන් ලිබර්ටි ප්‍රතිමාව ආපසු ඉල්ලා ගත යුතු බවය. රෆායෙල් ග්ලුක්ස්මන් නමැති මේ දේශපාලනඥයා ඉදිරියේ දී ප්‍රංශ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට සූදානමින් සිටී. මේ මනුස්සයා ප්‍රංශ ජනාධිපති වුණොත් ලිබර්ටි ප්‍රතිමාව ආපසු ඉල්ලමින් නිතර නිතර ඇමරිකාවට කරදර කිරීමට ඉඩ තිබේ. මේ වධය නිසා ජනාධිපති ට්‍රම්ප්ට තද වුණොත් ඔහු ලිබර්ටි ප්‍රතිමාව ආපසු ප්‍රංශයට පටවා, ඒ ආකාරයේම ප්‍රතිමාවක් ඇමරිකාවේ මුදලින් නිර්මාණය කොට ලිබර්ටි ප්‍රතිමාව තිබූ තැන හිටවනවා ඇත. දුන් දේ ආපසු ඉල්ලීමේ ජාත්‍යන්තර දේශපාලනය ක්‍රියාත්මක වීම ඉතාම භයානකය. ඉන්දියාව සහ චීනය ලංකාව සමග තරහ වුණොත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගලවා චීනයට දීමට අපට සිදුවෙනවා ඇත. එම සම්මන්ත්‍රණ ශාලාව චීන ත්‍යාගයකි. ජපානය අප සමග තරහ වුණොත් රූපවාහිනී සංස්ථාව ගලවා එරටට දීමට සිදුවේ. ඉන්දියාව අප සමග තරහ වුණොත් ඒ රටින් ආධාර වශයෙන් අපට ලබාදුන් කෑම පවා වැමෑරීමට අපට සිදුවෙනවා ඇත. අද අපගේ ප්‍රමුඛ මාතෘකාව වන්නේ ලිබර්ටි ප්‍රතිමා සිද්ධිය නොව, මේ රටේ ජනතාව නැවත වරක් රට රැකියා සොයා යෑමට පටන්ගෙන ඇති බවට ඉරිදා දිවයිනේ පළවූ පුවතකි. අරගලය පැවැති කාලය තුළදී මේ රටේ ජනයා විශාල වශයෙන් විදේශගත වූහ. එහෙත් රට යථා තත්ත්වයට පත්වූ පසු එසේ පිටරට යෑම නැවතිණ. ඇමරිකාව කොහොමටත් මේ දිනවල පිටරැටියන් සිය රටට වද්දා ගන්නේ නැත. සංක්‍රමණිකයන් ලෙස ඇමරිකාවට පැමිණ සිටින මැක්සිකානුවන් හයලක්‍ෂයක් පමණ ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වනවිට පිටුවහල් කර ඇත. බෝට්ටුවෙන් එන ලාංකිකයන් නැවැත්වීම සඳහා ඔස්ටේ්‍රලියානු වෙරළාරක්‍ෂක හමුදාව දවසේ පැය විසිහතරම නිදා නොගෙන, ඇහැ ඇරගෙන බලා සිටී. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ බි්‍රතාන්‍යය වැනි රටවල් සංක්‍රමණික නීති රීති දැඩි කර තිබේ. වෙන රටවල ජනතාවට රස්සා දෙනවා තබා තම තමන්ගේ රටවල ජනතාවටවත් රස්සා ලබාදීමට මේ රටවලට නොහැක. එසේ වුවද පිටරට ගොස් අතරමං වීමට පවා කැමැත්තෙන් ලංකාවේ මිනිස්සු රට හැර යති. මෙයට හේතුව රට තුළ පවත්නා දැඩි ආර්ථික පීඩනයයි. මාස හයක් වැනි කෙටි කලකින් මේ රට ගොඩදැමීමට අනුර දිසානායකට නොහැකි බව ජනතාවට නොතේරෙයි. කෙසේ වුවද මෑත කාලයේ දී බලයට පත් වාසනාවන්තම ශ්‍රී ලාංකික ජනාධිපති වන්නේ අනුර දිසානායකය. ඔහු ගෝඨාභයට වඩා ඉතාම වාසනාවන්තය. ගෝඨාභය රට භාර ගන්නා විට විදේශ ණය ගෙවීමට තිබුණත් අනුර දිසානායක රට භාර ගන්නා අවස්ථාවේ දී විදේශ ණය ගෙවීමට 2028 තෙක් කල් ලැබී තිබුණි. ගෝඨාභයගේ කාලයේ දී පාස්කු බෝම්බය නිසා පළමුවත්, කොරෝනා වසංගතය නිසා දෙවනුවත් සංචාරක ව්‍යාපාරය බිඳවැටිණ. ඒ අර්බුදය අනුරට නැත. ගෝඨාභයගේ කාලයේ හටගත් කොරෝනා විසින් මේ රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද අතර අද එවැනි ඇබැද්දියක් අනුරට නැත. කෙසේ හෝ වේවා දීර්ඝ කාලයක් බඩගින්නේ සිටි මේ රටේ ජනයා තවදුරටත් බඩගින්නේ නොසිටිමුයි ප්‍රාර්ථනා කර රට යන්නටම බලති. මෙසේ රට යෑම ආර්ථිකයක් තුළදී දෙආකාරයකට විග්‍රහ කරනු ලැබේ. පළමු වැන්න බුද්ධිගලනයයි. දෙවැන්න ශ්‍රමගලනයයි. බුද්ධිගලනය යනු රටේ සිටින විද්වත් වෘත්තිකයන් හෙවත් මොළෙන් ගේම් ගහන කට්ටිය රට යෑමය. ශ්‍රමගලනය යනු අත පය හතර එහා මෙහා කර එමගින් ශ්‍රමය උපදවා ගේමක් ගසන කට්ටිය ය. මෙය තවදුරටත් විග්‍රහ කරන්නේ නම් වෛiවරුන්, ඉංජිනේරුවන්, පරිගණක තාක්‍ෂණික ඉංජිනේරුවන් යනාදීන් වැටෙන්නේ බුද්ධිගලන කොටසටය. කම්කරුවන් වැටෙන්නේ ශ්‍රමගලන කොටසටය. මේ දෙගොල්ලොම නැතුව රටක් ගොඩනැඟීමට නොහැක. එනම් රට හැදීමට මොළයත්, අතපය හතරත් යන දෙකම වුවමනා වේ.
ලංකා ඉතිහාසයේ අවුරුදු 73 කින් එළැඹුණු ලොකුම ආර්ථික අර්බුදය 2021 දී එළැඹි බව මෙරට ආණ්ඩුව ඒ අවුරුද්දේ ප්‍රකාශ කළේය. 2021 අගෝස්තු වන විට කොරෝනාව නිසා ආර්ථිකය කොතරම් බිඳවැටුණේ ද යත් ආහාර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට රජයට සිදුවිය. කොරෝනාව නිසා රට වසා තිබූ බැවින් කඩවල බඩු හිඟ විය. තිබෙන බඩුවල මිල වැඩි විය. මෙය ආර්ථික අර්බුදයකට ගමන් කරනු ඇතැයි එවකට සිටි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල කීවේය. ගෝඨාභයගේ ආණ්ඩුවේ සිටි ඇමැතිවරුන්ගෙන් ඉදිරි ආර්ථික අර්බුදයක් ගැන පුරෝකථනයක් කළ පළමු ඇමැතිවරයා උදය ගම්මන්පිල ය. අප ඔහුගේ නම මෙහි බහාලන්නේ ඔහු අපගේ බාප්පා කෙනකු හෝ මාමා කෙනකු නිසා නොව ඉහත කී විශේෂ අවස්ථාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නිසාය. 2022 ආරම්භය වන විට විශේෂඥයන් ද ඇතුළු වෛi නිලධාරීහු 2000 ක් ලංකාවෙන් පිටරටවලට ගොස් රැකියා කිරීමට පටන්ගෙන සිටියහ. සමහර දොස්තරවරු සාත්තු සේවකයන් ලෙස පවා වැඩ කළහ. අපේ රටේ දොස්තර කෙනකු ගන්නා පඩිය මෙන් අටගුණයක පමණ පඩියක් පිටරටක සාත්තු සේවකයෙක් උපයයි. එක්තරා අවස්ථාවක දී දොස්තරකම, නීතිඥකම, විශ්වවිද්‍යාල මහාචාර්යකම, ඉංජිනේරුකම යන සියල්ලම මිනිසුන්ට එපා වෙයි. මොකද මේ කිසිවක් දීමෙන් කඩෙන් බඩු ගැනීමට නොහැක. කඩෙන් බඩු ගැනීමට නම් සල්ලි අත්‍යවශ්‍යය. ඒ නිසා මිනිස්සු ස්වකීය රැකියා පිළිබඳ ඇති අභිමානය කාණුවට දමා පිටරට හෝටල්වල පිඟන් සෝදති. අද මතුව තිබෙන බරපතළම තත්ත්වය වන්නේ, ලෝකය ආර්ථික අර්බුදයක ගිලී සිටින අවස්ථාවක මෙරට ජනයා රැකියා සොයා පිටරට යෑමය. අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවත් ටිකක් ඉවසාගෙන මේ රටේ සිටින ලෙසය. සමහර විට තව වසරක පමණ කාලයක් තුළ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමට ඉඩ තිබේ. හැබැයි අපගේ පුරෝකථනය අවවාදයක් ලෙස සලකා මේ රටේ නවතින අයකු වෙතොත් ඔහුට කීමට කාරණයක් අපට තිබේ. එනම් තව අවුරුද්දකින් රටේ ආර්ථිකය හරි නොගියොත් ඊට අප වගකියන්නේ නැත.