ඉවසමු ඉවසමු මළාට පසුවත් ඉවසමු

1053

ඉදිරි අවුරුද්දක කාලය තුළ ශ්‍රී ලංකාවේ තෙල් ප්‍රශ්නය මේ ආකාරයටම පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු යැයි ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර පවසා තිබේ. මෙය මේ රටේ මාධ්‍ය මගින් වාර්තා කරන ලද්දේ ඉතා පුංචිවටය. එහෙත් මෙය ඉතාම ලොකු සිද්ධියක් වන බැවින් ඒ ගැන දැඩි අවධානයක් යොමු කිරීම අපගේ වගකීමය. ඇමැතිතුමාගේ මේ ප්‍රකාශයත් සමඟම තෙල් පෝලිමේ සිට වෙනදාට තෙල් ලීටර් 5 ක් ගසා ගන්නා එකා අද සිට කොහෙන් හෝ තෙල් ලීටර් 10 ක් ගසා ගැනීමට උනන්දු වී තිබේ. මේ නිසා තෙල් ප්‍රශ්නය තව තවත් උග්‍ර වී ඇත. මීට අවුරුදු 150 කට පෙර ඛනිජ තෙල් සොයා ගත් මුල් අවදියේදී එවකට පිරිපහදු කරගත නොහැකිව කළු තාර ලෙස පැවති එම දියරය පසු කාලයේදී ලෝකයේ ප්‍රධාන ගාමක බලවේගය වනු ඇතැයි කවුරුත් කල්පනා කළේ නැත. එහෙත් අද වන විට තෙල් නැතිව කිසිම දෙයක් කිරීමට බැරි අතර තෙල්වලින් ආණ්ඩු පෙරළීමටත්, ආණ්ඩු පිහිටුවීමටත් පුළුවන.

ශ්‍රී ලංකාව උපයන හෝ ණයට ගන්නා හෝ මුදලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ඛනිජ තෙල් ගෙන්වීම පිණිස ය. අපි රටට දරාගත නොහැකි වන තරමට වැඩකටයුතු කරගෙන ඇති ජාතියක් වෙමු. මේ රටට හයිවේ අවශ්‍ය නැතත් අපි ඒවා ඉදිකළෙමු. අද ඉන්ධන අර්බුදයත් සමඟම තෙල් පෝලිම්වල සිටීමට වාහනවලට සිදු වී ඇති බැවින් හයිවේ හිස් වී ඇති අතර ඉදිරියේදී ඒවා වී වේලීම සඳහා සුදුසු වනවා ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් කරනු ලැබිය යුතුව තිබුණේ හයිවේ සෑදීම නොව තිබෙන මාර්ග පළල් කර උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යෑමය. එහෙත් එමගින් හොරකම් කිරීමට බැරි නිසා හයිවේ ඉදිකර කොමිස් ගැසීමට දේශපාලනඥයෝ කල්පනා කළහ. දැරිය නොහැකි තරම් විශාල වාහන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ තිබේ. රටේ ජනගහනය දෙකෝටි විසිලක්‍ෂයක් වන අතර, ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් වාහන ඇත. මෙහිදී අප වාහන ලෙස හඳුන්වන්නේ පෙට්‍රල් හෝ ඩීසල්වලින් දිවෙන රෝද හතරේ සහ රෝද දෙකේ වාහන ය. ඊට අමතරව විශාල ප්‍රමාණයේ බර භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන, ක්‍රේන්, ජෙනරේටර්, තණකොළ කපන යන්ත්‍ර, ගොයම් කපන සුනාමි වැනි උපකරණ ද විශාල වශයෙන් මේ රටේ තිබේ. මෙහි පාරවල දුවන ඇතැම් සුඛෝපභෝගී රථයක් ඉන්ධන ලීටරයකට කිලෝ මීටර් 2 ක් හෝ 3 කට වැඩි ප්‍රමාණයක් නොදුවයි. වාහනවලින් නිකුත්වන කාබන් මොනොක්සයිඩ් නිසා දැරිය නොහැකි තරමට අපේ පරිසරය හානි වී ඇත.

මේ මොන කතාව කිව්වත් ඉන්ධනවලින් දිවෙන වාහනවලින් වෙන් වී බර කරත්ත සමඟ ජීවත් වීමට අපට හැකියාවක් නැත. බර කරත්ත පැත්තකින් තබමු. බයිසිකල් (පාපැදි) සමඟවත් අපේ ජීවිතය ඉදිරියට ගෙන යෑමට නොහැක. යුරෝපයේ විශාල රටවල් වැඩි ගණනකත් ආසියාවේ චීනය, ජපානය සහ කොරියාව වැනි රටවලත් බයිසිකල්වලට විශේෂ තැනක් හිමිව තිබේ. එයට හේතුව ඒ රටවල වැඩකරන ජනතාව ස්වකීය සේවා ස්ථානයට කිලෝමීටර් 3ක් හෝ 4 ක් පමණක් දුරින් ජීවත් වීමට පුරුදු වී සිටීමය. මේ නිසා එවැනි රටවල ජනයාට වැඩට යෑමට කිසි කරදයක් නැතිව බයිසිකලය යොදා ගත හැක. එහෙත් අපේ රට හැඩගැස්වී ඇති ස්වරූපය අනුව මහඉලුක්පල්ලමේ ජීවත්වන වැසියාත් කොළඹ වැඩට ඒමට පුරුදුව සිටී. ගාල්ල, මාතර, හම්බන්තොට ඉන්න මිනිහාත් වැඩ කරන්නේ කොළඹ ය. මාතර සිට උදේට කොළඹ එන කන්තෝරු කෝච්චිය නිතරම පවතින්නේ පිරී ඉතිරිලා ය. ඒ අනුව කොළඹ සිට මාතරට බයිසිකලයෙන් වැඩට යෑම කරන්නට ගියහොත් ඒ මිනිසාට වැඩට යෑමට සිදුවන්නේ දවස් තුනකට සැරයකි. එබැවින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන්ධන සමඟ ජීවත් වීමට අපට සිද්ධ වී තිබේ. දැනට තිබෙන තෙල් පෝලිම්වල මහජනතාව දැඩි දුකක් විඳිති. ආණ්ඩුව තෙල් ගසා ගැසීම සඳහා ටෝකන් ද, වාහන නම්බර් ප්ලේට් එකේ අවසාන අංකය ද, QR කේතය නමැති තවමත් ක්‍රියාත්මක නොකරන ඩිජිටල් ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබේ. මේ ක්‍රමවලින් වඩාත්ම ප්‍රායෝගික වන්නේ QR කේත ක්‍රමයයි. මේ මගින් ඉන්ධනහලට එවන ඉන්ධන ප්‍රමාණය සහ පාරිභෝගිකයන් විසින් පරිභෝජනය කරන තෙල් ප්‍රමාණය සංඛ්‍යාත්මකව වාර්තා වේ. මේ මොන මඟුල තිබුණත් ලොකු ප්‍රශ්නයක් තිබේ. ඒ වූ කලී තෙල් නැතිවීමය. දැනට තෙල් ගසා ගැනීම සඳහා පෝලිමට යන කෙනකුට අවම වශයෙන් පැය 24 ක් පෝලිමේ චාටර් කෑමට සිදු වේ. සමහරු පැය 48 සහ පැය 72 වශයෙන් පෝලිමේ සිටිති. එසේ ඉඳලාත් තෙල් ගසාගැනීමට බැරිවන අවස්ථා බහුලය. තෙල් ගසා ගැනීමට බැරි වූ තැන මිනිසුන් කරන්නේ ආණ්ඩුවටත්, ෂෙඩ් එකටත්, තෙල් ඇමැතිටත් හෙණ ඉල්ලමින් ආපසු ගෙවල් බලා යෑමය.

මෙහි අවසන් ඵලය දෙස බලන්න. තෙල් ගැසීමට යන මිනිසාට සතියකට දවස් 1ක්, 2ක්, හෝ 3 ක් රස්සාව කර ගැනීමට නැත. ඔවුන් නිතරම සිටින්නේ කෝපයෙන් සහ ද්වේශයෙනි. ගිනි අව්වේ තෙල් පෝලිමක ජීවත් වීම යනු ඉතාම දුෂ්කර ව්‍යායාමයකි. තෙල් පෝලිමක සිටින විට මිනිස්සු විජලනය වෙති. තෙල් පෝලිම්වල සිදු වී ඇති මරණ සංඛ්‍යාව 25 කට වැඩිය. එසේ තිබියදී තවත් අවුරුද්දක පමණ කාලයක් මේ දුක විඳින්නැයි මිනිසුන්ගෙන් ඉල්ලා සිටි විට ඔවුන්ට හිතෙන්නේ තෙල් ඇමැති උල තැබීමටය. තෙල් ඇමැති ද අසරණයෙකි. ඔහුට ද කර ගැනීමට දෙයක් නැත. ආණ්ඩුව මේ වෙලාවේදී විසඳිය යුතු ප්‍රමුඛ ප්‍රශ්නය වන්නේ තෙල් ප්‍රශ්නයයි. තෙල් නැතිව කිසිවක් වැඩ කරන්නේ නැත. අනෙක තෙල් මිල ඉහළ යෑම කිසිසේත් ම දැරීමට නොහැක. පසුගිය මාස 3 ක කාලය තුළ තෙල් මිල සිව් ගුණයකට කිට්ටු ප්‍රමාණයකින් ඉහළ ගියේය. ඒ සමඟම සියලු භාණ්ඩ හා සේවා මිලද හතර ගුණයකින් වැඩි විය. එහෙත් කිසි කෙනකුගේ වැටුප එක ගුණයකින්වත් වැඩි වී නැත. මේ වෙලාවේදී ඛනිජ තෙල් සමාන වන්නේ ඔක්සිජන්වලට ය. ඔක්සිජන් නැතිව ජීවත්වීමට බැරිය. තෙල් නැතිව ජීවත් වීමට හැකි වුවත් එය මළ මිනියක පැවැත්ම හා සමාන ජීවිතයක් ය.

advertistmentadvertistment
advertistmentadvertistment