ඉවසීම පරීක්‍ෂා නොකරනු

1284

පවතින ආර්ථික අර්බුදය නිසා මේ රටේ ජනයා කබලෙන් ළිපට වැටී තිබේද? කබලෙන් ළිපට වැටීම යනු ඉතා පැරණි සාම්ප්‍රදායික සිද්ධියකි. අපගේ වැටහීම නම් මිනිසුන් පමණක් නොව කබලද මේ මොහොතේදී ළිප ඇතුළට වැටී ඇති බවය. දැන් මේ ගිනියම් වූ කබල තිබෙන්නේ ගිනි අඟුරු මත වැටී සිටින ජනතාවගේ පිට උඩය. ආහාර හිඟය එන්නම එන්නම නරක් වෙමින් පවතී. වෙළෙඳ සල්වල ෂෝකේස් හිස්වෙලා ඇත. වෙනදා ඒවායෙහි තිබූ කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අතුරුදන් වී තිබේ. මේ හිස් තැන් පිරවී ඇත්තේ Low Fat කිරි පිටි, මෝල්ටඩ් මිල්ක් වර්ග, චොක්ලට් බීම වර්ග යනාදියෙනි. ඊට අමතරව තවමත් පිට රටින් ගෙන්වන සෝස් වර්ග, චීස් වර්ග, රස කැවිලි යනාදිය මේ රාක්කවල ඉතිරිව පවතී. ඇතැම් විට, සාමාන්‍ය ජනයාට ඉතා කලාතුරකින් කන්නට ලැබෙන මේ විදේශීය ආහාර 50% හේ ඩිස්කවුන්ට් දමා විකිණීමට සුපර් මාර්කට් මැනේජර් ලා උත්සහ කරති. ඇතැම් සුපිරි වෙළෙඳ සල්වල දෛනික වෙළෙඳ භාණ්ඩ අලෙවිය 50% ක් පහළ බැස ඇත. මිනිස්සු තමන්ට මිලදී ගැනීමට වත්කමක් නැති භාණ්ඩ අත පත ගා මනෝ රසයෙන් කුල්මත්ව හිස් අතින් ගෙවල් බලා යති. එය මනුස්සයාගේ ගතියයි.

 සාමාන්‍ය ජනයා නොදන්නවාට ටීවී එකේ පෙන්වන කෑම උයන වැඩසටහන් වැඩිපුරම ජනප්‍රිය වන්නේ ආහාර හිඟ කාලයටය. මෙය ලොවම පිළිගත් කාරණයකි. ටීවී එකේ සිටින සූපවේදිනිය හදන ෆ්‍රයිඩ් නූඩ්ල්ස්, ඩෙවල් චිකන්, ස්වීට් ඇන්ඩ් සවර් ප්‍රෝන්ස්, මස්ටඩ් පෝක් වැනි මිල අධික ආහාර දෙස බලා ඒවා මනසින් අනුභව කර ඊළඟ මොහොතේදී පතෝලයි බතුයි කෑමට මනුස්සයාට හැකියාව තිබේ. එය තිරිසනාගෙන් මිනිසා වෙන්කරන සාධක බොහොමයක් අතරින් වැදගත්ම එකකි. ජීවන වියදම ඉහළ නැගීමේ සීමාවක් නැත. මීට අවුරුදු තුනකට පෙර රුපියල් 50 ට අඩුවෙන් තිබූ පාන් රාත්තල අද රුපියල් 170 කි. එම පාන් ගෙඩියම පෙති ගසා පොලිතීන් බෑගයක බහාලූ විට රුපියල් 200 කි. මෙයට අවුරුදු තුනකට පෙර කිලෝව රුපියල් 900 නොඉක්මවූ කිරි පිටි අද එක්කෝ රුපියල් 2545 කි. නැත්නම් රුපියල් 2800 කි. එයද වෙළෙඳ පොළට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

ජනතාවට සිදුවී ඇත්තේ එවැනි කිරි පැකට් අත පත ගා එහි රසය මනසින් උරා බීමය. මේ අතර ජනතාවගේ අවසන් පිළිසරණ වශයෙන් තිබූ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොසේ වෙළෙඳ ශාඛාවල පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත. මෙයට දින කිහිපයකට පෙර සතොස ශාඛාවල රුපියල් 175 ට විකුණූ ඉන්දියන් පොන්නි සම්බා කිලෝව රුපියල් 200 දක්වාත් රුපියල් 145 ක්ව තිබූ රතු සහල් මිල රුපියල් 175 දක්වාත් රුපියල් 170 ක්ව තිබූ සීනි කිලෝව රුපියල් 177 දක්වාත් රුපියල් 489 ක්ව තිබූ රතු පරිප්පු කිලෝව රුපියල් 560 දක්වාත් ඉහළ නැග තිබේ. මේ අනුව එයාර් කන්ඩිෂන් කළ සුපිරි වෙළෙඳ සල්වල බඩු මිලත් එයාර් කන්ඩිෂන් කර නැති කුණු කරෝල ගඳ හාත්පස පැතිරෙන දහදිය දමන සතොසේ බඩු මිලත් එක සමාන වෙමින් පවතී. හැමෝම කියන්නේ ඩොලරයේ දෝෂයයි. මෙවැනි අර්බුදකාරී ආර්ථික සමයකදී පාවිච්චියට ගැනීම සඳහා සුදුසු කිසිදු වගාවක් අප විසින් කරනු ලැබ නැත. මේ නිසා ඉදිරියේදී අපට සිදුවනු ඇත්තේ කුසගිනි කිඹුලා කිරි මැටි කන්නාක් මෙන් කුසගිනි ළමයාට මඩ වලින් තැනූ බිස්කට් කවන හයිටි රාජ්‍යය තැනට පත්වීමය.මේ රටේ මිනිස්සු තවමත් ඉතාම හොඳය. ඇමැතිවරුන්ගේ මන්දිරවලට පහරදුන් අපතයන් ද අතරින් පතර සිටිති. සාමාන්‍යයෙන් මේ රටේ දැනට හටගෙන ඇති ආහාර හිඟය හා සමාන ආහාර හිඟයක් වෙන රටක තිබුණේ නම් එය Food Riotsවලින් අස්ථාවරවීම නොවැළැක්විය හැකිය.මේ රටේ ජනයා වූකලී ඉවසීම කෙරෙහි අප්‍රමාණ Practice එකක් ඇති පිරිසකි. ඔවුහු ඉවසීමේ සීමාව දක්වා ඉවසති. ඉවසීමේ සීමාව පැන්න පසු ඔවුහු යළිත් මුල සිට ඉවසති. හැබැයි කුසගින්න ඉතා දරුණු ලෙස තමන් පෙළන විට ස්වකීය ඉවසීමේ ශක්තිය කෙතරම් කල් පවතිනු ඇත්ද යන්න ගැන කාටවත් හැඟීමක් නැත. ඒ නිසා මිනිසුන්ගේ ඉවසීම පරීක්ෂා කිරීමට ගොස් අනවශ්‍ය ලෙඩ දමා ගැනීමෙන් වැළකී සිටීමට ආණ්ඩුව කල්පනා කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment