ඉෂාලිනීට සීමා නොවූ මහ සමාජ ඛේදවාචකය

256

දහසය හැවිරිදි ජූඞ් කුමාර් ඉෂාලිනී දැරියගේ මරණය ඝාතනයක්ද එසේ නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත. මෙම තත්ත්වය හමුවේ ඇයගේ සිරුර යළි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතය. මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මගින් අදාළ පරීක්‍ෂණය කිරීමට නියමිත බවද වාර්තා වෙයි. මළ මිනිසුන් බොරු කියන්නේ නැතැයි විශ්වාසයක් තිබේ. ඒ අනුව ඉෂාලිනිගේ ඛේදවාචකයේ සැබෑ තත්ත්වය ඉදිරියේදී රට හමුවේ හෙළිදරව් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්‍ෂාවෙන් සිටිති.
 
 ඉෂාලිනි දැරිය අපයෝජනයට ලක්වෙන්නේත්, මිය යෑමට පෙර ගිනි තබා ගත්තේ නම් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී වීම නිසා මේ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය. මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙද්දී තවත් තරුණියන් කීපදෙනෙකුටත් සිදුවූ අපචාර සිද්ධීන් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත. හිටපු ඇමැතිගේ මස්සිනා කෙනෙකු එක් තරුණියක් දූෂණය කර තිබුණේ ඔහුගේ නිල නිවෙසේ බවටද වාර්තා විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයකුගේ නිවසේදී මෙවැනි මහා අපරාධයන් සිදුවෙද්දී එය හෙළිදරව් කිරීම මාධ්‍යයේ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
 
 එහෙත් මේ පිළිබඳව කතාකරන ඇතැම්හු මෙවැනි පුවත් වැඩි වැඩියෙන් පළවෙන තරමට එවැනි අපරාධ තවත් තවත් වැඩි වැඩියෙන් සිදුවන බවට තර්ක කරති. එහි අර්ධ සත්‍යක් තිබිය හැකිය. නමුත් මාධ්‍ය මගින් මේ පිළිබඳව නිසි අනාවරණයක් සිදු නොකළානම් මෙම සිද්ධිය යටපත් වීමට තිබූ ඉඩකඩ වැඩිය. දේශපාලන හයිය සහ මිල මුදල් හමුවේ මෙවැනි සිදුවීම් යටපත් වීමට ඇති ඉඩ වැඩි නිසා ඉෂාලිනිට සිදුවූ අපරාධයට යුක්තිය ඉටුවන තෙක් අපි ඒ පිළිබඳව සිදුකරන සියලූ හෙළිදරව් කිරීමට පසුබට වන්නේ නැති බවද අවධාරණය කරනු කැමැත්තෙමු.
 
 කලක් අප රට ධර්මද්වීපයක් ලෙස හැඳින්වූවද මේ රට පවිටන්ගේ දේශයක් බවට පත්වෙමින් තිබීම අතිශය කනගාටුදායකය. ඉෂාලිනිට අමතර තවත් දහස් ගණනින් අප රටේ දුවා දරුවන් අපයෝජනයට ලක්වී සිටිති. මේ මොහොතේදීත් අප රටේ කොයි මුල්ලක හෝ මල්කැකුළු විනාශ කරන පාපතරයන් කි‍්‍රයාකාරිව සිටිනා බව රහසක් නොවේ. ඉෂාලිනිට කළ අපරාධයට යුක්තිය, සාධාරණය ඉල්ලා සිටින අයුරින්ම අප රටේ අන් දුවා දරුවන්ද අපයෝජකයන්ගෙන් බේරා ගැනීම සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා පෙරට එන්නැයි සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
 
 ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පෙන්වා දෙන අයුරින්ම පසුගිය මාස හයට පමණක් ළමා අපයෝජන 4740ක් සිදුව තිබේ. පෙරේදා නොරොච්චෝල ප‍්‍රදේශයෙන් වාර්තා වූයේ 14 හැවිරිදි දැරියක දම්වැලකින් ගැට ගසා කුකුළු කූඩුවක සිරකර තැබූ පුවතකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පියා හා නැන්දා අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු පහළොවක දැරියක ගැබිනියක් කළ 21 හැවිරිදි අයකු හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. අසභ්‍ය දර්ශන පෙන්වා වයස අවුරුදු හයක දැරියට ලිංගික අතවර කළ පාදඩයකු ඉකුත්දා මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි. මේ අතර කාලයක් තිස්සේ දැරියක අපයෝජනයට ලක්කළ පුද්ගලයන් පස්දෙනකු පිළිබඳව ගොකරැුල්ලෙන් වාර්තා විය.
 
 අප ඉහතින් සඳහන් කළේ ඊයේ පුවත්පත් වාර්තා කර තිබූ අපයෝජන සිද්ධීන් කීපයක් පමණි. මේ අයුරින් දිනපතාම අප රටේ දුවා දරුවන් අපයෝජනයට ලක්වන විට තවදුරටත් නිහඬව සිටියහොත් ඉන් සිදුවිය හැකි මහා සමාජ ඛේදවාචකය අතිශය තීරණාත්මක ලෙස අප රටේ අනාගතයට බලපානු ඇත. එනිසා මේ පිළිබඳව අප මුළුමහත් සමාජයම ගැඹුරින් කල්පනා කර මෙම අපචාර වැළැක්වීම සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කළ යුතුමය. අපයෝජකයන්ට දඬුවම් ලබාදීම සඳහා නීතිරීති වැඩිකළ යුතු සේම අප රටෙන් ගිලිහී යමින් තිබෙන සාරධර්ම රැකගැනීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.
 
 ඒ සඳහා ආගමික නායකයන්ට මෙන්ම අප රටට ආදරය කරන වැඩිහිටි පරපුරට අත්හළ නොහැකි වගකීමක් ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු.


advertistmentadvertistment