ඉස්කෝලත් නැති ඔන් ලයිනුත් නැති දරුවන්ගේ කතාව

215

බොහෝ පාසල් සිසුන් රස්සාවල්වලටත් ගිහින්!

80%ක් දරුවන්ට අධ්‍යාපනය අහිමියි

මේ දිනවල අපට බොහෝ දරු දැරිවියන් දැකගත හැකි වෙන්නේ එක්කෝ තෙල් පෝලිමකය. නැති නම්, නිවසේ “සූම්” ඉගෙනුම් ක්‍රියාවලියකය. බොහෝ දරුවන්ට ළමා කාලය අහිමි වී තිබේ. දරුවන්ගේ අනාගතය ගැන රටේ හැම වැඩිහිටි පුරවැසියකුටම ඇත්තේ අනියත බියකි. ඇත්තෙන්ම එය රටේ අනාගතය ගැන ඇති වන “බිය”ම යැයි කීම සාධාරණය. අපේ රටේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්න පටන් ගෙන මේ වනවිට වසර හතරකට ආසන්න කාලයක් ගතව තිබේ.

එහෙත් ඒ වසර හතර පුරාවටම මේ රටේ අමන දේශපාලනඥයන් මේ දරුවන්ගේ අනාගතය ගැන ගත් නිවැරදි තීන්දුවක් අප දුටුවේ නැත.

● අර්බුදයේ ඉතිහාසය

අධ්‍යාපනයේ අඳුරු යුගය පටන් ගන්නේ පාස්කු ප්‍රහාරයත් සමගය. ඊළඟට බලපෑවේ කොරෝනා වසංගතයයි. කොරෝනා පළමු රැල්ලෙන් පාසල් පද්ධතිය සහ විශ්වවිද්‍යාල පද්ධතිය මාස ගණනක් වැසුණු අතර කොරෝනා දෙවැනි රැල්ලෙන් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය පමණක් නොව ජීවිත ද බිලිගත්තේය.

කොරෝනා වසංගතයත් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ආරම්භ වූ අතර එමගින් ඇති වූයේ අධ්‍යාපනයේ විෂමතා තීව්‍ර කරන විකෘති අධ්‍යාපන ක්‍රමයකි. එමගින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වූයේ සියයට 20 කට ආසන්න සිසුන් පිරිසකට පමණි. බොහෝ සිසුන්ට සහ ගුරුවරුන්ට තාක්ෂණික මෙවලම් හිඟය මෙන්ම දැනුම නොමැතිකමද අන්තර්ජාල සංඥා දුර්වල මට්ටමක පැවතීමද දැඩිව බලපාන්නට විය.

ගෙවුණු දෙවසර තුළ සනාථ වු එක් කරුණක් ඇත. ඒ මෙරට තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය අසාර්ථක බවයි. එසේම එමගින් බොහෝ පිරිසකට අධ්‍යාපන අයිතිය ද අහිමි වන බවය. විභාගවලදී සිසුන් මෙහි ප්‍රතිවිපාකවලට හොඳින් මුහුණ දී තිබේ.

වඳුරාගේ අතට දැලි පිහිය ලැබුණා සේ මෙම මෙවලම් පාවිච්චි කර අවසානයේ එහි බලපෑමෙන් බොහෝ ළමයින් වීඩියෝ ගේම් සඳහා යොමු වූ අතර ජංගම දුරකථන සඳහා ඇබ්බැහි විය. ජංගම දුරකථන ඇබ්බැහිය නිසා සියදිවි නසා ගැනීම, කුඩා වයසේදීම (12-13) ගැහැනු දරුවන් ගැබ් ගැනීම, කුඩා වයසේදීම අධ්‍යාපනය අතහැර රැකියා සඳහා යොමු වීම, මත්ද්‍රව්‍ය ආදී දේ සඳහා ඇදී යෑම හැඳින්විය හැක.

● කෝප් වාර්තා

පසුගියදා රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කොරෝනා පැවති වසර දෙකට වඩා වැඩි වේගයකින් පසුගිය කෙටි කාලසීමාවේදී මුදල් අර්බුදය නිසා දරුවන්ගේ අධ්‍යාපනය විනාශ වී ඇතැයි අනාවරණය විය. 2020 වසරේදී ළමුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වීම 54% ලෙස වාර්තා වූ අතර 2021 වසරේදී එය 88% ලෙස වාර්තා විය. සීමිත කාලයක් පමණක් පාසල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක විභාගයට අදාළ කර ගන්නා විෂය නිර්දේශයේ වපසරිය ආවරණය කිරීමට නොහැකි වීම තුළ දරුවන් මෙන්ම ගුරුවරුන් ද දැඩි පීඩනයකට ලක්ව ඇත.

● ඩොලර් අර්බුදය විසඳෙන විට රටේ අධ්‍යාපනය

රට තුළ ඇති වී ඇති ඩොලර් අර්බුදය කවදා අවසන් වේද යන්න පේන තෙක් මානයකවත් නැත. එහි ප්‍රතිඵලයක් ලෙස රජය කරන්නේ ඉන්ධන හිඟ වන සැණින් රාජ්‍ය සේවයට නිවාඩු දීමයි. පාසල් සිසුන්ට 2022 වසරේ උදා වුණේම පරණ ණය ගෙවමිනි. එනම් 2021 වසරේ අවසාන පාසල් වාරය 2022 වසරේ අප්‍රේල් 08 තෙක්ම ඇදී ගියේය. පරණ ණය ගෙවා අවසන් වූ සිසුන්ට නව පාසල් වාරය ආරම්භ වූයේ අප්‍රේල් 18 වැනිදායි. වසරේ මාස 3 ක් කලින් පාසල් වාරය වෙනුවෙන් කැප කළ පාසල් සිසුන්ට යළි රටෙහි ඇති වූ අරගල නිසා යළිත් පාසල්වලට නිවාඩු ලැබිණි. දැන් යළි යළිත් පාසල් ළමුන්ව තලා පෙළන්නේ ඉන්ධන අර්බුදයයි. ආණ්ඩුව විසින් මේ වනවිට බස්නාහිර පළාතේ නගරාශ්‍රිත පාසල්වලට සති දෙකක කාලයක් නිවාඩු ලබාදී ඇත. ඊට පෙර සතියේ පාසල් පැවැත්වුණේ දින 2 ක් පමණි. ඒ රජය විටින් විට නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම නිසාය. මෙවර විදුලිය හරස් වී ඇත. මේ දිනවල මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකිරීමට දිවා කාලයේ විදුලිය විසන්ධි නොකරන ලෙස පැවසුවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පවසන්නේ විදුලි කප්පාදුව සහ පාසල් අධ්‍යයන කටයුතු සිදු කිරීම යන කරුණු දෙකම සම්බන්ධයෙන් එක ලෙස ප්‍රමුඛතාව ලබාදිය නොහැකි බවයි.

2022 වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස. (සා.පෙළ) විභාගය 2023 වසරේ පෙබරවාරි දක්වා කල් දමා තිබේ. විභාගයක් කල් දමනවා යනු ජීවිතය වසර ගණනකින් පසුපසට යෑමකි. ඊට අමතරව පසුගියදා පැවති අ.පො.ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵල ඇගයීම් කටයුතු සිදුකරන මධ්‍යස්ථාන කිහිපයක කටයුතු අත්හිටුවීමට සිදු වී තිබේ. ඒ උත්තරපත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන හා ප්‍රවාහන ගැටලු හේතුවෙනි. ඇමැතිවරයා සඳහන් කරන්නේ ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදී ඉන්ධන ලබාදෙන බවයි. රජය කුමක් පැවසුව ද ඉන්ධන හලට ලියුමත් රැගෙන යන ගුරුවරයා අන්ත අසරණ වේ. ඒ ඉන්ධන හල් අසල මේ වනවිට බිහිව ඇති පාතාල කෙරුමන්ගෙන් සහ සාමාන්‍ය ජනයාගෙනි. ඔවුන් මේ ලියුම් තඹයකට මායිම් කරන්නේ නැත. එහිදී ඔවුන් පමණක් නොව ගුරු වෘත්තිය ද හෑල්ලුවට ලක් වේ.

● බුද්ධි ගලනයක් සිදුවීම

වත්මන් තත්ත්වයත් සමග “ඉන්න හිතෙන රටක් වෙනුවට යන්න හිතෙන රටක්” බවට රට ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබේ. මේ වනවිට පාස්පෝට් කන්තෝරුව අභියස දිගු පෝලිම් නිර්මාණය වී ඇත. ඒ රට හැර යෑමටයි. මෙලෙස යන්නේ රටේ දැන උගත් රටට සේවයක් කළ හැකි පිරිසය. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ආචාර්ය, මහාචාර්යවරුන් මේ අතර ප්‍රමුඛය. මෙලෙස සිදුවන බුද්ධි ගලනය නවත්වා ගැනීමට රජය කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද?

● ජනතා අදහස්

අර්බුදයෙන් අධ්‍යාපනයට සිදුවී ඇති හානිය පිළිබඳ රටේ ජනතාවගේ අදහස් විමසීමට ද අප අමතක කළේ නැත. ජනතාව තුළ දැන් රටෙහි නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳ ඇත්තේ බිය මුසු හැඟීමකි. වෛරයකි. දුකකි. මුලින්ම මේ පිළිබඳ අපට අදහස් දැක්වූයේ ඔෂිලා නන්දනී මහත්මියයි.

ඕනම දෙමාපියෙක් තමන්ගේ දරුවාට අධ්‍යාපනය ලබාදීමට තෝරා ගන්නෙ ප්‍රදේශයේ තිබෙන හොඳ පාසලයි. එහෙම තෝරා ගනිද්දී ඒ පාසල ගෙවල් ළඟම වගේම ගොඩක් දුරින් තියෙන්නත් පුළුවන්. අපි තෝරාගත් පාසල තියෙන්නෙ කළුතර. අපි ඉන්නෙ මතුගම ආසන්නයේ. අපි ළමයි පාසලට ඇතුළත් කරන කොට තිබුණු තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නෙ. මගේ මහත්තයා විතරයි රැකියාව කරන්නෙ. ඒ වෙනකොට තිබුණු තත්ත්වය අපට දරාගන්න පුළුවන් තත්ත්වයක තිබුණෙ. නමුත් දැන් තියෙන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්..

ඊළඟට අපට අදහස් දැක්වූයේ දින ගණනක් පැවති ඉන්ධන පෝලිමකදී හමු වූ නම හෙළි කිරීමට අකැමැති වූ ටියුෂන් පන්ති ගුරුවරයෙකි.

දැන් ළමයි ඉගෙන ගැනීමට තරම් සුදුසු කායික සහ මානසික මට්ටමක නෙවෙයි ඉන්නෙ. ළමයි අපෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි මොකද සර්, වෙන්නෙ කියන එක. ඔවුන්ටත් දැන් තේරෙනවා ඉදිරි අනාගතය අඳුරුයි කියලා. ළමයින්ට සාධාරණ බියක් තියෙනවා ඉගෙන ගත්තත් මෙරට තුළ ඔවුන්ට අනාගතයක් තියෙයිද කියලා. අද වෙනකොට රට වගේම අධ්‍යාපනයත් අගාධයට වැටිල ඉවරයි. මේක පටන් ගත්තෙ කොරෝනා ව්‍යසනයත් එක්ක. දැන්නම් ඒක උච්චතම අවස්ථාවෙ තියෙන්නෙ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමයින් දෙදෙනකුම සිටින පියෙක් මීළඟට අපට හමුවිය. ඔහු නමින් මංගල නිශාන්තය. ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.

මගේ ළමයි තුන්දෙනාගෙන් දෙදෙනෙක්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. අනෙක් ළමයා තුන වසරේ ඉගෙන ගන්නේ. අද වෙනකොට තුන්දෙනෙක්ට උගන්වනවා කියන්නෙ බොහෝම අමාරු වැඩක්. මේ පාර ඕලෙවල් ලියන ළමයි දෙන්නට යන වියදම දරාගන්න අමාරුයි.

කලවාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අජිත් කොඩිතුවක්කු මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

මට ගැහැනු ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඉන් දෙදෙනෙක් දැනට පාසල් යනවා. මම පදිංචි වෙලා ඉන්නෙ පාසල් ආසන්නයේම නිසා ප්‍රවාහන අපහසුතා මට ඇති වෙන්නෙ නැහැ. ඒත් දුව ඇවිත් කියනවා එයාගෙ යාළුවො අද ඉස්කෝලෙ ආවෙ නැහැ. එයාලගෙ තාත්තල තෙල් පෝලිම්වල කියලා. මේ දවස්වල අතුරු මාර්ගවල බස් ධාවනය සිදු නොවන තරම්. එක වසරේ දෙක වසරේ ළමයෙකුට වුණත් එක දවසක් පාසල මඟ ඇරුණත් ඒක ලොකු පාඩුවක්. මොකද ළමයෙකුගෙ අත් අකුරු හදන්නෙ, අකුරු හඳුනා ගන්නේ මේ වසරවලදී නිසා. අපි නොහිතුවට පොඩි ළමයෙකුට වුණත් එක දවසක වුණත් ලොකු වටිනාකමක් තියෙනවා.

අදහස් දැක්වූ සියලු දෙනාම පවසන්නේ හෙට දවස අවිනිශ්චිත බවයි. අඳුරු වලා තුළ රිදී රේඛාවක් පේන තෙක් මානයක නැත. ළමුන්ට මෙන්ම ගුරුවරුන්ට ද මේ ව්‍යසනය තදින් දැනී තිබේ. පසුගිය දිනක සමාජ මාධ්‍ය වෙත පාසලක විදුහල්පතිනියක යොමු කළ කෙටි සටහනින් මේ ලිපිය අවසන් කරන්නට තීරණය කළා. “මේ රටේ තව වැඩි දවසක් ජීවත් වෙන්න බැරි වෙයි. ඔයාලා ඉක්මනින් යන්න. දැනටමත් අපිට බලාගෙන ඉන්න බැරි දේවල් වෙනවා. පාසලට පොලුයි බතුයි ගේන ළමයි ඉන්නවා. කලන්තෙ හැදිලා වැටෙන ළමයි වැඩි වෙලා.”

ඉස්කෝලත් නැති ඔන් ලයිනුත් නැති දරුවන්ගේ කතාව
advertistmentadvertistment
advertistmentadvertistment