ඉස්කෝලෙ ගිහිල්ලත් හමාරයි…පාසල් උපකරණ මිල තුන් ගුණයකින් නගී

500

වැලිපිල්ලෙ අකුරු ලියන දවස වැඩි ඈතක නොවේ….

පොත්පත් ගන්න ගෙවල් ඉඩම් උගස් තියන්න වෙලා

පිටු 80 පොතක් රු.145යි

චිත්‍ර පොතක් රු. 270යි

සපත්තු ජෝඩුවක් 4000යි

වර්තමාන ආර්ථික අර්බුදය හරහා පැන නැගී ඇති ගැටලු අද රටේ ජනතාවට දැනෙන්නේ විවිධාකාරවය. අහස උසට නැගුණු බදු බරත්, සෞඛ්‍ය ප්‍රශ්න, ජල, විදුලි, දුරකථන බිල් හා ජීවත්වීමට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මිල වැඩිවීමත් නිසා රටේ ජනතාව ජීවන බරින් මිරිකී හෙම්බත්ව සිටී. එහෙව් රටක අහිංසක දරුදැරියන්ගේ අධ්‍යාපනයටත් ආර්ථික අර්බුදය මේවන විට තට්ටුකර අවසන්ය. රටක වටිනාම සම්පත අනාගත දරු පරපුර කිවහොත් එහි කිසි වැරැද්දක්ද නැත. එහෙත් දැන් සිදුවන්නේ අහස පොළොව නුහුිලන අපරාධයකි. එනම් දිනෙන් දින පොත්පත් සහ අධ්‍යාපනික උපකරණ මිල ඉහළ යෑමය. මේ වනවිට ඒවායෙහි මිල 300්‍ර කට වඩා වැඩිවී තිබේ. සෙස් බද්ද නිසා මෙම ගණන් තවත් වැඩිවීමට පුළුවන. එමගින් සිදුවන්නේ අහිංසක දරුදැරියන් හා දෙමාපියන් අසරණ වීමය. අද අපේ කතාව ඒ ගැනය…

මේ වනවිට පාසල් යන දරුවන් සිටින දෙමාපියන් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවී සිටී. ඒ නව පාසල් වාරයට ළමුන්ට පොත්පත්, පාසල් උපකරණ, ඇඳුම්, සපත්තු ආදිය මිලදී ගන්නේ කෙසේද යන ගැටලුවෙන් ඔවුන් දැඩි පීඩා විඳින බැවිනි. ළමයින් දෙතුන් දෙනෙක් සිටින පවුලක නම් මේ ගැටලුව තවත් උග්‍ර වේ. වෙනදා මිලදී ගත් මිලට වඩා තුන් ගුණයක් මේ වනවිට ඒ සඳහා දරන්නට සිදුවේ. ඉදිරියේදී හැම දෙයකටම මෙන් පාසල් උපකරණ වලටද වාරික වශයෙන් ගෙවා ලබාගත හැකි ක්‍රමයක් ඒමට බැරි නැත. ඒ තරමටම පාසල් උපකරණවල මිල වැඩිවී ඇත.

පසුගිය කාලය පුරාම මෙරට දරු පරපුරට නිසි පරිදි සිය අධ්‍යාපන කටයුතු සිදුකර ගත නොහැකි වූහ. ඒ රට තුළ පැවති ත්‍රස්ත ක්‍රියා, කොරෝනා වසංගතය, විවිධ අරගල, ඉන්ධන අර්බුද ආදී දහසකුත් ප්‍රශ්න අධ්‍යාපනය මතට කඩා පාත් වීම නිසාය. ඒ සියල්ල කෙමෙන් කෙමෙන් සමනය වෙද්දී පොත්පත් හා පාසල් උපකරණවලින් බලපෑම් එල්ල කරමින් පවතී. එම බලපෑම කොතෙක්ද යත් මේ වනවිට රටේ ප්‍රධාන ජනමාධ්‍ය තුළ මෙන්ම පාර්ලිමේන්තුවේ පවා එය ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. එසේම විවිධ හේතු නිසා පාසල් නොයන ප්‍රමාණය

10%‍ -15%ක් වේ.

අද දවස වන විට පාසල් උපකරණවල මිල ඉහළ යෑම දෙමාපියන්ට දරාගත නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ මර්දනයෙන් මෙන්ම බදු බරින් බැටකමින් සිටින බැවිනි. ජනතාවට තිබෙන එකම පිහිට, එකම සිහිනය එකම සැනසිල්ල තම දරු පැටවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී ඔවුන් හෝ මේ නරා වළෙන් එගොඩ කරවීමය. නමුත් දැන් එයත් සිහිනයක්ම වී ඇත.

● පොත් මිල වැඩිවීම

පිටු 80 ක අභ්‍යාස පොතක් පැවතියේ රුපියල් 45-50 ක සීමාවේය. නමුත් එය දැන් 145 ක් පමණ වේ. රුපියල් 70 ක්ව පැවැති පිටු 120 ක පොතක් රුපියල් 170කි. පිටු 160 ක පොතක් රු. 220කි. පිටු 80ක චිත්‍ර පොතක් රු. 270කි. මේ සඳහන් කළේ කුඩාම ළමුන් පවා භාවිත කරන පොතක දෙකක මිල ගණන්ය. ලොකු ළමුන් භාවිත කරන CR පොත් දෙස බැලීමටවත් නොහැක. පිටු 40 CR පොතක් 140කි. පිටු 80 220කි. පිටු 120 පොතක් 320කි. පිටු 160 410කි. පිටු 200 පොතක් රු. 560කි. පිටු 400ක CR පොතක් රු.920කි.

අනෙකුත් උපාංග මිලද එසේමය. රු. 10 තිබූ පෑන 40 – 50 කි. අඩිරූලක් රු.60කි. මකන කෑල්ලක් රු. 40ක් පමණ වේ. කටර් එකක් 60කි. කුඩා ළමුන්ගේ කෑම පෙට්ටියක් 350කි. වතුර බෝතලයක් 470කි. හයිලයිට් සහ මාකර් පෙන් මිලද රු.100 පමණ වේ. කවකටු පෙට්ටියක් රු. 575කි. සපත්තු කුට්ටමක් 4000-5000කි. 1500ට තිබුණු පොත් බෑගයක් 4000කි.

දැනුම වර්ධනය වීමට නම් නිරන්තරයෙන් ප්‍රශ්න පත්‍ර කට්ටල ආදිය කළ යුතුය. නමුත් දැන් ඒවායේ මිල ගණන්ද නොසිතූ ලෙස ඉහළ ගොස් තිබේ. මීට මාස කීපයකට පෙර රුපියල් 300-500 අතර මිල සටහන් වූ ප්‍රශ්න පත්‍ර කට්ටලයක අද මිල රුපියල් 1000-1500 කි.

කුඩා ළමුන් නිරන්තරයෙන් චිත්‍ර අඳී. අත හුරු වන්නේ එවිටය. කුඩාම පාට පෙට්ටියක් රු. 170කි. ලොකු පාට පෙට්ටියක මිල 300-400 අතර පවතී. ඒ පැස්ටල් වර්ගයේ පාටය. පාට හයක පාට පැන්සල් පෙට්ටියකුත් 250ක් වේ. ප්ලැටිග්නම් වර්ගයේ ඒවා රු. 400ත් 800ත් අතර පවතී. සාමාන්‍ය ගම් කුප්පියක් 175 කි. එය කලින් පැවැතියේ රුපියල් 90 කටය. බයින්ඩර් වර්ගයේ ගම් කුප්පියක් 480කි. කතුරක් රු. 120කි. A4 කොළයක් රු. 10 ක් වේ. කොළ කපා අලවා විවිධ නිර්මාණ කිරීම පොඩ්ඩන්ගේ සිරිතයි. ඒ තුළින් ඔවුන් බොහෝ දේ ඉගෙන ගනී. නමුත් අද වනවිට මේ සියල්ල නතර වී ඇත.

පාසල් තුළදී එක් එක් විෂයයට අදාළ කරුණු වෙන වෙනම ෆයිල් කවර වල බහා තබාගනී. ඒ සඳහා භාවිත කරන සාමාන්‍ය ෆයිල් කවරයක් පැවැතියේ රුපියල් 10 -15 කටය. දැන් එය ඉලක්කම් තුනේ සීමාවට පැමිණ ඇත. මකන කෑල්ල, කටර් එක, කතුර, ඩිමයි කොළ, වාර්නිෂ් කොළ ආදී දහසකුත් එකක් දේවල් දිනපතා පාසල් යන ළමුන්ට අවශ්‍ය වේ. වෙනදා පසුදින පාසලට අවශ්‍ය දේ මිලදී ගැනීමට දෙමාපියන්ගෙන් රුපියල් 100 – 150 ක් ඉල්ලා ගත් විට මේ බොහෝමයක් දේ ලබාගත හැක. නමුත් දැන් රුපියල් සියයකට මෙයින් එක දෙයක්වත් ලබාගැනීමට අසීරුය.

● පරිගණක යුගයෙන් ගල් යුගයට

මේ ලෝකය ගෝලාකාරය. අපගේ ජීවිතද චක්‍රයක් මෙන් එම ගෝලය තුළ කරකැවේ. අතීතය යළි යළිත් පුනරුච්ඡාරණය වේ. ලංකාව තුළද මේ තත්ත්වය දැන් දැන් වේගයෙන් සිදුවෙමින් පවතී. පසුගිය කාලයේ ගෑස් වලින් ඉවුම් පිහුම් සිදුකළ අය දර ළිපට අවතීර්ණ වූහ. යාන වාහන වලින් ගිය අය බයිසිකලයට බැස්සහ. නැතිනම් ඇඟටත් හොඳයි කියා පයින්ම ගියහ. අධ්‍යාපනයට මේ සිදුවෙමින් පවතින්නේද එයමය. නැවතත් ගල්ලෑල්ලට ගල් කූරට නැතිනම් වැලි පීල්ලෙ අකුරු ලියන කාලයක් උදාවීමටද බැරි නැත. රටේ අනාගත පරපුරේ අධ්‍යාපනය විනාශ වූවාට බලධාරීන්ට වගේ වගක් නැත. මොන අර්බුදය ආවත් පාසල් පද්ධතියට නිවාඩු ලබාදෙන්නේ ඒ නිසාය. අවසානයේ බිහිවන්නේ නූගත් පරපුරකි. නූගත් ජනතාව පාලනය කිරීම පහසුය. ඔවුන්ට අවශ්‍ය ද එය ය.

කිසිදු දේශපාලනඥයෙකුට මේ අර්බුද බලපාන්නේද නැත. මන්ද ඔවුන්ගේ ළමුන් බොහෝමයක් ඉගෙන ගන්නේ විදෙස්ගතවය. ඒ සඳහා වැයවන්නේද මෙරට මහජනයා ගෙවන බදු මුදල්ය. ළමුන් කුසගින්නේ පාසල් පැමිණීම, එකම පොතේ විෂයයන් දෙක තුනක් ලිවීම, රබර් සෙරෙප්පු කටු දෙකක් දමාගෙන පාසල් පැමිණීම ගැන ඔවුන්ට වගේ වගක් නැත. එලෙස පැමිණෙන තරමට ඔවුන් කැමතිය. ජන්දයක් ආසන්න වන විට පොත් ටිකක්, සපත්තු කුට්ටමක් ලබාදී දුප්පත් ජනතාවගේ ඡන්දය කොල්ල කෑමට පාලකයන්ට මේ වාතාවරණය පැවතිය යුතුය.

පාසල් සිසුන්ට උදාවී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳ ජනතාවට දැනෙන ආකාරය අපි විමසා බැලුවෙමු.

තිලක් චන්දන මහතාකියන්නේ මෙවැන්නකි.

● පොත්පත් ගන්න ගෙවල් ඉඩම් උගස් තියන්න වෙලා

අද දවස වෙන කොට ළමයි පාසල් යැවීමත් ලොකු අභියෝගයක් වෙලා. පාසල් බස් ගාස්තු, ඇඳුම් පැළඳුම්, කෑම බීම ආදී හැම දේකටම දරන්න බැරි තරම් වියදමක් යනවා. දැන් ඒ මදිවට පොත්පත් මිල ගණන් අහස උසට නැගලා. ඉස්සර නම් ළමයින්ගේ වියදම් අපිට දැනුනේ නැහැ. ඒත් දැන් තියෙන ආර්ථික මට්ටමත් එක්ක ඒක දරාගන්න අමාරුයි. අලුත් පාසල් වාරයට පොත්පත් අරන් දෙන්න ගෙවල් ඉඩම් උගස් තියන්න වෙලා. ඒ තරමට කෑම බීම වල මිල වගේම අපටත් නොදැනීම මේ දේවල්වල මිලත් අහස උසට නැගලා කියලා.

මට දරුවන් තිදෙනකු සිටිනවා. එයින් දෙදෙනකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. ඒ තුන් දෙනාට පොත් ටිකයි, සපත්තුයි, බෑග් අරන් දෙන්නයි විතරක් ලක්‍ෂයක්වත් ඕන. ඉස්කෝලෙන්, පන්ති වලින් දිනපතා දෙන ප්‍රශ්න පත්‍ර මෙන්ම අනෙකුත් විශේෂ කරුණු සටහන් ෆොටෝ කොපි ගහන්නම මාසෙකට බර ගානක් යනව. වියදම් කොතෙක් වැඩිවුවත් පවුලේ ආදායම සතයකින් හෝ වැඩිවෙලා නැහැ. දුව තවමත් පොඩි නිසා එයාට පාට පෙට්ටි, ගම් කුප්පි, කතුරු ආදිය නිතරම අවශ්‍ය වෙනවා. පොත් පැන්සල් මෙන්ම එම ද්‍රව්‍යවල මිල ගණන්ද නොසිතූ විරූ ලෙස ඉහළ ගිහින්.

මීළඟට අදහස් දැක්වූයේ තරුෂ නෙත්මිණ පාසල් සිසුවායි.

● දැන් අපට දුක තේරෙන නිසා දෙමවුපියන්ට කරදර කරන්නත් බැහැ

දැන් පාසල් යන එකත් ලොකු ගැටලුවක් වෙලා තියෙන්නෙ අපට. ඉස්කෝලෙන් වගේම ටියුෂන් පන්තිවලිනුත් ගොඩක් වැඩ දෙනව පසුගිය කාලයේ අතහැරුනු පාඩම් ආවරණය කිරීමටත් එක්කම. CR පොතක් දැන් රු. 500ක් වෙනව. ඉස්කෝටෙයි ටියුෂන්වලටයි පොත් කීයක් ඕනෙද. ඒත් ගෙවල්වල තත්ත්වය දැන් අපට හොඳට තේරෙන නිසා හැමදාම අම්මලට කරදර කරන්නත් බැහැ. ඒගොල්ලො අපට කන්න අඳින්න දෙන්නත් ගොඩක් මහන්සි වෙනව. මගේ සපත්තු දෙකම කැඩිලා. අලුත් දෙකක් දැන් 4000 ක් 5000 ක් වෙනවා. කලින් පාසල් පාවහන් තිබුණේ රුපියල් 2000 ට වගේ. යාළුවො එක්ක ඉන්න කොට හැමදාම නැහැ බැහැ කියන්නත් බැහැ. එහෙම කියල වෙන කරන්න දේකුත් නැහැ. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් ඩේටා කාඩ් එකක්වත් දැන් ගන්න පුළුවන්ද?

ආර්. ප්‍රියන්ත මහතා කියන කතාව වැදගත්ය.

● එකම පොතේ විෂයයන් දෙක තුන ලියල

ගුරුවරයෙක් වශයෙන් අද දරුවන් විඳින පීඩාව දැක්කම පුදුම දුකක් දැනෙන්නෙ. ගොඩක් ළමයි උදේට කාලාවත් නෙවෙයි ගෙදරින් එන්නෙ. කලින් නම් කිරි වීදුරුවක් බීල ආව. දැන් ඒකත් නැහැ. උදේ රැස්වීමේදී ගොඩක් ළමයි කලන්තෙ දාල වැටෙනව. දවල්ට කන්න ගේන්නෙ නැහැ. කැඩිච්ච සපත්තු සෙරෙප්පු දාගෙන එන්නෙ. ගෙදර වැඩ දුන්නම කරගෙන එන්නෙ කීයෙන් කී දෙනාද. එකම පොතේ විෂයයන් දෙක තුන ලියල. ඉස්සර නම් ළමයෙකුට පොතක් පෑනක් නැති වුණාම අපි ඕන තරම් අරන් දෙනව. දැන් ඒකත් කරන්න අමාරුයි මේ මිල ගණන් වැඩිවීමත් එක්ක. අපිත් දරු පවුල් කාරයොනෙ.

ඩොලර් හිඟයක් සමඟ කඩදාසි මිල නොසිතූ ලෙස මිල ඉහළ ගිය එක ඇත්ත වුණත් රජය මැදිහත්වෙලා හරි මේ ළමයි වෙනුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව හරහා හෝ අඩු මිලට අභ්‍යාස පොත් ලබා දෙනවනම් හොඳයි. නැතිනම් ළමයි වගේම අපිත් ළමයි ඉස්සරහ අසරණ වෙනවා.

පොත් පත් මිල ඉහළ යෑම පිළිබඳ මුද්‍රණ ආයතන කිහිපයකින්ම විමසූ විට ඔවුන් පැවසුවේ ඩොලර් අර්බුදයත් සමඟ මුද්‍රණ කඩදාසි දැඩි හිඟයක් පවතින බවත් මේ වන විට සෑම අංශයකින්ම නිෂ්පාදන පිරිවැය විශේෂයෙන්ම ජලය, විදුලිය, අධික බදු බර, වැනි හේතු නිසා මිල පහළ දැමිය නොහැකි බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරක් පාර්ලිමේන්තුවේදී සිය කතාව අවසානයේ ආජු තපර ලාහිලා ගීතයද ගායනා කළේය. එහි එක තැනක මෙසේ සඳහන් වේ. “අප පමණ ද එක තැන කැරකෙන්නේ, අප තනිකර ලෝකය දිව යන්නේ.” අප ලෝකයත් සමඟ ඉදිරියට යෑමට නම් අලුත් අලුත් දේවල් නිපදවිය යුතුය. නව තාක්‍ෂණය ලබාගත යුතුය. නමුත් එසේ නොවුණුහොත් අපට සිදුවන්නේ ළිං මැඬියන් සේ ළිඳ තුළට වී සිටීමටය. නමුත් අද දවස වන විට සිදුවෙමින් පවතින්නේද එයමය. හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක්ද වන ඔබ අධ්‍යාපනයේ වටිනාකම හොඳින්ම දන්නවා ඇත. එසේම රටේ අනාගත පරපුර භාරය. එම වගකීම නිසි ලෙස ඉටුකරනු ඇතැයි සමස්ත රටේම දෙමාපියන් බලා සිටී.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment