ඉස්සර වික්කේ වකුගඩු; – දැන් විකුණන්නේ සම්පූර්ණ මිනිස්සු…

844

Human Smuggling නමැති යෙදුමක් ඉංග්‍රීසි භාෂාවේ තිබේ. මේ යෙදුම නිසි ලෙස අර්ථ නිරූපණය කරන සිංහල යෙදුමක් අපේ භාෂාවේ නැත. සාමාන්‍යයෙන් ඉහත සඳහන් යෙදුම සිංහලෙන් හඳුන්වන්නේ මිනිස් ජාවාරම ලෙසය. එහෙත් එමගින් Human Smuggling යන යෙදුමට හරියාකාර අර්ථ නිරූපණයක් ලැබෙන්නේ නැත. මිනිස් ජාවාරම ලෙස හඳුන්වන්නේ මිනිසුන් විසින් කරනු ලබන මොකක් හෝ ජාවාරමක්ය. මෙවැනිම ප්‍රශ්නයක් ළමා අපචාරය යන යෙදුමේ ද තිබේ. ළමා අපචාර යනු ළමයින් විවිධ අපචාර ක්‍රියාවල නිරත වීමය. එහෙත් ළමා අපචාර යන යෙදුම මගින් හඳුන්වන්නට අදහස් කරන්නේ ළමයින් අපහරණය වීමය. අලුත් අලුත් වැඩවලට අලුත් අලුත් වචන අලුතෙන් නොහැදීම නිසා සිංහල භාෂාව කිසියම් තැනක සිරවී ඇති බවක් පෙනේ. ‘හියුමන් ස්මගලින්’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී වැඩකරන අය විසින් රටකින් රටකට ගෙන යෑම, පැහැරගෙන යෑම, එසේ පැහැරගෙන යෑමට තැත් කිරීම හෝ එම කාරණාවලට උදව් කිරීම යන්නයි. ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට ගෙන යන තරුණ තරුණියන් මීකොං ගඟ හරහා ලාඕසයට ගෙන ගොස් විකිණීමේ වැඩපිළිවෙළක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පසුගියදා හෙළි කළේය. ඔහු කියන පරිදි නීතියෙන් තරුණ තරුණියන් තායිලන්තයේ බැංකොක් නුවර බලා ගෙනයනු ලබන්නේ ආගමන විගමන පනත උල්ලංඝනය නොකර සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ලෙසය. තායිලන්තයට ගිය පසු ඔවුන්ට හොර වීසා ගසා ලාඕසයට අලෙවි කරනු ලැබේ. මේ කාරණයේදී මිනිස් ජාවාරම්කරුවෝත් තායිලන්තය සහ ලාඕසයේ ඇතැම් ආගමන විගමන නිලධාරීහුත් එකතු වී වැඩ කරති. මෙය ඉතාම පුළුල් මට්ටමින් සිදුවන අපරාධයකි. ඒ ගැන කතා කිරීම පසුවට තබා මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී සෞදි අරාබියේ නිවසක වධ බන්ධනයට ලක්වෙන දෙදරු මවක් ගැන කතා කිරීමට අපි කල්පනා කළෙමු.

ගම්පොළ පදිංචි සශිනි මධුෂානි ගුණසේකර ගම්පොළ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මගින් මීට කලකට පෙර සෞදි අරාබියට ගියේය. ඇය යන්නේ ගෘහ සේවිකාවක ලෙසය. සාමාන්‍යයෙන් දැනට වසර කීපයක පටන් සෞදි අරාබියේ ගෘහ සේවයට යන කාන්තාවන්ට මේ රටේ සිටින ඒජන්සිකාරයා විසින් රුපියල් ලක්‍ෂ දෙකක් හෝ රුපියල් ලක්‍ෂ හතරක් ගෙවනු ලැබේ. මධුෂානිව රට යැවූ ඒජන්සිකාරයා ද ඇය වෙනුවෙන් ලක්‍ෂ හතරක් ගෙවීමට පොරොන්දු විය. ඒත් ඔහු කවදාවත් ඒ මුදල නොදුන් අතර ඒජන්සියට විසිපාරක් පමණ ගෑටීමෙන් පසු ඇගේ සැමියාට රුපියල් දහතුන්දාහක් පමණක් ලබාදුන්නේය. එයින් හැඟීයන්නේ ඔහු මේ මුදල ගසාකන බවය. මේ කියන ඒජන්සිකාරයා ගම්පොළ සිටින ලොකුම ඒජන්සිකාරයා බව අපි විශ්වාස කරමු. ඔහුට ඇත්තේ සිංහල නමක් නොවේ. සෞදි අරාබියට ගිය මධුෂානි ගෘහ සේවිකාවක ලෙස නොව වහලියක ලෙස වෙන්දේසි කරන ලද බව වාර්තා වේ. එවැනි වෙන්දේසිවලින් කාන්තාවන්ට වැටුප් ගෙවන්නේ නැත. ඔවුන්ට කෑම බීම හා ඇඳුම් පැළඳුම් පමණක් ලැබේ. මධුෂානි මේවන විට සිටින ගෙදර ස්වාමියා හා ස්වාමිදුව තිරිසනුන් ලෙස හැසිරෙන බව දැනගන්නට තිබේ. ඔවුන් ඇයගෙන් දවසේ පැය 24 පුරාම වැඩ ගන්නා බවත් පහරදෙන බවත්, සිරුර කපා තුවාල සිදුකරන බවත් දැනගැනීමට ඇත. මේ භයානක වධ බන්ධන නිසා ඇගේ රහස් ප්‍රදේශයෙන් නොනවත්වාම රුධිරය පිටවේ. නිතරම හිසට පහරදීම නිසා ඇය බරපතල ස්නායු ආබාධයකට ද ලක්ව සිටින්නීය. ඇයට කෑමද හරි ආකාරව නොලැබේ. මධුෂානිට අවුරුදු තුනකට අඩු දරුවකු සහ අවුරුදු එකොළහක් වයස දරුවෙක් සිටිති. දරුවන් බලාගැනීම සඳහා මධුෂානිගේ සැමියා ගෙදර නැවතී සිටී. ඔවුන් ජීවත් වන්නේ ලෑලි හා ඉටිකොළ මගින් ආවරණය කෙරුණු කුඩා පැල්පතකය. මධුෂානි විදෙස් රැකියාවක් සඳහා යන්නේ ද මේ පැල්පත ගෙයක් බවට පරිවර්තනය කර ගැනීමේ සිහිනයක් සහිතවය. මධුෂානි ආපසු ගෙන්වා දීමට නම් රුපියල් ලක්‍ෂ නවයක මුදලක් ලබාදෙන ලෙස ඒජන්සිකාරයා කියා තිබේ. රුපියල් ලක්‍ෂ නවයක් තබා රුපියල් නවයක්වත් මධුෂානිගේ සැමියා අතේ නැත. වැඩිම වුණොත් රුපියල් සීයක පමණ මුදලක් ඒජන්සිකාරයාට දීමට ඔවුනට පුළුවන.

තම බිරිඳට වූ අසාධාරණය ගැන මධුෂානිගේ සැමියා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයටද දන්වා තිබේ. ඒ පිළිබඳව ඔවුන් කොතරම් දුරට ක්‍රියාත්මක වී ඇත්ද යන්න අපි නොදනිමු. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට මේ වර්ගයේ පැමිණිලි තිහ හතළිහක් දවසකට ලැබේ. එපමණ පැමිණිලි ගොන්නක් අවශෝෂණය කරගැනීමට සහ ඒ පිළිබඳ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයට නැත. පසුගිය දවස්වල අරාබි රටක සිටි ශ්‍රී ලංකා තානාපති නිලධාරියකු අනාථ භාවයට පත්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මිනිස් ජාවාරම්කරුවන්ට විකිණූ හැටිත් එම කාන්තාවන් දූෂණය කළ හැටිත් අපට දැනගන්නට ලැබිණ. ඒ මෝලා ශ්‍රී ලංකාවට එන විටම අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු ඇප ලැබී එළියට ආවේද නැද්ද යන්න අපි නොදනිමු. හරක්කටාලා, බූරුමූණා පමණක් නොව මෙවැනි ජාවාරම්කාර තානාපති නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන හැකි උපරිම කාලය හිරේම තැබිය යුතුය. එහෙත් මේ රටේ නීතිය මානුෂික වැඩිය. ඕනෑම අපරාධකරුවකු (කුඩ්ඩන් හැර) නිශ්චිත කාලයක් රිමාන්ඩ් කූඩුවේ තබා නිදහස් කිරීමට සිදුවේ. ඒ නිසා නැවත වතාවක් විවෘත සමාජයට පැමිණ අපරාධ කිරීමේ අවස්ථාව ජාවාරම්කරුවන්ට ලැබේ.

චීනය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක්ම මිනිස් ජාවාරම්කරුවන්ට ඇප දෙන්නේ නැත. නඩුව අසා නිමවන තුරුම රිමාන්ඩ් කූඩුවේ ලැගීමට ඔවුන්ට සිදුවේ. සමහර විට මේ වර්ගයේ නඩු විසඳීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බැවින් අදාළ පාපතරයාට හිරේදීම මිය යෑමට සිදුවේ. වෙනදා මේ රටේ වික්කේ වකුගඩුය. අද වනවිට හරකුන් සහ එළුවන් විකුණන්නාක් මෙන් සම්පූර්ණ මිනිසාම ගෙඩිය පිටින්ම විකුණා දමනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය දියයුතු බව අපි යෝජනා කරමු. ඇතැම් රැකියා ඒජන්සිකාරයන්ටද මරණ දඬුවම දීම සුදුසුය.

advertistmentadvertistment
advertistmentadvertistment