ඉසිපතන ශා. පීතර අපරාජිතයි

22

ඩයලොග් අභියෝග කුසලාන ලීග් රග්බි පාපන්දු තරගාවලිය



ඩයලොග් අභියෝග කුසලාන ලීග් රග්බි පාපන්දු තරගාවලියේ සුපිරි වටය ආරම්භ කරමින් සෙනසුරාදා (10දා) පැවති තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ ඉසිපතන විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලිය තුළ ලත් 08 වැනි ජයග්‍රහණය සටහන් කර ගනිමින් තම අපරාජිත බව සනාථ කර ගැනීමට ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල සමත් වීම ඉහළ අගයක් ගත්තේය.

එහිදී මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 37 – 28 ක් ලෙස පරාජය කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය. මෙම තරගය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තරගයේ ප්‍රථම භාගය නිමාවන විට ලකුණු 13 – 12 ක් ලෙස පෙරමුණ ගැනීමට පරාජිත ත්‍රිත්ව විදුහල සමත්වීම කැපී පෙණුනි.

ජයග්‍රාහී පිල ගෝල් දිනුම් 03, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහර 02 ක් මගින් ලකුණු ලබා ගත් අතර පරාජිත පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 03 ක් ආශ්‍රිතව සටහන් විය.

හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පැවති ඉසිපතන සහ රාජකීය යන දෙවිදුහල් අතර තරගය මෙවර තරගාවලියේ අතිශය තියුණුම නිමාව සටහන් වූ තරගය වූ අතර එහිදී ඉසිපතන විදුහල හමුවේ ලකුණු 19 – 18 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය ලැබීය. එම තරගයේ ජය පරාජය පිල තීරණය වීම අවසන් මිනිත්තුවේ දී සිදුවීම කැපී පෙණුනි. තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 03 – 00 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි.

ජයග්‍රාහී පිල උත්සාහක දිනුමක් සමගින් දඬුවම් පහර 04 ක් සාර්ථක කර ගත් අතර පරාජිත පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 01, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 02 ක් ආශ්‍රිතව සටහන් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment