ඊබ්‍රාහිම් රයිසි

1306

(1960 – 2024)

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙයට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මෙරට ජනයා අතර දවස් භාගයක් තුළ ජනප්‍රියත්වයට පත් අමුතුම ජාතියේ දේශපාලන තාරකාවකි. උමා ඔය යනු ඉරාන රජයේ ප්‍රතිපාදන යටතේ ආරම්භ කරන ලද බලාගාර සංකීර්ණයකි. මේ සඳහා ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 500ක මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට එවකට පැවැති ඉරාන ආණ්ඩුවේ ජනාධිපති මොහොමඩ් අහමදිනිජාඩ් පොරොන්දු විය. එහෙත් එයින් පළමුවන ඩොලර් මිලියන 50 ලංකාවට එවූ සැණින් බටහිර රටවල් විසින් ඉරානයට එරෙහිව සම්බාධක පනවන ලදුව ඉතිරි ඩොලර් 450 ලබා ගැනීමට අපට බැරි විය. ඒ මුදල වැය කරන ලද්දේ ලංකා ආණ්ඩුවේ සාක්කුවෙනි. එහෙත් පළමු ඩොලර් මිලියන 50 ඉරානය නොදෙන්නට උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ වන්නේ නැත. මීට දින කිහිපයකට පෙර යාබද රටක් වූ අසර්බයිජානයේ වාරිමාර්ග වේල්ලක් විවෘත කිරීමට ගොස් ආපසු සිය රට බලා එමින් සිටියදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ පිරිස ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය කන්දක ගැටීම නිසා මිය ගියේ යැයි කියනු ලැබේ. මේ මරණය වටා සැක කටයුතු මත කිහිපයක් ගොඩනැඟී ඇත. ඉන් පළමු වැන්න මිසයිල් ප්‍රහාරයකින් ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය විනාශ වූ බවය. ඉරානයේ පරම සතුරකු වූ ඊශ්‍රායලය ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරයට පහර දුන් බව කියනු ලැබේ. ජනාධිපති රයිසිගේ මරණයෙන් පසු ඇමරිකාව පැය 24ක් යන තෙක් නිහඬව බලා සිටියහ. ඊළඟට ප්‍රකාශයක් නිකුත් කළ ඇමරිකන් රජය ජනාධිපති රයිසි ගමන් කළ හෙලිකොප්ටරය කඩාවැටීමට ඇමරිකාව කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති බව නිදහස පතා සටන් වදින ඉරාන ජනතාවට තම රට හැමවිටම සහයෝගය පළකරන බවත් කීවේය. අනතුරුව ඇමරිකන් රජය ශෝක ප්‍රකාශයක් ද නිකුත් කළේය.

ඉරානය යනු 1970 ගණන් වනතුරු අධිරාජ්‍යවාදී, ඒකාධිපති ෂා රජතුමා විසින් පාලනය කළ රටකි. මේ පාලනය යටතේ ආගමික අන්තවාදීන්ට ඉඩක් නැති වූ අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ප්‍රිය කළ නව්‍යවාදී කණ්ඩායම්වලට ඉඩ ලැබිණි. 1979දී ආගමික අන්තවාදියකු වූ අයතුල්ලා රහුල්ලා කුමේනි ඇතුළු ශිෂ්‍ය පිරිසක් විසින් ජනප්‍රිය කැරැල්ලක් මෙහෙයවා ෂා රජු ඇතුළු රජ පවුල රටින් පන්නා හැරීමෙන් පසු රට තුළ සිටි අන්තවාදීන්ට තැන ලැබී ප්‍රජාතන්ත්‍රවාදය යට ගියේය. මේ පාලන ක්‍රමය දැඩි මතධාරී පාලන ක්‍රමයක් වූ බැවින් බටහිර කලා නිර්මාණවලට හෝ බටහිර සංස්කෘතියට හෝ කිසිදු තැනක් ලැබුණේ නැත. බටහිරට ප්‍රිය කළ ඉරාන ජාතිකයන්ට මරණ දණ්ඩනය දෙන ලද අතර රට පූර්ණ ආගමික රාජ්‍යක් බවට පත්කිරීම සඳහා ඉස්ලාමීය පූජකයෝ නිරත වූහ. අයතුල්ලා කුමේනිගෙන් පසු තවත් අයතුල්ලා කෙනකු බලයට පැමිණියේය. ඔහු ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ලෙස හඳුන්වනු ලැබේ. මේ නායකයා යටතේ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම සිටි අතර ඔවුන් අතරින් ද වඩාත්ම ජනප්‍රිය වූයේ මොහොමඩ් අහමදිනිජාඩ් නමැති ජනාධිපතිය. ඔහු සාම්ප්‍රදායික ඉරාන ලෝගුව සහ ඉරාන හිස්වැසුම වෙනුවට යුරෝපීය ඇඳුමක් ඇන්දේය. එහෙත් බටහිරට වඩාත්ම ආවේණික ලක්‍ෂණයක් වූ ටයි එකක් ඔහු කවදාවත් පැළඳුවේ නැත. මේ වනවිට ඉරානයේ සිටින ආධ්‍යාත්මික නායක අයතුල්ලාතුමාගේ නම අල් තමීනිය. ඔහු ද දැඩි මතධාරියකු වූ අතර ඔහුගෙන් පසු එම සීට්එක භාර ගැනීමට නියමිතව සිටියේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිය. ජනාධිපති රයිසිගේ අභාවයෙන් පසු රටේ නියෝජ්‍ය ජනාධිපතිතුමා වැඩබලන ජනාධිපති තනතුරට පත්ව සිටී. ඔහු රයිසිට සහ අල් තමීනිටත් වඩා දැඩි මතධාරියකු බව කියනු ලැබේ. මේ නිසා ඊබ්‍රාහිම් රයිසිගේ අකල් මරණයෙන් පසු ඉරානය තවදුරටත් ආගම තුළ ගිලී ගිය රාජ්‍යයක් බවට පත්වනවා ඇත.

ලංකාවට පැමිණි අවස්ථාවේදී ඉරාන ජනාධිපතිතුමා ඉතා හොඳ මිත්‍රයකු ලෙස හැසිරුණේය. ඔහු ලංකාවට එන්නේ මත්තල ගුවන්තොටුපළෙනි. කොළඹට පැමිණෙන විට ජනාධිපතිතුමා ගමන් කරන හෙලිකොප්ටරයේම ජනාධිපතිතුමා සමග ගමන් කිරීමට ඔහුට අවශ්‍ය විය. මෙය ආරක්‍ෂක පියවරකි. ජනාධිපතිතුමා ගමන් කරන ගුවන් යානය දැඩි පරීක්‍ෂාවක් යටතේ පවත්වාගෙන යනු ලබන්නේ එම ආරක්‍ෂාව කඩා වැටුණොත් විශාල අර්බුදයක් හටගන්නා නිසාය. ලංකාවට පැමිණි ඊබ්‍රාහිම් රයිසි දෙරටේම පුරවැසියන්ට සුබපතමින් ඉතා හෘදයාංගම විලාසයක් මවා පෑවේය. ඉරාන ජනාධිපතිගේ ලංකා ගමන ගැන බොහෝ රටවල් නොපහන් වූ අතර තානාපති කාර්යාල දෙක තුනක් හැර අනෙක් කිසිවෙක් එම උත්සවයට සහභාගි වූයේ නැත. එයට හේතුව ඉරානයේ පිළිවෙත ගැන ඔවුන් තුළ නොපැහැදීමක් තිබීමය. එහෙත් රනිල් වික්‍රමසිංහ මෙය අගේට බැලන්ස් කළේය. ඉරාන ජනාධිපතිගේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ නවත්වා තිබියදී එයට මීටර් 250ක් ඈතින් ඊශ්‍රායල් ගුවන්යානයක් ද නවතා තැබිණි. මෙයට සමගාමීව නැඟෙනහිර මුහුදේ ශ්‍රී ලංකා ඇමරිකන් යුද අභ්‍යාසයක් ද ක්‍රියාත්මක කරන ලදි. මේ පියවර දෙක නිසා ඊශ්‍රායලය සහ ඇමරිකාව යන දෙකම ලක් රජය කෙරෙහි මහත්සේ සතුටට පත්විය.

ලංකාවේ උණුසුම් මිතුරකු වූ ඉරාන ජනාධිපතිගේ මරණය අප තුළ ඇති කරන්නේ ශෝකයකි. ඔහු යළි ඉපදී තම දේශපාලන යුතුකමේ ඉතිරි කොටස ඉරානයට කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment