ඊලොන් මස්ක් ලාල්කාන්ත සහ ඡන්ද සටන!

360

වෙසක් සතියේ වූ උත්කර්ෂණීය බව මෙන්ම නුවර ගම් වෙනසක් නොමැතිව ජනතාව විසින් දක්වන ලද උද්යෝගය හා සහභාගිත්වය මැඬලීමට තරම් කාලගුණ විපර්යාසයේ පීඩා ප්‍රබල නොවුවද මේ වනවිට ඒ සම්බන්ධයෙන් ලැබී තිබෙන හා ලැබෙන වාර්තා යහපත් නොවේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා අනුව දිස්ත්‍රික්ක 19ක ජන ජීවිත පීඩාවට පත්ව තිබේ. නිවාස හා වෙනත් හානි ද විපතට පත් හතළිස් දහසකට වැඩි පිරිසකගේ දුක් අඳෝනාවලින් බිඳක් ද මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබ ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් නිසා විපත් අවම කර ගත හැකි වුවත්, ධීවර ප්‍රජාව ඇතුළු තවත් විශාල පිරිසකගේ එදිනෙදා ජීවන වෘත්තීන් ද පවත්වාගෙන යා නොහැකිව තිබේ. කුමක් වුවත් මේ විපත් සම්බන්ධයෙන් කෙරෙන විශ්ලේෂණ, විග්‍රහ අනුව වුව ද පෙනී යන්නේ මේ බොහෝ විපත් අවම කර ගැනීමට තරම් ප්‍රබල අවධානයක් ආණ්ඩුව හෝ පළාත්බදව හෝ යොමු නොවූ බවය. කොළඹ නගර සීමාව තුළ වුව ද මාර්ග අවහිර වන පිරිදි ගස් කඩාවැටී තිබුණි. මෙම ගස් කැපීම සඳහා ලක්‍ෂ 70කට අධික මුදලක් ගෙවා කොළඹ නගර සභාව විසින් ගෙන්වන ලද විශාල යන්ත්‍රයක් ගැන ද වාර්තා විය. මේ යන්ත්‍රය ක්‍රියාත්මක කළ හැකි කිසිවෙක් නැතැයි ද කියති. කුමක් වුවත් ඒ ගනුදෙනුවේ ප්‍රතිලාභ ලැබූ අය නම් නිරුපද්‍රිතව සිටිතියි අපට හැඟේ. මහ වැසි දෙක තුනක් වැටෙද්දී කොළඹ නගරයේ මාර්ග වාරිමාර්ග බවට පත්වන ආකාරය ද අපි කලක් මුළුල්ලේ දැක ඇත්තෙමු. ප්‍රාදේශීය වශයෙන් සිදුවන විපත්වල එක් හේතුවක් වන්නේ ද ඒ ඒ පළාත් පාලන ආයතන විසින් අනුමත කරන ලද අනවසර ඉදිකිරීම්, ගොඩකිරීම් බව ද රහසක් නොවේ. කොළඹ නගර සීමාව තුළ තිබෙන අනවසර ඉදිකිරීම් ගැන කතා කිරීම පවා නිෂ්ඵලය. දේශපාලන හෙංචයියන් විසින් අටවා ගන්නා ලද වෙළෙඳසල් සුරැකිව තිබෙන්නේ ද ඒ දේශපාලන බලධාරීන්ගේ අනුග්‍රහ අනුබල නිසාය. නාගරික සංවර්ධන අධිකාරියට හිටි හැටියේ නීතිය මතක් වී කිසියම් ඉදිකිරීමක් කඩා ඉවත් කිරීමේ ජවනිකා ද අපට දැකගත හැකිය. අතේ මිටේ මුදල් ගැවසෙන කවරකුට වුවද අනීතික ඉදිකිරීම්, අනවසර විදුලි හා ජලය ලබා ගැනීමේ සබඳතා ආදියට කිසිදු බාධාවක් ද නැත. එහෙත් අපට තිබෙන ගැටලුව වන්නේ මේ හැම පීඩාවක්ම, විපතක්ම බොහෝ විට නීතිගරුක – යුක්තිගරුක පුරවැසියන් හිස මතට කඩාපාත්වීමය. කුමක් වුවත් මේ කාලගුණ විපත් අවම කර ගැනීමේ කාර්යභාරය ඉටු නොකළ දේශපාලන අධිකාරයට එ සම්බන්ධ වගකීමෙන් සපුරා නිදහස් විය නොහැකි බව ද සඳහන් කළ යුතුය.

මේ කාලගුණික විපර්යාස හා පීඩන මැද්දේ සමාජ – දේශපාලන කැලඹීම්වල ද අඩුවක් නොපෙනේ. සති ගණනාවක් තිස්සේ ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබුණු “ජනාධිපතිවරණය ද? මහමැතිවරණය ද?” යන තේමාව හා සම්බන්ධ පැතිකඩවල් කීපයක්ම දැන් දේශපාලන අංශවල මෙන්ම සිවිල් සමාජ හා ආයතනවල ද අවධානයට යොමු වෙමින් තිබේ.

ජනාධිපති රනිල්, එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහුගේ සමීපතමයන්, පාක්ෂිකයන් ඍජුව ද ඔහු සමග ආණ්ඩුවේ සිටින කීපදෙනෙක් අනියම් වශයෙන් ද පවසනු ලැබ ඇත. එහෙත් මේ වන විට තිබෙන දේශපාලන වාතාවරණය අනුව ස.ජ.බ. හා ජා.ජ.බ. පක්‍ෂ දෙකම රනිල් හා රාජපක්‍ෂවරුන් නියෝජනය කරන කඳවුරට වඩා ඉදිරියෙන් සිටින බවට පොදු පිළිගැනීමක් ද ඇත.

ස.ජ.බ. මේ වනවිට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්‍ෂය වන අතර එහි නායක සජිත් විපක්‍ෂ නායක ධුරය ද හොබවයි. එසේ වුව ද ඔහුගේ පක්‍ෂය තුළ ද අර්බුද තිබේ. විශේෂයෙන් ස.ජ.බයේ සභාපති ලෙස සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්‍ෂය සමග උරණව සිටියි. ඔහු අධිකරණයට ද ගොස් සිටින අතරම පක්‍ෂයේ සිදුවන ඇතැම් කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවද පෙනේ. මේ වනවිට යුද හමුදාවේ සිටි ඉහළම නිලධාරීන් කීපදෙනෙක්ම ස.ජ.බයට එක්වී සිටිති. ඔවුන් හා ෆොන්සේකා අතර හොඳ හිතක් තිබේ ද යන්නත් ප්‍රශ්නයකි. ඇතැම් අය සම්බන්ධයෙන් ෆොන්සේකා දක්වන ප්‍රතිචාර නිර්දය විලාසයක් ද ගනී. එපමණක් නොව ස.ජ.බයට එක්ව සිටින වෙනත් පක්‍ෂවලින් පැමිණි අයට ආසන සංවිධායක ධුර ලබාදීම ද ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ.

මේ අතර එ.ජා.ප. – ශ්‍රී.ල.නි.ප. මෙන්ම පොදුජන පෙරමුණ ද දේශපාලන වශයෙන් වර්ධනයක් අත්කරගෙන තිබේ ද යන්නත් ප්‍රශ්නයකි. ශ්‍රී.ල.නි.පය නම් බරපතළ අර්බුදයකට මැදිවී සිටියි. එ.ජා.ප.ය. ජනාධිපති රනිල්ගේ බලය නිසා සක්‍රීය වුවත්, එයට ද ජනතා ආකර්ෂණයක් ඇතැයි සිතිය නොහැක. පොදුජන පෙරමුණ යළිත් නව ගමනකට සූදානම් බව පෙන්වයි. එසේ වුවද මේ පක්‍ෂ තුනටම වඩා ඉදිරියෙන් සිටින පක්‍ෂ ලෙස ස.ජ.බ හා ජා.ජ.බ හැඳින්විය හැකිය. ජා.ජ.බය පිළිබඳ ඒ සියලුම පක්‍ෂ මෙන්ම ස.ජ.බය ද එල්ල කරන්නේ දේශපාලන විවේචනවලට වඩා වෙනස් නිර්දය චෝදනා පත්‍රයක් බව ද පෙනේ. මේ කිසිම පක්‍ෂයක් ජා.ජ.බය ඉදිරියෙන් සිටින ජනතාවගේ අවධානය දිනාගත් බලවේගයක් ලෙස නොපිළිගනී. එසේ වුවද ජා.ජ.බය හෙවත් මාලිමාව ලෙස සමාජගත වූ එම දේශපාලන ව්‍යාපාරය පවතින සම්මත දේශපාලන සම්ප්‍රදාය ඉක්මවීමේ ප්‍රභවයක් සහිත පක්‍ෂයක් ලෙස කල්පනා කරන පිරිසක් ද සිටිති. සමාජ පීඩනයට ලක්වූ අය මෙන්ම අල්ලස, දූෂණ, වංචා සම්බන්ධයෙන් ද ජා.ජ.බයට විවේචන නැත. එහෙත් ජා.ජ.බ. විරෝධය කුළුගැන්වීම සඳහා ඒ සියලුම පක්‍ෂ විසින් කැඳවනු ලබන්නේ 88-89 හා 1971 ලෙස හැඳින්වෙන ජ.වි.පෙ. භීෂණ හා ඝාතන මතකයයි. මෙහිදී පැහැදිලිව පෙනෙන්නේ ස.ජ.බය ඇතුළු සියලුම පක්‍ෂ තම පරම සතුරා ලෙස ජා.ජ.බය පිළිගන්නා බවයි. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය නසන, දොරින් දොර ඝාතකයන් ගොදුරු සොයන අවිචාර සමයක උදාවක් ලෙස හුවා දැක්වීම ඒ සියලු විවේචනවල අපේක්‍ෂාව බව ද පෙනේ. තම පක්‍ෂවල අතීතය පරම පිවිතුරු අවිහිංසාවාදී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විලාසය සුරැකි බව ඔවූහු එමගින් අවධාරණය කිරීමට වෑයම් කරත් ද?

පොදුජන පෙරමුණ, එහි නායක මහින්දගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඉරිදා (26දා) තලාවේදී පැවැත්වූ මහජන හමුවේදීත් ජා.ජ.බයට එල්ල කළ විවේචනය වූයේ ද එම අතීත සිදුවීම්ය. එහිදී එක් කථිකයෙක් ප්‍රභාකරන් සමග අනුර කුමාර සැසඳුවේය. තවත් කථිකයෙක් කීවේ 88-89 භීෂණයේදී ලාල්කාන්තගේ සගයෙක් දරුවකුට කිරි පෙවීමේ වරදකට මවකගේ පියයුරක් ද කපා දමා ඇය ඝාතනය කළ පුවතකි. එදා ජවිපෙ විසින් සිදු කරන ලද ඝාතන – භීෂණ කිසිවක් අපි අනුමත නොකරමු. මනුෂ්‍යත්වය නොතකන එබඳු ම්ලේච්ඡ ඝාතන කිසිවකුට අනුමත කළ නොහැක. එසේම 71 කැරැලි සමයෙදී ඇල්පිටිය ප්‍රදේශයේ නඩු ඇසූ ජේ.වී.පී. උසාවියක් තිබුණු බව ද වාර්තාවල සඳහන්ව තිබේ. එහෙත් ලාල්කාන්ත පසුගියදා පැවසූ, ගමට අධිකරණ බලය දීම එබඳු ජේ.වී.පී උසාවියක් නොවන බව පෙනේ. දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ද එය ගැඹුරින් විමසිය යුතු සංකල්පයක් ලෙස දක්වා තිබිණි.

දේශපාලන පක්‍ෂවල මෙරටේ ඉතිහාසය ලෝක ආර්ථිකය ආදී පුළුල් ක්‍ෂේත්‍ර සම්බන්ධ ප්‍රමාණිකයන් ඇත්තේ ස්වල්ප වශයෙනි. පාර්ලිමේන්තුවේ වසර 54ක් සිටි පොහොට්ටු පක්‍ෂයේ නායක මහින්ද පමණක් නොව, චන්ද්‍රිකා බණ්ඩාරනායක ද එකල ජේ.වී.පී. ලේබලය අලවා පරලොව යැවූ විවිධ පුද්ගලයන් ගැන කතා කළ අය වෙති. ඒවා ජයවර්ධන හා ප්‍රේමදාස පාලන යුගවලට අයත් බව දන්නා පුරවැසියෝ ද සිටිති. එහෙව් පසුබිමක බාල දේශපාලන අවලාද නැඟීම, ඒ පක්‍ෂවලටම හානිදායක වනු ඇත. එසේම ජ.වි.පෙ. ඒ පරණ ඉතිහාසය දත් අය වුව ද ඒවා හෙළා දකින්නෝය. මෙවර මාලිමාව දෙස බලන අයගේ මානසිකත්වය හා අපේක්‍ෂාව පිළිබඳ යථාර්ථවාදී කියැවීමක් නොමැති දේශපාලන වාචාල කතාකාරයන්ගෙන් ඒ පක්‍ෂවලට සිදුවන්නේ ද හානියක් පමණි. ලාල්කාන්ත ජා.ජ.බයේ අධිකරණ ඇමැති වන බවක් ද ඒ කථිකයෙක් කීවේය. ඊටත් වඩා උත්ප්‍රාසය දනවන කතාවක් වූයේ පොහොට්ටුව බලයට පත්ව ජ.වි.පෙ. එක්තරා නායකයකුගේ වත්පොහොසත්කම් හොයන බව කීමය.

ජනාධිපති රනිල් උතුරේ ජනතාවට පවසන්නේ රටේ ආර්ථිකය විධිමත් කර ගැනීම, ඒ ප්‍රදේශවල සෞඛ්‍ය සේවය නැංවීම, තරුණ තරුණියන්ගේ තාක්‍ෂණ ගැටලු ආදියට විසඳුම් දෙන බවය. ගෝලීය ස්ටාර්ලින්ක් (Starlink) ජාලය ශ්‍රී ලංකාවට සම්බන්ධ කරගත යුතු බවය. ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් සමග සාකච්ඡා කළ බවය. එහෙත් පොහොට්ටුවේ වේදිකාවේ මොරදෙන්නේ ඊලොන් මස්ක් ගැන නොව ලාල්කාන්ත ගැනය. බොහෝ විට මේ විකටයන් ඊලොන් මස්ක් ගැන අසාවත් නැතුවා විය හැකිය. රූපවාහිනි විවාදයකට ගියත් මේ වර්ගයේ වෘෂභයන්ට කළ හැක්කේ තප්පුලීම පමණි. එසේම එදා පොහොට්ටු වේදිකාවේදී තමන් අතින් වැරදි සිදුවූ බව කීමට තරම් නිහතමානී වූ දෙතුන් දෙනෙක් ද වූහ. එසේ වුව ද මේ වනවිට ආණ්ඩුව විසින් සම්මත කිරීමට සූදානමින් සිටින අණ පනත් පිළිබඳව හෝ අලුතින් සිදුවන ප්‍රතිව්‍යුහගතකරණ වැඩ කටයුතු සම්බන්ධයෙන් හෝ කිසිවක් ප්‍රකාශ නොවීම ද කැපී පෙනුණි.

අද රට තිබෙන්නේ යහපත් තැනක නොවන බව කවුරුත් දනිති. රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය බව ජනතාවගේ අදහසය. අද ජනතාවගේ නියෝජනයක් පළාත් සභාවල හෝ පළාත් පාලන ආයතනවල ද නැත. පළාත් සභා, ජනාධිපති යටතේ සිටින ආණ්ඩුකාරවරුන්ගේය. පළාත් පාලන බල ප්‍රදේශ, ආණ්ඩුවට රිසි පරිදි මෙහෙයවීමට කෙරෙන යෝජනා ද තිබේ. මැතිවරණයක් ආසන්නව තිබියදී කළ යුතු හා නොකළ යුතු දේවල් මොනවාදැයි ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති රනිල් දනී. එසේම ඔහුට ජනවරමක් නැති බවත්, ඔහුට සහාය දෙන පොදුජන පෙරමුණේ නායකයා විසින්ම සිහිපත් කරනු ලැබ ඇත. ආන්දෝලනාත්මක දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මේ අවස්ථාව උචිත ද නැත. ජනතා කැමැත්තක් නැති ජනාධිපතිවරයකු මෙන්ම පාර්ලිමේන්තුවක් ද තිබේ. එළැඹෙන ජනාධිපතිවරණයට තම වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතියක් ලබා ගැනීමට මේ ජනාධිපති රනිල්ට ද හැකිය. පොහොට්ටුවේ අය පවසන පරිදි ඔවුන්ට බලය ලැබුණොත් 2022 ගාලුමුවදොර අරගලය, ස.ජ.බ මානුෂවාදී ආණ්ඩුව පමණක් නොව ජා.ජ.බයේ අලුත් දේශපාලන සංස්කෘතිය සඳහා වූ අභිනව සමාජ පරිවර්තනය ද ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇතැයි අපට මෙන්ම බහුතර ජනතාවට ද පිළිගැනීමට සිදුවනු ඇත. එයිනුත් ඔබ්බට ගොස් මෙරටේ ආර්ථිකයේ බිඳවැටීමට රාජපක්‍ෂවරුන් හා එවක නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව වුව ද ජනතාව පිළිනොගෙන ඇතැයි සිතීමට ද බැරි නැත. එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන පවසන ආකාරයට රනිල්ට ලක්‍ෂ 100ක ජනවරමක් ලැබුණොත් ගෝඨාභයගේ 69 ලක්‍ෂයේ වාර්තාව ද බිඳවැටෙනු ඇත. එය ජනාධිපති රනිල් හා පොදුජන පෙරමුණේ නායක මහින්ද සුසංයෝගයෙන් බිහි කෙරෙන අලුත් දේශපාලන යුගයක සමාරම්භයක් ලෙස පිළිගැනීමට සියලු ප්‍රතිවාදී කොටස්වලට ද සිදුවනු ඇත.

මේ සියල්ල සිදුවිය හැක්කේ මැතිවරණ කොමිසමේ විධානයන්ට යටත්ව, නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට උඩින් පැන යෑමට නොපෙලඹෙන අවකාශයක් තුළ පමණි. කොටින්ම ආණ්ඩුව හා ජනාධිපතිවරයා මේ මැතිවරණ භූමිකා පොදු සම අවස්ථා සහිත එකක් බව පිළිගත යුතුය. ප්‍රතිවාදී දේශපාලන පක්‍ෂවලට අසාධාරණයක් – අයුක්තියක් වන ආකාරයේ ප්‍රතිචාර නොදැක්වීම තම වගකීම බව ද ආණ්ඩුව පිළිගත යුතුය. මැතිවරණ පසුබිමක ජනතාවට සහන ලබාදීම මෙහිදී මතුවන ප්‍රශ්නයකි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි දැනටමත් චෝදනා කරන්නේ ආණ්ඩුව මැතිවරණ දෙස බලාගෙන ජනතාවට සහන ලබාදෙන බවය. රාජ්‍ය මාධ්‍ය, රජයේ වාහන ආදිය භාවිත වන ආකාරය ගැන ද විවේචන තිබේ. ප්‍රජා උපදේශක කමිටු පත්කිරීම ද ප්‍රශ්නකාරී වී ඇත. ආණ්ඩුවට හිතවත් අය එබඳු කමිටු සඳහා පත් නොවන බවට කිසිදු සහතිකයක් ද නැත.

ඊලොන් මස්ක් ලාල්කාන්ත සහ ඡන්ද සටන!

අපට හැඟෙන ආකාරයට ජනාධිපති රනිල්ගේ මේ මොහොත තුළ සිදුවන බොහෝ ක්‍රියාකාරකම්, ඔහුගේ වාසියට හේතු වනු ඇත. ඒ කිසිදු ක්‍රියාවක් නොමනා හෝ රටට අහිතකර යැයි කීමට ද ඉඩක් නැත. එකල තිබුණු ආර්ථික අර්බුදය නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව රජය පැවසීය. ඒ සඳහා මුදල් ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක් ද තිබුණි. එහෙත් ආණ්ඩුව ඒ කිසිවක් ඉටු කළේ නැත. එවන් පසුබිමක පළාත් පාලන ආයතන සඳහා දැන් මිලියන 10 බැගින් වෙන්කිරීම ගැන ප්‍රශ්න කිරීම ද සාධාරණය.

කෙසේ හෝ වේවා මෙරටේ දේශපාලන පක්‍ෂ යනු බලය සඳහා දක්වන අවධානය මැතිවරණ ක්‍රියාදාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා නොදක්වන බව ද අපි දනිමු. මේ වනවිට තිබෙන දේශපාලන අවිනිශ්චිතභාවය මෙන්ම බොහෝ පක්‍ෂ තුළ උද්ගතව තිබෙන අර්බුද ගැනත් ජනතාව දනිති. මහින්ද කඳවුරෙන් බැහැර වූ මන්ත්‍රීවරු පවා වෙන වෙනම සන්ධාන ගොඩනඟා ගැනීමේ ප්‍රයත්නයක නිරතව සිටිති. ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ තවත් පිරිසක් සන්ධානගත වන බවත් එහි මංගල රැලිය ලබන ජුනි 08 වැනිදා හම්බන්තොට – රන්න නගරයේදී පැවැත්වෙන බව ද වාර්තා වේ. ශ්‍රී.ල.නි.ප. නිමල් සිරිපාල පාර්ශ්වය මෙයට සම්බන්ධ වන අතර මෛත්‍රිපාල ද අයත් විජයදාස රාජපක්‍ෂ පිල මෙයට එක්නොවෙති. දෙකඩ වූ ශ්‍රී.ල.නි.පයේ වැඩ බලන සභාපතිවරුන් දෙදෙනාම ජනාධිපති රනිල්ගේ කැබිනට් ඇමැතිවරු වෙති. එසේම මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න ද ඒ කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර හොබවන්නෝය. දේශපාලනය කෙතරම් සරදමක් ද?

මේ අතරම රාජපක්‍ෂවරුන්ගෙන් ඈත් වූ විමල් (ජා.නි.පෙ.) උදය (පිවිතුරු හෙළ උරුමය), චන්න ජයසුමන, ගෙවිඳු කුමාරතුංග ඇතුළු තවත් පිරිසක් දිලිත් ජයවීර (මව්බිම) සමග එක්ව ‘සර්වජන බලය’ නමින් කොළඹදී 27දා තවත් සන්ධානයක් පිහිටුවාගෙන සිටිති. මෙම සන්ධානයට කොමියුනිස්ට් පක්‍ෂය ද එක්වී සිටියි. මේ සන්ධානය වඩාත් ජාතිකත්වයට බරවූවක් ලෙස ද පෙනේ. එසේම මේ සන්ධානයේ සහාය ජනාධිපති රනිල්ට මෙන්ම පොදුජන පෙරමුණට ද නොලැබෙන බව ද පැහැදිලිය. ඒ මොනවා වුවත් අද ගොඩනැඟෙන සන්ධාන සියල්ලකම පාහේ සිටින්නේ, පොදුජන පෙරමුණෙන් තරග කර මන්ත්‍රීවරුන් බවට පත්වූ බහුතරයකි.

මේ සන්ධාන එළැඹෙන ජනාධිපතිවරණයේදී කෙසේ ක්‍රියා කරනු ඇද්ද? එසේම මහමැතිවරණයේදී ඔවුන් තරග වදින්නේ කෙසේද? යන ප්‍රශ්නවලට දැන්ම පිළිතුරක් ලබාදීම ද අසීරුය. එහෙත් සමහරු රනිල්ට සහය දෙති යි අනුමාන කළ හැකිය. ස.ජ.බයට එක්වූ අය සජිත්ට සහය දෙති. ජා.ජ.බයට බොහෝ විට මේ සන්ධානයක සහාය නොලැබිය හැකිය. ඒ සියලු කරුණු සලකා බලන විට ජනාධිපතිවරණයට මූලිකවම කඳවුරු තුනක් ලෙස තරග වදිනු ඇතැයි ද කල්පනා කළ හැකිය. එහෙත් මේ කිසිදු සන්ධානයක ආර්ථික හෝ දේශපාලන ප්‍රතිපත්ති මොනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත.

ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන ගමනකට සූදානම්ව සිටියි. ඔහු ඒ සඳහා විධිමත් ආර්ථික අණ පනත් සම්මත කර ගැනීමට ද ක්‍රියාකරයි. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ දැඩි විරෝධයක් ද එල්ල වී තිබේ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය, ආර්ථික යුක්තිය ඉටු නොකරන වෘත්තිකයන් පමණක් නොව පොදුජනතාව ද පීඩනයට ලක්කරන දුෂ්ට එකක් බවට විවෘත චෝදනාවක් ද තිබේ. කුමක් වුවත් අද බොහෝ දෙනකුගේ අවධානයට හා සංවාදයට ලක්ව තිබෙන ස.ජ.බ. හා ජා.ජ.බ. පක්‍ෂ පවා සිය ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලිව දක්වා නැති බව ද පෙනේ. සජිත් හා අනුර අතර විවාදය සම්බන්ධයෙන් ස.ජ.බය දක්වන පසුගාමී බව සැඟවිය නොහැකිය. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ ආර්ථික කමිටු විවාදයක් මුලින් සිදුවිය යුතු බවය. එහෙත් වඩා වැදගත්, නායකයන් වන සජිත් හා අනුර මුහුණට මුහුණ ආර්ථිකය හා දේශපාලනය ගැන විවෘතව සංවාදයකට යොමුවීමය. ඇත්තටම ඒ පක්‍ෂවල ආර්ථික ප්‍රතිපත්ති ඉඳුරා දන්නේ නායකයෝ නොවෙත් ද? මෙහිදී අවශ්‍ය නම් නායකයන්ට සහාය වීමට කමිටුවේ කීපදෙනකුට ද බාධාවක් නැත. එහෙත් ස.ජ.බය ව්‍යාජ තාක්‍ෂණික කරුණු මත පදනම්ව විවාදය මගහරිමින් ජා.ජ.බයට චෝදනා නගන බවක් ද පෙනී යයි. ඇත්ත වශයෙන්ම නායකයන් දෙදෙනාම නිදහස්ව, නිර්බාධිතව, අභීතව තම ආර්ථික ප්‍රතිපත්ති ජනතාව හමුවේ තැබීම මේ විවාදයෙන් ජනතාව අපේක්‍ෂා කරති.

අවසන් වශයෙන් කිව යුත්තේ ද ඉදිරි කාලයේ පැවැත්වෙන කවර මැතිවරණයක් වුවද අලුත් දේශපාලන සන්දර්භයක් තුළ අලුත් කියවීමක් අපේක්‍ෂා කරන පිරිසක් ද සිටින වාතාවරණයක සිදුවන්නක් බව මේ සියල්ලෝම දැනගත යුතු වෙති. පවතින සම්ප්‍රදායානුකූල දේශපාලන පක්‍ෂ පත්ව සිටින අපේක්‍ෂා භංගත්වය ද ඉතා පැහැදිලිය. භීෂණය හා ඝාතනය පිළිබඳ සමාජය බියවැද්දීම මෙම මැතිවරණවල තේමාව බවට පත්කරගෙන තිබුණත් ජනතාව අපේක්‍ෂා කරන්නේ වෙනත් අලුත් දේශපාලන ගමනක් බව ද පෙනේ. හතළිහේ දශකයේදීත් මැතිවරණ වේදිකාවේ තේමාව වූයේ සමසමාජ පක්‍ෂය බලයට පැමිණියහොත් බුද්ධාගම විනාශ වී පෞද්ගලික ධනහිමියන් නට්ටම්කර සදාචාරය හා සංස්කෘතිය ද වල්වදින බවය. අද එබඳු පසුගාමී අදහස්වල බලපෑම ඉතා අඩුය. ජනතාව අපේක්‍ෂා කරන්නේ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යන රටකි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment