බුදුන්වහන්සේ, යේසුස් වහන්සේ, මුහම්මද්තුමා, මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං, සෑම් අල්ට්මන්….! මොකක්…..?
සෑම් අල්ට්මන් කියන්නේ ඕපන් ඒඅයි කියන සමාගමේ අයිතිකාරයා. වඩාත් නිවැරදිව කීවොත් දැන් චැට් ජීපීටී කියන යෙදවුම හිමි සමාගමේ හිමිකරුවා.
කාලෙන් කාලෙට ලෝකය ශාස්තෘ මට්ටමේ ලා සලකන පුද්ගලයන් හඳුනාගන්නවා. අප හොඳින්ම දන්නා පරිදි මුල් යුගයේ ශාස්තෘ භූමිකාවෙහි සිටි අදටත් අප ගෞරවයෙන් වන්දනාමාන කරන පිරිස් ඉන්නවා.
ඒ ක්‍රමයෙන් ශිෂ්ටත්වයට පත්වෙමින් සිටි මනුෂ්‍යත්වයට හොඳ නරක සහ ජීවන දහම ගැන පාර පෙන්වූ ආගමික නායකයන්. ඊට අමතරව ඇතැම් අධිරාජ්‍යයන්ට හා රජවරුන්ටත් ශාස්තෘ භූමිකාව හිමි වූවා. එයින් පස්සේ අද දක්වාම ලෝකයේ ගැටලුවලට පිළිතුරු නොමැති සෑම අවස්ථාවකම පාහේ එයට ප්‍රතිචාර සපයන ශාස්තෘ පන්නයේ දේශපාලන නායකයන්, බුද්ධිමතුන් හෝ විප්ලවවාදීන් අප සොයා ගන්නවා.
කාලෙට ගැලපෙන මේ ශාස්තෘ කියන තත්ත්වය අත්පත් කරගැනීම වත්මන් ලෝකය තුළ හැමෝටම හරි අමාරු දෙයක්. විවිධාකාර ප්‍රකට දේශපාලන නායකයන් අධිවේගයෙන් ජනප්‍රිය වන අයුරුත්, ඒ ජනප්‍රියත්වය කඩාවැටෙන අයුරුත් අප දකිනවා.
එවන් පසුබිමක තාක්ෂණික ලෝකයේ ලොකුම බලවතුන් මේ වෙලාවේ ලෝකය බේරාගැනීමට දැනුම සහ බුද්ධිය තියෙන මහා පරිමාණ නායකයන් ලෙස මාධ්‍යවලින් පවා හුවා දක්වන බව පෙනෙනවා. විශේෂයෙන් තරුණ පරපුර ‘නව තාක්ෂණය’ ගැන විශ්වාසය තබන විදියත්, ලංකාවේ දේශපාලන නායකයන් පවා විවිධාකාර තාක්ෂණ වචන උච්චාරණය කරමින් තමනුත් ඒ ගැලවුම්කාර තාක්ෂණයන්හි කොටස්කාරයන් බවට පත් වෙන විදියත් අප දකිනවා. අද දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයන් බොහොමයක පවා ඕනෑ ක්ෂේත්‍රයක් බේරා ගන්නට කෘත්‍රිම බුද්ධිය ගැන හෝ වෙනත් තාක්ෂණික වචනයක් ගෙන ඒම දක්නට ලැබෙනවා.
මාක් සකර්බර්ග් එක්තරා ගැලවුම්කාරයෙක්
පෙර කී තාක්ෂණ බලවතුන් සහ ඔවුන් විසින් හඳුන්වාදෙන තාක්ෂණය විසින් ලෝකය බේරාගෙන බවට වූ විශ්වාසයත් එක්ක.
ඒ අනුව, මීට කලින් විද්‍යාත්මක පත්‍රිකා ලියමින්, සොයාගැනීම් පිට සොයාගැනීම් කරමින් ශාස්තෘත්වයට පත් අයිසැක් නිව්ටන්ගේ තත්ත්වය සල්ලි තිබෙන නිසා ඊලෝන් මස්ක් ලබනවා. ඔහු කාගේ හෝ දැනුමක් සල්ලිවලට මිලදී ගෙන, ඒවා යොදවා යම්කිසි ව්‍යාපාරයක යෙදී, ඒ ගැන මාධ්‍යවලින් උජාරුවෙන් කතා කරමින් තරුණ පරපුරේ වක්තෘවරයෙක් ලෙස අභිෂේක ලබනවා. ජෝ රෝගන් මෑතකදී කළ නෙට්ෆ්ලික්ස් හාස්‍ය ප්‍රසංගයේදී ලෝකයේ බුද්ධිමත්ම මිනිසා ඊලෝන් මස්ක් කියා කියනවා. ඒ බලය කෙතරම්ද කිව්වොත් ඒ ශාස්තෘවරයා ඊලෝන්ට හාදයා යැයි කීව නිසා අපේ රටේ දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තැනට පත් වුණා.
මෙවැනි ගැලවුම්කාරයන් බොහොමයි. අප කලින්ම කීව චැට් ජීපීටී හිමිකරු එක් කෙනෙක්. ඒආර් හා වීආර් හරහා කාර්යාලයට ශරීරයෙන් නොගොස්, හොලොග්‍රෑම් තාක්ෂණයෙන් යන්නට පහසුකම් සලසන බව කියන මාක් සකර්බර්ග් එක්තරා ගැලවුම්කාරයෙක්. ක්‍රිප්ටෝ හරහා ලෝකය බේරාගන්නා බව අනාවැකි ලෙස කියන්නන් පවා ඉන්නවා.
එතැනින් එහා ගොස්, කෘත්‍රිම බුද්ධිය හරහා භෞතික විද්‍යාවේ දැනට තියෙන ගැටලු විසඳා ගැනීම, අඟහරුවල පදිංචි කරවීම, කෘත්‍රිම යථාර්ථත ලෝකයක් ඇතුළේ ඇත්ත වාගේ සැරිසරමින් වැඩකටයුතු කිරීම ආදී අනාගත ලෝකයක් ඔවුන් යෝජනා කරනවා. ඒ ලෝකය අපට ඉතා පහසුවෙන් ජීවත් විය හැකි එකක් බව මවා පෙන්වනවා. ඇත්තටම දැනටමත් තිබෙන බොහෝ තාක්ෂණ උපාංග පාවිච්චි කරන්නට ලොව අතිබහුතරයක් ජනතාවට බැහැ. අප වගේ රටවල අතිබහුතරයකට බැහැ. එහෙත්, අපගේ දෑස් ඉදිරිපිට තාක්ෂණයෙන් ආඪ්‍ය වූ ඒ අනාගතය මවා පෙන්වනවා.
මේ කටයුතු පෞද්ගලික සමාගම්, ප්‍රාග්ධන හිමිකරුවන් විසින් ඔවුන්ගේ විශිෂ්ටත්වය මතම කරන දෙයක් විදියටයි මවා පෙන්වන්නේ. මනුෂ්‍ය සංහතියේ සාමූහික විද්‍යාත්මක දැනුම, තනි පුද්ගලයන්ගේ ‘මැජික්’ මට්ටමට හුවා දක්වනවා.
එහෙත්, ඉතාම සරල විදියට මේ තත්ත්වය ගැන විමසුවොත් ඔබට පුදුම හිතේවි. උදාහරණයක් විදියට ඊලෝන් මස්ක් තමන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම්වලට සම්පූර්ණයෙන්ම පාහේ තාක්ෂණ දැනුමත්,
ප්‍රාග්ධනයත් හොයා ගන්නේ පොදුජනයාගේ මුදලින් නඩත්තු වන ඇමෙරිකන් රජයේ වියදමෙන්. රජය වියදම් කර ලබාගත් තාක්ෂණ දැනුමෙන්. මස්ක්ගේ අඟහරු ව්‍යාපෘතියට පමණක් ඇමෙරිකන් ඩොලර් බිලියන 4.9ක් උප කොන්ත්‍රාත්තු විදියට ලැබෙනවා.
ගැලවුම්කාර භූමිකාව ගැනත් කිව යුත්තේ එයමයි. ෆේස්බුක් හිමිකරුට ප්‍රසිද්ධියේ සමාව ගන්නට සිදු වුණේ, තමන් විසින් හඳුන්වා දුන් තාක්ෂණය ‘විනාශකාරී’ වීම තමන්ටම පාලනය කරගන්න බැරි වුණ බව කියමිනුයි. ඇතැම් රටවල දැවැන්ත ජාතිවාදී යුද්ධයත්, තව රටවල මැතිවරණවලට බලපෑම් කරමින් විශාල හානියක් කරන්නට ෆේස්බුක් හේතු වුණා. සමාජ දේහය විනාශ කරන තරමට මෙවැනි තාක්ෂණ යෙදවුම්වලින් කරන බලපෑම ගැන නෙට්ෆ්ලික්ස්හි ඇති ‘සෝෂල් ඩිලෙමා’ වැනි වාර්තා චිත්‍රපටවලත්, තව පුවත්පත් ලිපි සහ
ගවේෂණ ගණනාවකත් පෙන්වා දෙනවා. මෙවැනි ආයතනවල සේවය කොට හෘදය සාක්ෂිය එක්ක තවදුරටත් වැඩ කරන්නට බැරිකම නිසා ඉල්ලා අස්වූ ඇතැම් අය කියන්නේ, මිනිස්සුන්ගේ හීනවලට පවා එබී, සමාජ අර්බුද ඇති කරමින් ඒවා තුළින් ලාභ සොයන්නට එවැනි සමාගම් කටයුතු කරන හැටි ගැන.
නවීන තාක්ෂණයන් පසුපස සිටින තනි පිරිමි පුද්ගලයන්ගේ ඊගෝව
ඒ කෙසේ වෙතත්, මේ මොහොතේත් බොහෝ විට ඊලෝන් රසිකයන්, මෙටා රසිකයන් හෝ චැට් ජීපීටී රසිකයන් දැන් දැන් වැඩිපුර එවැනි තාක්ෂණයන් ගැන කතා කරන්නේ හුදෙක් තාක්ෂණ අලුත් උපාංගයක පැමිණීම විදියට පමණක් නෙවෙයි. එතැනින් එහාට ගිහින් ලෝකය ගලවාගන්නට සමත්කම් දක්වන නව දේවත්වයකට සමාන කරමිනුයි එයට වැඳුම් පිදුම් කරන්නේ.
කෘත්‍රිම බුද්ධියෙන් පදවන වාහනවලින් අනතුරු රහිත ප්‍රවාහනය ඇති කරන්නත්, වියපත් වීම වළක්වන්නත්, පිළිකාව නැති කරන්නත් නවීන තාක්ෂණය පාවිච්චි කිරීමට ඇති හැකියාව ඔවුන් යෝජනා කරනවා. ඒ විතරක් නෙවෙයි, ක්‍රිප්ටෝකරන්සි මුල් කරගත් වෙළඳපළ ක්‍රම තුළින් ක්‍රිප්ටෝ රාජ්‍යයන්, ලිබටේරියන් නගර දක්වා යුතෝපියානු සමාජ ක්‍රමයන් පවා යෝජනා කෙරෙනවා.
තාක්ෂණය අපව ගලවා ගනීවී! අදටත් අර්බුදවලට යමින් තියෙන සමාජය දෙස බලමින් බලාපොරොත්තු සහගතව ඇතැමුන් හිතනවා.
මෙය එක් පැත්තකින් සිහිපත් කරවන්නේ විසාර්ඩ් ඔෆ් ඔස් වැනි චිත්‍රපටයක්. සාමාන්‍ය මිනිසුන් විජ්ජා පෙන්වමින් ලෝකයක් පාලනය කරන හැටි.
මෙතැන අපගේ අවධානය තාක්ෂණය ගැන, එය තාක්ෂණය වූ නිසාම විවේචනයට ලක් කිරීම නෙවෙයි. නවීන තාක්ෂණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි විතරක් නෙවෙයි, එය අපේ දියුණුව සහ පැවැත්මේ වර්ධනයටත් දායක කරගත හැකියි. ශිෂ්ටාචාරයක් ලෙස අප යා යුත්තේ ඉදිරියට.
එහෙත්, මෙහි අප කතා කරන්නේ එවැනි නවීන තාක්ෂණයන් පසුපස සිටින තනි පිරිමි පුද්ගලයන්ගේ ඊගෝවලට ලෝකයම යටපත් වීම ගැනයි.
සාමාන්‍යයෙන් ආගමක සිදු කරන්නේ, යම්කිසි දිව්‍යමය පැවැත්මක් හා දිව්‍යමය අනාගතයක් ගැන ශාස්තෘවරයෙකු විසින් දේශනා කිරීම. මෙවැනි ශාස්තෘවරුන්ගේ බිහිවීම සමාජයේ දැවැන්ත පරිවර්තනයක් උදෙසා තීරණාත්මක සාධකයක් වෙනවා. මෙවැනි ශාස්තෘ පන්නයේ චරිත පැරණි ආගම්වලින් පස්සේ විප්ලවවාදීන් ඇතුළු විවිධ පුද්ගලයන් තුළ දක්නට ලැබුණා. උදාහරණයක් විදියට ඇමෙරිකාවේ නූතන ශාස්තෘවරයෙක් විදියට ඒබ්‍රහම් ලින්කන් හැඳින්විය හැකියි. දෙවැනි ලෝක යුධ සමය වෙද්දී ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් එවැනි චරිතයකට ඇන්දා. ඔහු තමන්ව දෙවියන්ගේ නියෝජිතයෙකු ලෙසත් හැඳින්වුවාලු.
එහෙත්, මෙවැනි ශාස්තෘ භූමිකාවක් එක පුද්ගලයෙකු විසින් පමණක් කරනවා නොවිය හැකියි. ඇමෙරිකාව රාජ්‍යයක් විදියට තමන් ගැලවුම්කාර, ශාස්තෘවර භූමිකාවක් ඉටු කරන බව හිතනවා. ඒ අනුව, ලෝකයේ ශ්‍රේෂ්ඨම ජාතිය විදියට ලෝකය පාලනය කරන්නේ තමන් යැයි ඇමෙරිකාව සිතනවා.
කාර්මික විප්ලව සමයේදී මුල්ම විද්‍යාත්මක සොයාගැනීම් සිදු වෙද්දීත්, එම සොයාගැනීම් කළ අය තමන් විසින් යම් කිසි ඓතිහාසික දෛවෝපගත හා පූජනීය භූමිකාවක් ඉටු කරන බව කල්පනා කළ බව එකල ලිපිලේඛන අධ්‍යනය කළ ඉතිහාසඥයන් පෙන්වනවා. ඒ ලිපිලේඛනවල සහ ප්‍රකාශනවල ඇතැම් ආගමික ප්‍රචාරයකට සමීප භාෂාවක් සහ යෙදුම් තිබුණු බව ඉතිහාසඥයන් පෙන්වනවා.
විශේෂයෙන් තාක්ෂණය, නව සොයාගැනීම් එක්ක යුතෝපියාවක් බද්ධ කිරීම එදා සිටම පැවතුණා. කොලොම්බස් තමන් විසින් ‘නව ලෝකය සොයාගත්’ බවත් එයින් පැරණි ලෝකය අවසන් වූ බවත් ප්‍රචාරය කර තිබුණේ එය හුදෙක් යුරෝපියන් නෞකාවක් ඇමෙරිකානු මහාද්වීපයට ගමන් කිරීමෙන් එහා ගිය ආගමික සංසිද්ධියක් වාගෙයි.
තාක්ෂණය පොඩ්ඩක් වන්දනා කළාම මොකද
තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයාගත්තා නොව, එය පරිපූර්ණත්වයට පත් කරමින් නිෂ්පාදනයක් බවට හැරෙව්වා පමණයි. එහෙත්, ගෘහස්ථ මට්ටමට ආලෝකය රැගෙන ආ එම සොයාගැනීම ඉතා මායාකාරී සොයාගැනීමක් ලෙස සැලකුණා. ටෙලිග්‍රෑම් එක සොයාගැනීම ඇත්තටම එදා ක්‍රිස්තියානි ආගම ප්‍රචාරයටම යොදා ගත්තා. පසුකාලීනව ගුවන්යානය, ගුවන් විදුලිය මෙන්ම දුරකථනය පවා දිව්‍යමය සොයාගැනීම් වුණා. ඒවාට හුදෙක් දැනුමෙන් එහා ගිය මිථ්‍යාමය වටිනාකමක් ආරෝපණය කෙරුණා.
පරමාණු බෝම්බය නිපදවූ රොබට් ජේ. ඕපන්හයිමර් විසින් භගවත් ගීතාවෙන් උපුටාගෙන කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම දේවත්වය සහ ආගමික පරිපූර්ණත්වය තේමා කරගත් එකක්.
මේ තාක්ෂණ ඉතිහාසය පුරා එයටම ආවේණික ආගමික ප්‍රවාදයන් ගොන්නකට මුලපිරූ අතර සිලිකන් වැලි එවන් මිථ්‍යාමය ප්‍රවාදයන්ගේ රන් දෙවොල වුණා. ලෝකයට යම් කිසි යුතෝපියානු සුබ අනාගතයක් බිහි කරන්නට සමත්, දේව සභාවක් වාගේ සිලිකන් වැලි ගැන මිථ්‍යාවන් බිහිවෙන්න ගත්තා. එය ජනප්‍රිය සංස්කෘතිය තුළත් එය දක්නට ලැබුණා.
මේ විදියට තාක්ෂණය වෙබ් 2.0, ක්‍රිප්ටෝ සහ කෘත්‍රිම බුද්ධියට කළ හැකි විප්ලවය ඉවැන්ජලික ප්‍රචාරයන් විදියට සිලිකන් වැලි තුළින් ලංකාව වගේ රටවල යූටියුබ් හෝ සමාජ මාධ්‍ය හරහා ටෙක් රිවීව් සිදුකරන පුද්ගලයන්ගේ මුවග රැඳෙන ආගමික වන්දනා පන්නයේ වර්ණනාවන් දක්වා එනවා.
මේ දේවත්වය තුළ ඇති ගැටලුව කුමක්ද? අපි තාක්ෂණය පොඩ්ඩක් වන්දනා කළාම මොකද වෙන්නේ? තාක්ෂණය යහපත් නැතිද? තාක්ෂණය යහපත් දෙයකට යොදාගන්න පුළුවන්. එහෙත්, ඕනෑ තාක්ෂණික සොයාගැනීමක් ස්වභාවයෙන්ම යහපත් බව සිතීම සමබර සිතීමක් නෙවෙයි. අන්න ඒ තත්ත්වය තමයි මිථ්‍යාව. රෝදය හෝ ගින්දර මෙන්ම දඩයම වෙනුවෙන් ගලක් උල් කර තියුණු ආයුධයක් සොයාගැනීම ආදී මුල්ම සොයාගැනීම්වල සිට අද දක්වා ඕනෑ සොයාගැනීමක යහපත හා අයහපත එක හා සමානව තිබෙනවා. නපුර සහ ගැලවුම්කාර භූමිකාව එකම මොහොතේ පවතිනවා.
පෝල් විරිලියෝ කියා තියෙනවා වාගේ, ඔබ නැව සොයා ගන්නා මොහොතේදී නෞකා අනතුරත් ඔබ සොයා ගන්නවා. ඔබ ගුවන් යානය සොයා ගන්නා මොහොතේදී ඔබ ගුවන්යානා අනතුර සොයා ගන්නවා. ඔබ විදුලිය සොයාගන්නා මොහොතේදී විදුලි සර වැදීම සොයා ගන්නවා. ඕනෑම තාක්ෂණයක් එයටම ආවේණික ඍණාත්මකභාවයකින් සමන්විතයි. එම අනතුරත් ඒ තාක්ෂණ දියුණුවට සමගාමීවම වර්ධනය වෙනවා.
උදාහරණයක් විදියට මීට පෙර කීව කාර්මික විප්ලවය සමග මහා පරිමාණ කර්මාන්තශාලා ඇති වෙන්නට ගත්තා. ඒ කර්මාන්තශාලාවල වැඩ කරන්නට ඉඩම් අයිති ජනතාව යන්නට පටන් ගත්තා. අත්කම් නිර්මාණ කළ අයට කර්මාන්තයන් සමග තරග කරන්නට බැරි වෙද්දී, මහා පරිමාණ කර්මාන්ත හිමියන්ට පමණක් ලාභ සොයන්නට හැකි වුණා. ඒ හිමියන්ට ඕනෑ විදියට වැඩ කරන්න මිනිස්සුන්ට සිදු වෙද්දී, මිනිසුන්ගෙ මහන්සියට සාධාරණව ගෙවන්නේ නැතිව ඔවුන්ගෙන් වැඩ ගන්න ගත්තා. තාක්ෂණයට සමගාමීව යටත් විජිතවාදය ඇති වුණා. ඔවුන් ලැබූ තාක්ෂණික දියුණුව පාවිච්චි කෙරුණේ අප වැනි රටවල්වලට කඩා වැදී අපව කොල්ලකෑමට.
නැවත වතාවක් පරමාණු බෝම්බයට ගියහොත් අයිස්න්ටයින්, නීල්ස් බෝර් සහ වර්නන් හයිසන්බර්ග් ඇතුළු විද්‍යාඥයන් ගණනාවකගේ සොයාගැනීම් ඉතා බිහිසුණු ඝාතක අවි බවට හරවන්නට බලය හා ප්‍රාග්ධනය හිමි අය කටයුතු කළා. එය ඔවුන් ජපානය මත පතිත කළේ කේන්ති ගිය දෙවියෙකුගේ දිව්‍යමය කෝපයක් වාගෙයි.
තාක්ෂණය අහෝසි කරලා දාන එක? අතීතයට යන එක? තාක්ෂණය එපා කියන එක? තාක්ෂණ දියුණුව නවත්වන එක? ගල් යුගයට යන එක මේ දැනුත් සිලිකන් නිම්නය තුළ මහා පරිමාණ ශ්‍රමය සූරාකෑමක් වගේම, දැවැන්ත විදියට පොදු ජනතාවගේ බදු මුදල් රජය හරහා ආයෝජන ලෙස ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ අධික ලාභයක් ලෙස අය කිරීමකුත් සිදු වෙනවා.
ඇත්තටම මේ ‘ශාස්තෘ’ පන්නයේ ධනවතුන් තව තවත් ධනවත් වෙද්දී, තාක්ෂණයෙන් අධිවේගයෙන් ධනවත් වෙද්දී, ප්‍රාග්ධනය ගොඩගසද්දී, ඇත්තටම ඒ සියලු තාක්ෂණයන් පසුපස සැබෑ ලෙසම තිබුණු
‘ප්‍රාග්ධනය’ වන්නේ පොදු දේපළ, පොදුජන දැනුම සහ රාජ්‍ය මැදිහත්වීම්.
උදාහරණ ලෙස ගූගල් සමාගමේ ඇල්ගොරිදම් එක ඇමෙරිකාවේ ජාතික විද්‍යා පදනම විසින් ලබාදුන් මුදල් මත ආරම්භ කෙරුණු එකක්. ඇපල් සමාගම මුල් කාලයේදී රාජ්‍ය ආයෝජනයක් වුණා.
ඒ වගේම අන්තර්ජාලය මුල් කාලයේදී ලාභදායී ආයෝජනයක් ලෙස පුද්ගලික ආයෝජකයන් හඳුනාගෙන තිබුණේ නෑ. රජය විසින් එය මිලිටරිමය විද්‍යාත්මක සොයාගැනීමක් ලෙස ආරම්භ කොට විකුණන්නට උත්සාහ කළත්, කිසි කෙනෙකු ගත්තේ නෑ. ආර්ථික විද්‍යාඥ මාරියානා මැසකාටෝ පෙන්වාදෙන දෙයක් තමයි, මුල් කාලයේ ස්ටීව් ජොබ්ස්ගේ සොයාගැනීම් බොහොමයක් මහා පරිමාණ පොදු ආයෝජනවල ප්‍රතිඵලයක් විත්තිය. අයිෆෝනයේ ක්ලික් වීල් එක, ජීපීඑස් එක, ටච් ස්ක්‍රීන් එක සහ සිරි දක්වා සියලු අංගෝපාංග ඇමෙරිකානු රජයේ ආයෝජනවල ප්‍රතිඵල වුණා. එහෙත්, ඒවායින් ලාභ හොයන ‘ශාස්තෘවරුන්’ එය සඟවමින් ලාභය පමණක්ම ගොඩගසනවා. ලාභය වෙනුවෙන් ඇතැම් අවස්ථාවලදී සමාජ දේහයන් සිදුරු කරනවා.
මෙවැනි සමාගම් තමන්ගේ ලාභය උපරිම කරගන්නට තාක්ෂණ සමාගම්වලට තාවකාලික සේවකයන් ලෙස විශාල වශයෙන් පිරිස් බඳවාගෙන අඩු වැටුපට ඔවුන්ගේ උපරිම වැඩ ගැනීමත්, එයින් පස්සේ තෝරාගන්නා පිරිසකට පමණක් අතිවිශාල වැටුප් සහිත ඉහළ මට්ටමේ රැකියා ලබා දීමත් දක්නට ලැබෙනවා. මෙවැනි තැන්වල වැඩ කිරීමේ රටාව සැබෑ ලෙස විනාසකාරීයි.
අනෙක් පැත්තෙන් බාහිර සමාජයත්, ස්වාභාවික සම්පතුත් අධික ලෙස මේ වෙනුවෙන් සූරාකනවා. ප්ලේස්ටේෂන් කියන්නේ හරි සුන්දර භාණ්ඩයක්. එයට අවශ්‍ය වන ඛණිජ වර්ග කොංගොවේ පතල්වලින් ගනු ලබනවා. 2000 දී ප්ලේස්ටේෂන් එක පැමිණීමත් සමග විශාල ඉල්ලුමක් ලැබෙන්නට පටන් ගත් විගස, ඒ රටේ ඛනිජවල වටිනාකම විශාල වශයෙන් වැඩි වුණා. එහි ප්‍රතිඵලය වුණේ මිලිටරිමය බලහත්කාරයක් මත වහලුන් වගේ ජනතාවගේ ශ්‍රමය සූරාකෑම වැඩිවීම. සමාගම්වල ලාභය වෙනුවෙන් මහා පරිමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නට රටක, ප්‍රදේශයක සූරාකෑමේ මිනීමරු සංස්කෘතියක් බිහි කෙරුණා.
ඇපල් සමාගමේ පැවැත්ම වෙනුවෙන් කර්මාන්තශාලාවල මෙන්ම ඇමසන් සමාගමේ බෙදාහැරීම් අංශවල පවා ශ්‍රමය සූරාකෑමේ ආකෘති මෑත ඉතිහාසය පුරා මාධ්‍යවලින් මහා පරිමාණයෙන් වාර්තා කළා.
ඇත්තම ප්‍රශ්නය, තාක්ෂණය විසින් අපව බේරාගනු ඇතැයි අප විශ්වාස කරන්නේ ඇයි ද යන්න. මොකක්ද විකල්පය? තාක්ෂණය අහෝසි කරලා දාන එක? අතීතයට යන එක? තාක්ෂණය එපා කියන එක? තාක්ෂණ දියුණුව නවත්වන එක? ගල් යුගයට යන එක?
ඇත්තම කතාව තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම හෝ තාක්ෂණයේ දියුණුව නවත්වන එක නෙවෙයි. තාක්ෂණය දේවත්වයට පත් කරමින්, තාක්ෂණික සේවා සපයන්නන් ශාස්තෘවරුන් බවට පත් කරමින් ඔවුන් වන්දනාමාන කිරීම නැවැත්වීමයි. තාක්ෂණය එක්ක අරුත්සුන් පරිභෝජනවාදයක් මුසු කිරීම වෙනුවට එය සැබෑ ලෙස මනුෂ්‍යත්වය ඉදිරියට ගෙන යෑමට පාවිච්චි කළ යුතුයි.
චැට් ජීපීටී හරහාම ඔබ විමසුවොත්, ලෝකය පුරා කෙතරම් රැකියා ප්‍රමාණයක් කෘත්‍රිම බුද්ධිය නිසා අහිමි විය හැකිද කියා, ගෝල්ඩ්මන් සැක්ස් සහ මිකෙන්සි ග්ලෝබල් ආයතනය ඇතුළු ආයතනවල මූලාශ්‍ර සැලකිල්ලට ගනිමින් ලොව පුරා රැකියා මිලියන 300- 400 ප්‍රමාණයක් අහිමි වෙන බව පෙන්වාවි. විශේෂයෙන් රචකයන්, නිර්මාණකරුවන් මෙන්ම සිනමාකරුවන්ට රැකියා අහිමි වෙද්දී, කෘත්‍රිම බුද්ධිය තමාගේ දැනුම ලබා ගන්නේම ලොවපුරා නිර්මාණකරුවන් විසින් කාලයක් තිස්සේ කරන ලද නිර්මාණ සහ ලියවිලි අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කරමිනුයි.
ජේසන් සැඩොව්ස්කි කියන ලේඛකයා විසින් හඳුන්වා දුන් පොටෙම්ප්කින් ඒඅයි කියන සංකල්පයත් අපි මේ ගැන කතා කරන අස්සේ සාකච්ඡාවට ගැනීම වැදගත් වෙනවා. එයින් පෙන්වා දෙන්නේ, කෘත්‍රිම බුද්ධියෙන් ඇත්තටම කළ හැකි දෙයට එහා ගිහින්, අතිනුත් කරුණු එකතු කොට අතිවිශේෂ දෙයක් ලෙස කෘත්‍රිම බුද්ධිය මවා පෙන්වීම. සරල බසට දැම්මොත්, කෘත්‍රිම බුද්ධිය ඔය කියන තරම් මාර නැහැ.
උදාහරණයක් ලෙස ඇමසන් සමාගමේ වෙළඳසැල්වල භාණ්ඩ මිලදී ගෙන මුදල් ගෙවීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා බව කයිවාරු ගැසුවත්, ඇත්තටම ඇමෙසන් සමාගම එම කටයුත්තට අඩු වැටුපට වැඩ කරන සේවකයන්ගේ සේවය යොදාගන්නා බව අතටම හසු වුණා. ඇමසන් සමාගම මැෂින් ලර්නින් ඇතුළු තාක්ෂණයන් පාවිච්චි කරමින් කෘත්‍රිම බුද්ධියෙන් මිලදී ගන්නා භාණ්ඩ හඳුනාගන්නා බව කීවත්, ඇත්තටම කැමරා යොදමින් දහසකට අධික ඉන්දියානුවන්ගේ සේවය ලබා ගනිමින් භාණ්ඩ මිලදී ගැනීමේ රටාවන් හඳුනාගන්නා බව මාධ්‍යවලින් හෙළිදරව් කළා.
පොටෙම්ප්කින් ඒඅයි හරහා සිදු කරන්නේ සැබෑ මිනිසුන් ලබාදුන් තොරතුරු මත යැපෙන ඇල්ගොරිදම් එකක් ක්‍රියාත්මක වීමත් එය සම්පූර්ණයෙන් කෘත්‍රිම බුද්ධිය හරහා සිදුකරන ලෙස මවා පෙන්වීමත්, කලින් සූදානම් කළ පිටපත් කරන ලද පිළිතුරු ඉදිරිපත් කරමින් කෘත්‍රිම බුද්ධිය දියුණු හා සංකීර්ණ ලෙස සිතනවා යැයි මවා පෙන්වීමත්. ඉතා සරල ඇල්ගොරිදමයක් පාවිච්චි කරමින් සිදුකරන ක්‍රියාවක් කෘත්‍රිම බුද්ධිය හරහා සිදුකරනවා යැයි ව්‍යාජ ලෙස හුවා දැක්වීම ඒවා හරහා සිදු කරනවා.
අද අපේ රටේ යෙදවුම් බොහොමයක අප දකින්නේ එවැනි ඒඅයි පඹයන්. ඇත්තටම කෘත්‍රිම බුද්ධිය වෙනුවට වෙනත් දේවල් පාවිච්චි කිරීමයි දැන් සිද්ධ කෙරෙන්නේ. ඒවා නොදැන හැමෝම කෘත්‍රිම බුද්ධි වන්දනාවක යෙදෙනවා.
තමන්ගේ සමාගමේ ලාභය වැඩි කර ගන්නා ශාස්තෘන්
එරික් ඩේවිස් සිය ටෙක්ජෙනොසිස් පොතේ ලියා තියෙනවා මෙහෙම, ‘නවීන තාක්ෂණයන්ගේ විස්මයජනකභාවය පැන නගින්නේ හුදෙක් ඒවායේ නව්‍යතාව මතින් හෝ ඒවායේ ඇති අද්භූතජනක මට්ටමේ සංකීර්ණ බව නිසා නොවේ. එය මීට පෙරාතීතයේ මායාකරුවන් හා ඇල්කෙමිස්ට්ලා විසින් මවා පෙන්වූ අතාත්වික මට්ටමේ ව්‍යාපෘති සැබෑ පොළොවේ යථාර්ථයක් බවට පත් වීමෙනුත් පැන නගින්නකි.’
ඒ කියන්නේ, දැන් නවීන තාක්ෂණයෙහි අප දකින මැජික් එක තියෙන්නේ ඒවා අලුත් නිසා විතරක් නෙවෙයි. ඉස්සර කාලෙ අපට මැජික් විදියට ආගමික පොත්පත්වලින් විතරක් දකින්න තිබුණ දේවල් මහපොළොවේ යථාර්ථයක් බවට පත්වීම තුළිනුත් එහි විස්මිතභාවය මැවෙනවා.
අප දැනටමත් දන්නවා අප විශේෂඥයන් වන විෂයකට අදාළව චැට් ජීපීටී එකට යමක් කියන්නැයි ඉල්ලුවොත්, එය කෙතරම් දුර්වලද කියා. ඔබ නීති විශේෂඥයෙකු නම් නීතිය පිළිබඳ කෘත්‍රිම බුද්ධියෙන් ලියවාගන්නා රචනයක මොන තරම් කරුණු තොගයක් තිබුණත්, එහි තර්ක කෙරෙන ආකාරය ආදී බොහෝ කරුණු ප්‍රමාණවත් නෑ. ගැලපෙන්නේ නෑ. කෘත්‍රිම බුද්ධිය හරහා නිර්මාණය කරන කලාකෘතියක් වුණත් සැබෑ කලාකෘතියක් වෙන්නේ නැහැ. මෙයට තාක්ෂණ වන්දනාකරුවන් කියන්නේ, කෘත්‍රිම බුද්ධියට ඔබ සපයන ‘ප්‍රොම්ප්ට්’ එක වැදගත් බව. එනම්, සරලව වන්දනාකරුවන් පිළිගන්නවා මිනිස් බුද්ධියයි අවසානයේදී වඩා වටින්නේ කියා. කෘත්‍රිම බුද්ධිය ‘ග්ලෝරිෆයි’ කරන ලද ගූගල් සර්ච් එන්ජිමකට වඩා වටින්නේ නැති විත්තිය.
දැන් බිලියන ගණන් දරුවන් බඩගින්නේ සිටියදී, කොටින්ම කීවොත් ලොවපුරා ජනගහනයෙන් බිලියන 2.6ක් ඔන්ලයින් ප්‍රවේශ වෙන්නත් හැකියාව නැතිව තිබියදී ලෝකය අර්බුදයක සිටියදී නවීන තාක්ෂණය ඇවිදින් ඒ මිනිසුන්ව බේරා ගන්නේ කෙලෙසද? කොටින්ම කිවහොත් මේ වෙද්දී නවීනම සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රම පවා ලබා ගන්නට පුළුවන් ඉතා සීමිත පිරිසකට විතරයි. එතකොට එවන් නව සොයාගැනීම් ලෝකය බේරාගැනීම් වෙන්නේ කොහොමද? යුද්ධය, දේශගුණ අර්බුදය? තාක්ෂණය විසින් ඉබේම අවසන් කරනු ඇතිද?
ලාභය මුල් කරගත් වර්තමාන තාක්ෂණ සංස්කෘතිය විසින් ඇත්තටම ලෝකයේ වැඩි පිරිසකට යහපත සොයාගැනීම වෙනුවට ඇත්තටම සිදු කරන්නේ තාක්ෂණයේ හිමිකරුවන්ගේ යහපත සොයා යෑමයි.
බුදුන්, ජේසුස් වහන්සේ හෝ මුල්කාලීන ආගමික ශාස්තෘවරුන් තමන්ගේ පැවැත්ම හඬක් නැති බහුතරය වෙනුවෙන් කැප කළා. කාල් මාක්ස් ආදීන් පවා ඇත්තටම තමන්ගේ ‘ශෘස්තෘ’ මට්ටමේ තත්ත්වය පොදු යහපත වෙනුවෙනුයි යෙදෙව්වේ.
මේ බොහෝ ශාස්තෘන් අවධානය යොමු කරන්නේ තමන්ගේ සමාගමේ ලාභය වැඩි කරමින්, තමන් උපයන මුදල වැඩි කරමින් ලෝකයේ ලොකුම ධනවතුන් විදියට පවතින්නයි.
එතකොට දැන් තියෙන ලෝකයේ ප්‍රශ්නවලට පිළිතුර තාක්ෂණයෙන් ලැබිය නොහැකිද? ඒවායින් සමහර දේවල්වලට තාක්ෂණය හරහා විසඳුම් සොයාගත හැකි බව ඇත්ත.
තාක්ෂණයේ දේවාල තුළින් දේවත්වයෙන් ලබා දෙන ‘විසදුම්’ පිළිබද අදහස ශක්තිමත් වෙන තරමට අපගේ සාමූහිකත්වය තුළ අපට ලැබිය හැකි සාමූහික නිදහස පිළිබඳ හැඟීම ඈතට යනවා විය හැකියි. එකමුතුව අපට සොයාගත හැකි ජයග්‍රාහී මොහොත කල් යනවා විය හැකියි. සමහරවිට විමුක්තිය තිබෙන්නේ අප එකතු වීම මත විය හැකියි.
තරිඳු උඩුවරගෙදර