ඊලෝන් මස්ක් වැනි ව්‍යාපාරිකයන් කැඳවාගැනීම ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන

27

ටෙස්ලා සහ ස්පේස් එක්ස්හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

රුවන් විජේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් 27දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා මෙසේද පැවසීය.

ලෝක ජල සමුළුවට සහභාගී වූ සංචාරයේදී ජනාධිපතිවරයා සහ ටෙස්ලා සහ ස්පේස් එක්ස්හි ප්‍රධානී ඊලෝන් මස්ක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා. එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේදී ලංකාවට පැමිණෙන බවද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එමඟින් මෙරට ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා. එවැනි ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීම තුළින් මුළු ලෝකයටම ශ්‍රී ලංකාව විවෘත වන බවට පණිවිඩයක් නිකුත් වෙනවා. එමඟින් ලෝකයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් මෙරටට පැමිණීමේ ඉඩක් සැලසෙන බවද සඳහන් කළ යුතුයි.

ඒ වගේම “Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම හරහා මෙරට අන්තර්ජාල පහසුකම දුර්වල ප්‍රදේශවලටද ගැටළුවකින් තොරව අන්තර්ජාල පහසුකම් ලබාදීමට හැකිවනවා. එය සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකයට වැඩදායී ක්ෂේත්‍ර රැසක වර්ධනයට රැකුලක් වන බවද සඳහන් කළ යුතුයි. “Starlink” ව්‍යාපෘතිය මේ වන විට ලෝකයේ රටවල් 99කට පමණ ව්‍යාප්තව තිබෙනවා. මාලදිවයින සහ ඉන්දුනීසියාව වැනි රටවල්ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment