ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා වැසියන්ට විරුද්ධව 2023 ඔක්තෝබර් 7 වැනිදා ඇරඹූ ජන සංහාරය නවත්වන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමින් කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉදිරිපිට මුස්ලිම් ප්රගතිශීලී බලවේගය, නිදහස් පලස්තීනයක් සඳහා මිතුරන් සමග එක්ව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
ඒ සඳහා එක්සත් සාම සන්ධානයේ නිර්මාතෘ හා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කලීලුර් රහ්මාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එහිදී මාධ්‍ය අමතමින් හිටපු නාගරික මන්ත්‍රී කලීලුර් රහ්මාන් මෙසේ පැවසීය. පලස්තීන අර්බුදය වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු රජය ප්‍රකාශයක් නොකිරීම කනගාටුවට කරුණක් වුවත් පලස්තීන අර්බුදය සම්බන්ධව ඔවුන්ගේ අතීත ස්ථාවරය ද අගය කරනවා. එම නිසා පසුගිය රජය ඊශ්‍රායලය වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියා සඳහා යැවීම යනු ඔවුන්ගේ ජීවිතය ද නොතකා ඩොලර් වෙනුවෙන් යැවීම කනගාටුවට කරුණක්.
එමෙන්ම ඔවුන්ගේ ජීවිත පලස්තීන සටන්කාමීන් අතින් යම් අනතුරුදායක තත්ත්වයකට පත්වුවහොත් එය මෙරට මුස්ලිම්වරුන්ට ද පීඩනයක් එල්ල කරන තත්ත්වයකට ඇදගෙන යෑම සඳහා වූ භූගෝලීය දේශපාලන කුමන්ත්‍රණයක් ද විය හැකි යැයි අපි සැක කරන්නෙමු. එම කනගාටුදායක තත්ත්වය ඇති නොවීම මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ගයන් වර්තමාන ආණ්ඩුව ගැනීම නුවණට හුරු යැයි අප අවධාරණය කර සිටිනවා යැයි කීය.