ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා අණදෙන නිලධාරියෙක් මරුට

286

ඊශ්‍රායලය විසින් පෙරේදා (07දා) ලෙබනනයට එල්ල කර ඇති ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන පෙළේ අණදෙන නිලධාරියෙකු වන සුහේල් සුසේන් හුසේනි මරු මුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මියගොස් ඇති හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරියා ඉරානය හා හිස්බුල්ලා සංවිධානය අතර අවි හුවමාරු කරගැනීමේ කාර්යයේ වැදගත් භූමිකාවක් ඉටු කළ අයෙකු ලෙස ප්‍රකට වී තිබේ. එමෙන්ම ඔහු හිස්බුල්ලා සංවිධානයේ සැපයුම්, අයවැය හා කළමනාකරණ කටයුතු ද භාරව සිට ඇත. දකුණු දිග ලෙබනනයේ පවතින හිස්බුල්ලා කඳවුරු ඉලක්ක කරගෙන ඊශ්‍රායල පාබල හමුදාව විසින් දියත් කර ඇති ගොඩබිම් මෙහෙයුම ඊයේ දිනයේ ලෙබනනයේ නිරිතදිග කොටසට ද ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබූ බව ඊශ්‍රායල බලධාරීහු පවසති.

ඊශ්‍රායලය විසින් දකුණු දිග ලෙබනනයේ පවතින හිස්බුල්ලා සංවිධානයට අයත් කඳවුරු 70කට පෙරේදා දිනයේ ගුවන් ප්‍රහාර එල්ල කර තිබූ අතර ඊයේ (08දා) දිනයේ සිය ප්‍රහාරයන් තවත් දැඩි කරමින් පැයක කාලසීමාවක් තුළදී දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා කඳවුරු 120කට අධික සංඛ්‍යාවකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබිණි. මේ අතර ඉකුත් සතියේ සිට ඊශ්‍රායල හමුදා විසින් දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කරමින් පවතින ගුවන් ප්‍රහාර හේතුවෙන් ඊයේ (08දා) වන විට ලෙබනනයේ සිට හාරලක්ෂයකට අධික පිරිසක් සිරියාවට පලා ගොස් තිබූ අතර ඉන් තුන් ලක්ෂයක් පමණ දෙනා සිරියානු ජාතිකයන් බව අනාවරණය වී තිබේ. තවත් ලෙබනන ජාතිකයන් 12 ලක්ෂයක් පමණ දෙනා ඊශ්‍රායල -හිස්බුල්ලා සටන් හේතුවෙන් අවතැන්ව සිටින බව වාර්තා වී තිබේ. පෙරේදා දිනයේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයන් 190ක් පමණ එල්ල කර තිබූ බවද වාර්තා වේ. කෙසේ වුවද එම රොකට් ප්‍රහාරවලින් දැඩි හානි සිදු වූ බවට වාර්තා වී නොතිබිණි. මේ අතර පෙරේදා දිනයේ කඳුළු හා කෝපය මධ්‍යයේ ඊශ්‍රායල ජාතිකයන් විසින් හමාස් සංවිධානය සිය රටට ඉකුත් වසරේ ඔක්තෝබර් 07 වැනිදා එල්ල කළ මාරාන්තික ප්‍රහාරයේ පළමු සංවත්සරය සමරා ඇති අතර ඒ නිමිත්තෙන් ප්‍රකාශයක් කර ඇති ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දිගටම සිය සටන පවත්වාගෙන යන බවට ප්‍රතිඥා දී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment