ඊළඟට ඕන බීජ සංරක්ෂණයක්… මැලේසියාව බීජ නොදුන්නොත් අපි ඉවරයි…

157

– අනුරාධපුර නැගෙනහිර නුවර ගම් පළාත ජවිපෙ ප‍්‍රදේශීය සභා මන්තී‍්‍ර කුමුදු පි‍්‍රයන්ත ගුණවර්ධන


bija

 * කාබනික කෘෂිකර්මාන්තයට අපි ප‍්‍රවේශ වුණේ මීට අවුරුදු පහළොවකට පෙර…
 * ජෛව ජනන හරිත තාක්‍ෂණය ඔස්සේ අපි පොහොර, කෘමි විකර්ෂණ නිෂ්පාදන කරනවා…
 * කාබනික පොහොර හදන්න ගොවීන්ට අපි පුහුණු කරනවා…

 උතුරුමැද රසායනික භාවිතයෙන් ප‍්‍රබල ලෙස බැට කන ප‍්‍රදේශයකි. එම පළාතේ ඇතැම් ගොවි ගම්මාන තුළ වකුගඩු රෝගීන් නොමැති පවුලක් සොයාගැනීම ද අසීරු තරම්ය. වකුගඩු රෝගීන් බහුලවීමට වගා බිම්වලට යොදන රසායනිකවල දැඩි බලපෑමක් තිබෙන බව එම පළාතේ දේශපාලනඥයෙක්ම අපට කීවේය. හේ දේශපාලනඥයෙක් පමණක් නොව, අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ප‍්‍රදේශයේ පදිංචිව සිටින රටට ආදර්ශවත් තරුණ ගොවි මහත්මයෙකි. ජෛව විද්‍යාත්මක ගොවිතැන ගැන පර්යේෂණ කරගෙන යන පර්යේෂකයෙකි. දේශීය වී වර්ග අසූපහක් සංරක්‍ෂණය කරගෙන සිටින, මේ වනවිට රටේ දැවෙන ගැටලූවක් වී තිබෙන පොහොර අර්බුදයට සාර්ථක විසඳුමක් ඉදිරිපත් කර සිටින පර්යේෂණ කණ්ඩායමක සාමාජිකයෙකි. හේ කුමුදු පි‍්‍රයන්ත ගුණවර්ධනය. ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයාය. හිටපු උපාධිධාරි ගුරුවරයෙකි. මෙතැන් සිට පෙළගැසෙනුයේ කාබනික ගොවිතැන ගැන ඔහු සමඟ අප කළ සාකච්ඡාවේ සංක්‍ෂිප්තයකි.

 ..කාබනික කෘෂිකර්මාන්තයට අපි ප‍්‍රවේශ වුණේ මීට අවුරුදු පහළොවකට පෙර. ඒකට ප‍්‍රධාන හේතුව රසායනික කෘෂිකර්මාන්තය විසින් මහ පොළොවටත්, පරිසරයටත්, මිනිසුන්ටත් සිදුකර තිබෙන බරපතළ හානිය අපිට පෙනුණා. අපේ ප‍්‍රදේශවල පැතිරී තිබෙන වකුගඩු රෝගය සහ බෝ නොවන වෙනත් රෝගවල ව්‍යාප්තිය අපි දැක්කා. දේශපාලන ව්‍යාපාරයක් විදිහට පක්‍ෂය තුළ ඒ පිළිබඳ සංවාදයක් ගොඩනැෙඟනකොට, කෘෂි විද්‍යාඥයෙක් විදිහට ආචාර්ය අශෝක රන්වල සහෝදරයා ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරගෙන ගියා. එම පර්යේෂණවල ක්‍ෂේත‍්‍ර පරීක්‍ෂණ කටයුතු කරගෙන

 ගියේ මමයි. ඒ විදිහට පර්යේෂණ කරගෙන යනකොට කාබනික කෘෂිකර්මාන්තයට එහා ගිය ජෛව විද්‍යාත්මක පැත්තට ගොවිතැන හැරවිය යුතු බව අපට අවබෝධ වුණා. ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරගෙන ගිහින් කාබනික ගොවිතැනේ දියුණු තත්ත්වයක් විදිහට .ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය. අපි දියුණු කළා. ඒත් එම සොයාගැනීම අපේ දේශපාලන ව්‍යාපාරයට ප‍්‍රචාරණ භාණ්ඩයක් කර ගත්තේ නෑ. එම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වුණේ .අපේ රට වස විසෙන් තොර රටක්. බවට පත් කරවීම පමණයි…..

 ..ජෛව විද්‍යාත්මක කෘෂිකාර්මාන්තයේ ඇති වාසි හඳුන්වාදීමත් සමඟ අප සමඟ විශාල ගොවි මහත්වරුන් පිරිසක් එකතු වුණා. ඒ සමඟ .පරිසර හිතකාමී කෘෂි ව්‍යවසායකයන්ගේ සංගමය. නමින් එකමුතුවක් පිහිටුවා ගත්තා. මේ වෙනකොට ඒ කණ්ඩායම තුළ සාමාජිකයන් එක්දහස් පන්සීය තුනක් ඉන්නවා. එම සාමාජිකයන්ගේ එකමුතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ එක මාස් කන්නයකට අක්කර විසිදහසක් පමණ බඩඉරිඟු සහ වී වගා කරනවා. මේ කන්නයේදී පමණක් අක්කර එක්දහස් පන්සීයක් කුඹුරු කරලා තියෙනවා. මම මහන්සි වෙලා අක්කර විසිඑකක් වී වගා කරලා තියෙනවා. ඒ ගොවිබිම්වලට යොදලා තියෙන්නෙ .ජෛව ජනන හරිත තාක්‍ෂණය. ඔස්සේ අපි විසින් නිෂ්පාදනය කරන ලද ජෛව පොහොර. සරුසාර වගාවක් තුළින් මේ දිනවල අස්වැන්න නෙළමින් සිටිනවා…..

 ..මුලදී අපි ජෛව පොහොර භාවිත කළේ සාම්ප‍්‍රදායික වී වර්ගවලට විතරයි. සුවඳැල්, කහවනු, කළුහීනටි ආදී සාම්ප‍්‍රදායික වී වර්ග විස්සක් අපි වගා කරගෙන යනවා. මේ වෙනකොට සාම්ප‍්‍රදායික වී වර්ග අසූපහක් මම සංරක්‍ෂණය කරගෙන තිබෙනවා. ඒ අතර .රන්කුමුදුවැල්. කියන විශේෂ වී වර්ගයක් තියෙනවා. දැඩි අසීරුවෙන් එම වී බීජ වර්ධනය කරගෙන අපේ ගොවීන්ට ලබා දීලා මේ කන්නයේ වී කිලෝ තුන්දහසක් විතර නිෂ්පාදනය කරගෙන තියෙනවා. හාල් ඇටය කළුයි, දිගයි. ලැබෙන අස්වැන්න අඩුයි. සාමාන්‍යයෙන් සාම්ප‍්‍රදායික ඇතැම් වී වර්ගවලින් ලැබෙන අස්වැන්න අඩුයි. ඒත් ජෛව පොහොර භාවිත කරමින් වගා කරන කුඹුරුවලින් ලැබෙන වී අස්වැන්න රසායනික භාවිතයෙන් ලැබෙන අස්වැන්නට වඩා බරෙන් වැඩියි. අපේ වගා බිම්වලට භාවිත කරන ජෛව පොහොර සාම්ප‍්‍රදායික වී වර්ගවලට පමණක් නෙමෙයි අභිජනන වී වර්ගවලටත් භාවිත කරන්න පුළුවන්. බතලගොඩ වී පර්යේෂණ ආයතනය හඳුන්වාදී තිබෙන බී. ජී. 352 සහ බී. ජී. 358 වී වර්ග ජෛව පොහොර භාවිතයෙන් වගා කරලා ඒ බව තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම එම පර්යේෂණය තුළදී අපට තහවුරු වූ විශේෂත්වය තමයි ජෛව පොහොර භාවිතයෙන් වගා කළ අභිජනන වීවලින් ලැබුණු අස්වැන්න රසායනික භාවිතයෙන් ලැබෙන වී අස්වැන්නට වඩා බරෙන් වැඩි බව. ඒ නිසා මේ කන්නයේදී බී. ජී. 367, බී. ජී. 300 නාඩු වර්ගයත් ජෛව පොහොර භාවිතයෙන් අපි වගා කළා. මේ වෙනකොට හොඳ අස්වැන්නක් ලැබෙමින් තියෙනවා…..

bija2..රටේ විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කිරීමේ සහ අමුද්‍රව්‍ය ලබාගැනීමේ පහසුව ගැන සැලකිලිමත් වෙමින් අපේ පොහොර නිෂ්පාදනාගාරය පිහිටා තියෙන්නේ කුරුණෑගල, පන්නල ප‍්‍රදේශයේ. එම නිෂ්පාදන ආයතනයේ හදන පොහොරවල සියයට සියක්ම අඩංගු වෙලා තියෙන්නෙ ශාක සහ සත්ත්ව කොටස්. සත්ත්ව කොටස් ලබාගැනීමේදී, විශේෂයෙන්ම කුකුළු මළ ද්‍රව්‍ය ලබාගැනීමේදී යම් රසායනික ප‍්‍රමාණයක් එකතු වේ යැයි සැලකිලිමත් වෙමින් අශෝක රන්වල සහෝදරයා විසින් සතාට ප‍්‍රතිජීවක දෙනවා වෙනුවට ක්‍ෂුද්‍රජීවී තාක්‍ෂණය යොදාගෙන අලූත් කුකුළු කෑම එකක් හඳුන්වා දුන්නා. මෙරට ජනප‍්‍රිය මහා පරිමාණ කුකුළු ෆාම් දෙකකට එම ආහාර වේල හඳුන්වාදීමෙන් පසු ඔවුන් එය පිළිගෙන සතුන්ට ලබා දුන්නා. මේ වෙනකොට සතුන්ට ඇන්ටිබයිටික් ලබාදෙන්න ඒ ආයතන රුපියලක්වත් වියදම් කරන්නේ නෑ. ඒ ෆාම්වල සම්පූර්ණ සත්ත්ව මළපහ කොටස් ගන්නේ අපි. ඒ නිසා අපේ ජෛව පොහොරවල රසායනික අල්ප මාත‍්‍රයක්වත් නෑ…..

 ..අපේ නිෂ්පාදන ආයතනයෙන් ඝන පොහොර, දියර පොහොර වර්ග දෙකක් නිෂ්පාදනය කරනවා. සත්ත්ව කොටස් සහ ඇල්බීසියා, ජපන්ජබර, පිදුරු, ඉවතලන පලතුරුවල රොඞ්ඩ කොටස් භාවිත කරමින් ඝන පොහොර නිෂ්පාදනය කරනවා. එම ක‍්‍රියාවලියේදී යන්ත‍්‍රානුසාරයෙන් අදාළ කොටස් කැබිලි කිරීමක් සිදු කරන්නේ නෑ. පසේදී කාබනික ද්‍රව්‍ය ජීර්ණයවන ස්වභාවික ක‍්‍රියාවලියටම තමයි ජෛව පොහොර නිෂ්පාදනය කෙරෙන්නෙ. ආචාර්ය අශෝක රන්වල මහතා විසින් විද්‍යාගාරයක් තුළ ක්‍ෂුද්‍රජීවී ක‍්‍රියාකාරීත්ව ඇති කරලා පොහොර නිෂ්පාදනය කරන ක්‍ෂේත‍්‍රයට මුදාහරිනවා. එම ක‍්‍රියාකාරිත්වය තුළ දින 21කින් පොහොර බවට පත්වෙනවා. අපි හදන ජෛව පොහොර සාමාන්‍ය ගොවියකුට හදන්න බෑ. ඒත් යම් ප‍්‍රමිතියකට අනුව ජෛව පොහොර හදාගැනීමේ පුහුණු වැඩසටහනක් ග‍්‍රාමීය මට්ටමින් අපි කරගෙන යනවා. එම පුහුණු වැඩසටහනේදී ක්‍ෂුද්‍ර ජීවීන් වර්ධනය කරගැනීම සඳහා මාධ්‍යයක් විදිහට මාළු ලේ, ගව මුත‍්‍ර, පලතුරු යුෂ, එළකිරි ප‍්‍රමාණයක් යොදාගැනීමට අපි උපදෙස් දෙනවා. මේ මාධ්‍යයන්වල ක්‍ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය අතිශය ඉහළයි. මාළු ලේ සොයාගැනීමට අපහසු නම් මාළු කඬේක ඉවතලන කොටසක් ගෙනැත් දවස් තුන, හතරක් පල් වෙන්න තියලා ඒ මිශ‍්‍රණය ගන්නත් පුළුවන්. ඒ මාළු කොටස් .මුහුදු මාළු. වෙනවා නම් ඉතාම හොඳයි. මුහුදු මාළු අපද්‍රව්‍යවල ක්‍ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය වැඩියි. එම මිශ‍්‍රණය සකස්කර ගැනීමේදී වතුර 10ට ගව මුත‍්‍ර එකක් මාළු ලේ හෝ පලතුරු යුෂ, එළකිරි එකක් එකතු කළ යුතුයි. ඊට අමතරව නයිට‍්‍රජන් අධික ඇල්බීසියා, ඉපිල් ඉපිල්, ජපන්ජබර, මල් නොපිපෙන ශාක කොටස්, කුකුළු, ගව, එළු මළපහ කොටස් එකතු කරගත යුතුයි…..

 ..කාබනික පොහොර සෑදීමේදී අවශ්‍ය ද්‍රව්‍ය එලන ක‍්‍රම විවිධාකාරයි. අපි පොහොර හදන ක‍්‍රමවේදයේදී ශාක කොටස් එළා ඒ මතට ගොම දියර එකතු කරනවා. ඒ විදිහට තට්ටු හතරකට පසුව කුකුළු, ගව හෝ එළු මළ පහ තට්ටුවක් එකතු කරනවා. ඒ මතට ගව මුත‍්‍ර සහ මාළු ලේ හෝ පලතුර යුෂ, එළකිරි එකතු කර සකස් කරගත් මිශ‍්‍රණය එකතු කරනවා. ඒ විදිහට අඩි හතරක් පමණ උසට තට්ටු, තට්ටු අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර සම්පූර්ණයෙන්ම වැසිය යුතුයි. කාබනික කොටස් දිරාපත්වීමට උෂ්ණත්වය, තෙතමනය අවශ්‍යයි. ඒ වගේම ක්‍ෂුද්‍රජීවීන්ට ක‍්‍රියාකාරී වෙන්න අන්ධකාරය අවශ්‍යයි. ඒත් අපේ ජෛව පොහොර නිෂ්පාදන ආයතනයේ කෙරෙන නිෂ්පාදනවලදී වැස්මක් අවශ්‍ය නෑ. ඒක දියුණු තාක්‍ෂණයත් සමඟ කෙරෙන ක‍්‍රියාවලියක්. ගොවීන් පුහුණු කරන ක‍්‍රමයේදී දින හතළිස්පහෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන්. පොහොර හැදෙන කාලය හරියටම තීරණය කරන්න පුළුවන් කාබනික තට්ටුව නඩත්තු කරන ආකාරය අනුවයි. හරියට කළොත් ක්‍ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය ඉතා හොඳින් සිදුවී අඩි හතරට හදපු කොම්පෝස්ට් එක දවස් දහයක් යනකොට අඩි දෙකට බහිනවා…..

 ..ඒත් අපි කියන්නෙ ගොවීන්ට පොහොර හදන්නයි, වගා කරන්නයි දෙකක් කරන්න බෑ. රජය විසින් ගොවීන්ට පොහොර ලබාදෙන්න ඕනෑ. ඒ වගේම ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමටත් රජය හෝ පෞද්ගලික අංශය හරහා යම් විධිමත් වැඩපිළිවෙළක් සකස් වෙන්න ඕනෑ. ඒත් දැන් තියෙන ප‍්‍රධාන ගැටලූව වගා කිරීමට පොහොර නැතිකම. ඒ නිසා රජය මැදිහත් වෙලා පොහොර නිෂ්පාදනය කළ යුතුයි. පොහොර නිෂ්පාදනය කිරීමට රට පුරා ව්‍යවසායකයන් ලක්‍ෂයක් හැදීමට අපි රජයට යෝජනා කරලා තියෙනවා. ඒ ලක්‍ෂයට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම රජය කටයුතු කළ යුතුයි. ව්‍යවසායකයන් තෝරාගැනීමේදී පොහොර නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් ලබාගැනීමේ හැකියාව, නිෂ්පාදකයන් තුළ ඇති උනන්දුව ගැන සැලකිලිමත් වනවා විනා .දේශපාලනය. නිර්නායකයක් විදිහට පාවිච්චි නොකළ යුතුයි. ඝන පොහොර නිෂ්පාදනයට අවශ්‍ය තාක්‍ෂණය අපිට ලබාදෙන්න පුළුවන්. දියර පොහොර නිෂ්පාදනය විද්‍යාගාර තුළ සිදුවන ක‍්‍රියාදාමයක් නිසා අපේ ආයතනය මගින් නිෂ්පාදනය කර දෙන්න පුළුවන්. එම නිෂ්පාදන ක‍්‍රියාවලියට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර යටිතල පහසුකම් රජය විසින් ලබාදිය යුතුයි. මේ නිෂ්පාදන ක‍්‍රියාවලියට පෞද්ගලික ආයතනයක් සම්බන්ධ වුණොත් නිෂ්පාදනය කරන පොහොරවලට මිලක් නියම කරන්න වෙනවා. ඒකට අපි කැමැති නෑ…..

bija3..දැනටත් අපි රසායනික වී වගාවේ අවස්ථාවන්වලට භාවිත කරන පොහොරවලට අදාළව ජෛව පොහොර නිෂ්පාදනය කර තියෙනවා. පොළොවට යොදන ඝන පොහොර, පොළොවට යොදන දියර පොහොර, ශාක වර්ධනයට යොදන පොහොර සහ බණ්ඩි පොහොර වශයෙන් පොහොර වර්ග හතරක් නිෂ්පාදනය කර තියෙනවා. රසායනික පොහොර භාවිතයෙන් ලබාගන්න අස්වැන්නට සමාන අස්වැන්නක් හෝ ඊට වැඩි අස්වැන්නක් ජෛව පොහොර භාවිතයෙන් ලබාගත හැකි බව අපි පර්යේෂණ තුළින් සනාථ කරගෙන තියෙනවා. ප‍්‍රතිඵල තව වැඩි කරගැනීමට අදටත් පර්යේෂණ කරගෙන යනවා. ඒ වගේම අපි නිෂ්පාදනය කරන ජෛව විද්‍යාත්මක දියර පොහොර කෘමි විකර්ෂණයක් විදිහටත් පාවිච්චි වෙනවා. මේ දියර පොහොර නිෂ්පාදනයටත්

 යොදාගන්නෙ ඉවතලන පලතුරුවල යුෂ, ඉවතලන එළවළුවල යුෂ. ඊට අමතරව සක්කර, හකුරු, එළකිරි වැනි මුහුන් වර්ග කිහිපයක් යොදාගන්නවා. ජෛව පොහොරවලට අමතරව අපේ ආයතනය විසින් කෘමි විකර්ෂණයක් හදලා තියෙනවා. වගාවේ අවස්ථා තුනකට කෘමි විකර්ශන හදලා තියෙනවා. ජෛව විද්‍යාත්මක නිෂ්පාදන ක‍්‍රියාවලියේදී සෑම පොහොර වර්ගයකින්ම, කෘමි විකර්ෂණයකින්ම පරිසරයට මුදාහරින්නේ පනුවන්ගේ ඇෙඟ් ජීවත්වන ක්‍ෂුද්‍රජීවීන්ට ප‍්‍රතිවිරෝධය දැක්විය හැකි ක්‍ෂුද්‍රජීවීන්. පොළොවේ පොහොර තියෙනවා. නයිට‍්‍රජන් තියෙනවා. ඒ නයිට‍්‍රජන් ශාකයට උරාගත හැකි ආකාරයට මෘදුකොට දෙන්නෙ ක්‍ෂුද්‍රජීවීන්. ඒ නිසා ගොවිතැනට අපි ලබාදෙන්නේ පොහොර, කෘමි නාශක නොව පසේ සංඝටක ශාකයට උරාගත හැකි ආකාරයට සකස් කරදෙන ක්‍ෂුද්‍රජීවීන්. මේක විද්‍යාවක්…..

 ..අපි නිෂ්පාදනය කරන ජෛව පොහොර වී, බඩඉරිඟු, එළවළු වගාවකට සුදුසුයි. නුවරඑළියේ එළවළුවලට හරියටම හරි. පලතුරු වගාවට තවම පර්යේෂණ කරගෙන යනවා. ඒ වගේම ජෛව පොහොර පැකේජය වගා අක්කරයකට රුපියල් දහතුන්දහස් අටසියයක මිලකට දෙන්න පුළුවන්. මේ වනවිටත් රජය විසින් වගා අක්කරයකට රසායනික පොහොර ලබාදීමට රුපියල් දාහත්දහස් හාරසියයක පිරිවැයක් දරනවා. ඒ වගේම රසායනික ගොවිතැනේදී අක්කරයකට පොහොර කිලෝ දෙදහසක් යෙදිය යුතුයි. අපි නිෂ්පාදනය කරන ජෛව පොහොර වගා අක්කරයකට ඝන පොහොර කිලෝ දෙසිය හතළිහයි, විවිධ වර්ගයේ දියර පොහොර ලීටර් දොළහක් ප‍්‍රමාණවත්. ඒ නිසා අපි නිෂ්පාදනය කරන ජෛව පොහොර ගොවීන්ට ලබාදීම රජයට විශාල ලාභයක්. ඒ වගේම ජෛව පොහොර නිෂ්පාදන ක‍්‍රියාවලියේදී පාරිසරික සාධක මත මෙරට කලාප හතරකට බෙදාගෙන තියෙනවා. උතුර සහ උතුරුමැද එක් කලාපයක්. වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත තව කලාපයක්. නැෙඟනහිර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කය එක කලාපයක්. දකුණේ ඉතිරි ප‍්‍රදේශ සහ බස්නාහිර පළාත තවත් කලාපයක්…..

 ..මේ කලාප හතර තුළ නිෂ්පාදනාගාර හතරක් ස්ථාපිත කරන්න අපි සැලසුම් කර තියෙනවා. එක නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට වැය වන මුදල ඇස්තමේන්තු ගතකර තියෙනවා. ව්‍යාපෘති වාර්තාව රජයට ඉදිරිපත් කර තියෙනවා. එම නිෂ්පාදනාගාර පිහිටුවීමට අලූතින් ගොඩනැඟිලි ඉදිකරන්න අවශ්‍ය නෑ. මේ කලාප හතර තුළ වැහිලා ගිය රාජ්‍ය ආයතන ඕනෑතරම් තියෙනවා. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ, මහවැලි එච් කලාපයේ තඹුත්තේගම ප‍්‍රදේශයේ පිහිටි .නිරාවිය ගොවිපොළ. කාලයක් තිස්සේ වහලා වල් බිහි වෙලා. එම ගොවිපළ තුළ ලැබ් එකක් පවා තියෙනවා. අවුරුදු හතරක් තිස්සේ එම ගොවිපළ අපි ඉල්ලනවා. අපි ගොවිපළ ඉල්ලූවේ නැවත ක‍්‍රියාත්මක කිරීමට. තවම දුන්නේ නෑ. එවැනි පසුබිමක ඉන්න රජයක් තුළින් මේ වෙනස ඉදිරියට කරගෙන යයි කියලා විශ්වාස කරන්න බෑ…..

 ..ඒ වගේම අද අපි මේ භුක්තිවිඳිමින් සිටින්නේ 1965 වර්ෂයේදී ආරම්භ වූ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක්. මේ වනවිට රසායනික ගොවිතැන මත මෙරට සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. එක රැයකින් සංස්කෘතියක් වෙනස් කරන්න බෑ. යම් සාධාරණ කාලපරිච්ෙඡ්දයක් අවශ්‍යයි. ඒ ගැන අවධානය යොමු කරමින් වසර දහයක් තුළදී කාබනික රටක් නිර්මාණය කරන බව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ සටහන් කර තිබෙනවා. එවැනි දැක්මක් තිබුණු ජනාධිපතිතුමා කඩිමුඩියේ කළ මේ වෙනස සිතාගැනීමටවත් බෑ. ජනාධිපතිතුමාගේ හදිසියෙන් වුණේ ජනතාවගේ ආශිර්වාදයෙන් කරන්න තිබුණු මේ යහපත් පරිවර්තනය අනාගෙන හත්පළේ ගා ගැනීමක්…..

bija4..දසඅතේ ණය වී ගොවිතැන් කරපු ගොවියා පොහොර නැතිව අන්ත අසරණ වෙලා. බොහෝ දෙනා කතා කරන්නේ වී වගාව ගැන විතරයි. වෙනත් වගා ගැන කතා කෙරෙන්නේම නෑ. එළවළුවලට පොහොර ඕනෑ. පලතුරු, බඩඉරිඟුවලට පොහොර ඕනෑ. මේ සියලූ වගාවන්ට කාබනික පොහොර ලබාදීමටවත් ක‍්‍රමවේදයක් සකස් කර තියෙනවද? අඩුම තරමින් ඊළඟ කන්නයටවත් ප‍්‍රමිතියකින් යුක්ත කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට රජයට තවම වැඩපිළිවෙළක් නෑ. ඒ වගේම අපේ රටට බීජ ලබානොදීමට මැලේසියාව කටයුතු කළොත් මෙරට කෘෂිකර්මාන්තය ඉවරයි. මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපට තීන්දු තීරණගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ රටේ බීජ සංරක්‍ෂණයක් නෑ. ඒ නිසා යම් පරිවර්තනයක් කළ යුත්තේ විකල්පය ශක්තිමත් කරගෙනයි. මේ පරිවර්තනය කරන්න පෙර ගොවීන්ට වෙනස්වීමට සාධාරණ කාලයක් ලබා දුන්නා නම් ඔවුන්ගේ ආශිර්වාදයත් ඇතිවම මේ වෙනස කරන්න තිබුණා. ජනාධිපතිතුමාට තවමත් කාලය තියෙනවා.

 ගැටලූව තවත් උඩුදිවීමට පෙර සිතාබැලීම එතුමාගේ වගකීමක්…..

 ..අපේ යෝජනාව නම් මේ වෙනස සෞභාග්‍ය දැක්මේ තිබෙන ආකාරයට ක‍්‍රියාත්මක විය යුතුයි. එහෙම වෙනවා නම් ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබඳ පර්යේෂණ කරන, බිමේ ජනතාව සමඟ වැඩ කරන කණ්ඩායමක් විදිහට කොන්දේසි විරහිතව අපේ සහයෝගය ජනාධිපතිතුමාට ලබාදෙනවා. ඒ වගේම ලංකාවේ ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තය දියුණු කිරීම පිළිබඳව සැකයක් නෑ. අවශ්‍ය විකල්පය ශක්තිමත් කරමින් රසායනික ගොවිතැනෙන් බැහැරවීමයි. ජනතාව, රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් සූදානම් කරවීමයි. එම පරිවර්තනයට අවශ්‍ය යටිතල පහසුකම් රජය විසින් ක‍්‍රමානුකූලව සම්පූර්ණ කරවීමයි. සමස්ත ජාතික වැඩපිළිවෙළකින් පමණයි මේ පරිවර්තනය සාර්ථක කරගන්න පුළුවන්. එක රැයකින් මෙවැනි පරිවර්තනයක් කරන්න බෑ. එවැනි වෙනසක් අපි අනුමත කරන්නෙත් නෑ. රටේ ගොවීන්ට අසරණ වෙන්න දෙන්නෙත් බෑ. ගොවීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා…..

 – තරංග රත්නවීර

advertistmentadvertistment