ඊළඟ පොහොර නැවටත් ගෙවන්න වෙයිද?

109

කේවට්ට උපදේශකයන්ගේ හා උද්දච්ච පාලකයන්ගේ තිරපිටපත් රංගනය

ශ‍්‍රී ලංකාවේ කවරකුගේ හෝ පොරොන්දුවක් මත චීනෙට අපි ඩොලර් මිලියන ගණනින් ගෙව් වෙමු. එය කඩවුණු පොරොන්දුවක් සඳහා ගෙවන ලද මුදලක් විය. මුදල ගෙවන තුරු චීනයෙන් එවන ලද නැව ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් ඈතට ගියේ හෝ නැත.

දන්නා ඉතිහාසයක භාණ්ඩයක් රට තුළට නොගෙන ඩොලර් මිලියන ගණනක් විදේශීය රටකට මුදල් ගෙවූ ප‍්‍රථම අවස්ථාව මෙය බව විද්වත්හු ප‍්‍රකාශ කර සිටියහ.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප‍්‍රකාශ කර සිටියේ මුදල් ගෙවීමක් හෝ මුදලට නැවත භාණ්ඩයක් ගැන්වීම හෝ පිළිබඳව තමන්ට කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවය.

එහෙත් රටේ පරිසර පද්ධතියට හෝ කෘෂිකර්මාන්තයට අගතියක් සිදුවන හපත් කිසිදු ව්‍යාධිජනක ැජද ශුද්‍ර ජීවියෙක් රටට ඇතුළුවීමට ඇති ඉඩකඩ හිරීම සඳහා වන නීතිරීති අණපනත් නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමේ බලය තමන්ට ඇති බව ද හෙතෙම කියා සිටියේය.

පසුගිය වසර මැද භාගයේදී ගත් ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් මහකන්නයේ වී අස්වැන්න සියයට 21.5 සිට 31.5 අතර ප‍්‍රමාණයකින් අඩුවන බව කෘෂි විද්‍යාඥයන් විසින් පර්යේෂණ තොරතුරු පාදක කර ගනිමින්, නොයෙක් වතාවක් රජය මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාවද දැනුවත් කර ඇත. මෙවන් අවම අස්වනු හානියක් පුරෝකථනය කර ඇත්තේ ශාක ආරක්ෂණය නිසි පරිදි කෙරේ යැයි උපකල්පනය කිරීමෙනි. ශාක ආරක්ෂණය සඳහා අවශ්‍ය වන වල් නාශක, කෘමිනාශක සහ දිලීර නාශක නොමැති වීම තුළින් මෙම අස්වනු හානිය තවදුරටත් වැඩිවනු නොඅනුමානය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙන්ම, රුහුණ, ශ‍්‍රී ජයවර්ධනපුර, සහ කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ද තම විෂය ක්ෂේත‍්‍රවල විද්‍යාත්මක නිපුණත්වය සහ පළපුරුද්ද මනාව විදහා පාමින් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට මෙම කාබනික හෝ පරිසර හිතකාමී වෙසින් මෑතකදී කරන ලද ක‍්‍රියාකාරකම්වල දුර්විපාක පැහැදිලි කර දී ඇත. එහෙත් අවාසනාවකට කෘෂි විද්‍යාඥයන් දුන් එම විද්‍යාත්මක උපදේශ පසෙක දමා, බොහෝ දෙනා කියා ඇති පරිදි කේවට්ට උපදෙස් පිළිගැනීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෙවන් දරුණු තත්ත්වයකට පත්ව තිබීම කනගාටුවට කරුණකි. අද පවතින තත්ත්වය මාස අටකට පෙර කරන ලද පුරෝකථනයට ආසන්න වීම හෝ ඉන් ඔබ්බට යාම, කෘෂිවිද්‍යාඥයන් බහුතරයක් දැඩි වේදනාවකින් නිරීක්ෂණය කරමින් සිටිති. නැති ප‍්‍රශ්නයක් ඇති කිරීමට ගතවන්නේ නිමේෂයකි. එහෙත් එවන් කෘත‍්‍රිමව ඇති කළ ගැටලූවක් නිසා ශ‍්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට සිදුවූ හානිය නිවැරිදි කිරීමට ක්ෂණික විසඳුම් නොමැත. අභාග්‍යය එයයි. 2021 මැයි මස සිට විවිධ සංවිධාන මාධ්‍ය විද්වතුන් මෙම හරිත සමාජ ආර්ථික ක‍්‍රමයක් කරා යන ගමනේ කෘෂිකර්මාන්තය සම්බන්ධ රාජ්‍ය ප‍්‍රතිපත්තියට එරෙහි නොවන නුමුදු, සංකල්පනාත්මකව කොතරම් සුදුසු වුවත්, එය වර්තමානයේ ක‍්‍රියාත්මක වන ආකාරයේ ඇති දෝෂ සහිත බව ඉතා සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇත. ඒවා හුදු විවේචන නොවූ අතර, විවිධ රටවල් උදාහරණයට ගනිමින් මෙන්ම, ශාක, පාංශු, ක්ෂුද්‍රජීවි සහ පරිසර විද්‍යාව පාදක කරගනිමින් එම රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ඉලක්ක සපුරාලිය හැකි ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග ද සමග ඉදිරිපත් කෙරුණු විද්‍යාත්මක විශ්ලේෂණ විය. එම සාධනීය විශ්ලේෂණ සම්බන්ධ රාජ්‍ය අවධානයක් යොමු නොවුවේ ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රය මෙන්ම ජාතික ආර්ථිකයේ අවාසනාවකට යැයි සිතීම වරදක් නැත.

1960 හරිත විප්ලවය ලෝකයට හඳුන්වා දීමත් සමග ශ‍්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික ගොවිතැන වාණිජ ගොවිතැනක් බවට පත්විය. කෙටිකලකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම එහි මූලික අරමුණ ද විය. එම අරමුණ ඔස්සේ කටයුතු කරද්දී සියලූම බෝග බාහිර සාධක මත වැඩෙන්නට ඉඩ සැලසීම මෙම ගොවිතැන් ක‍්‍රමය තුළ වූ ස්වරූපය ලෙස දක්නා ලැබිණි.

ඊළඟ පොහොර නැවටත් ගෙවන්න වෙයිද?

දෙමුහුන් බීජ හඳුන්වා දීම රසායනික පොහොර හඳුන්වාදීමත් කෘමි නාශක වල් නාශක සහ දිලීර නාශක හඳුන්වා දීම වැනි ක‍්‍රියාවන් මෙම ක‍්‍රමය පවත්වාගෙන යෑමේ දී අත්‍යවශ්‍ය කාරණා සේ පැන නැගිණි. ඒ සියල්ල එසේ වන අතරවාරයේ වත්මන් රජය කාබනික වගා සංග‍්‍රාමයක් ඇතිකිරීමේ කාර්යයකට අත තැබූයේ.

කාබනික වගා සංග‍්‍රාමය ක‍්‍රියාත්මක කිරීමේ කාර්යය තැබීමටත් මත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ආ ලේකම්වරුන් දෙපලක්ම සිය ධුරයෙන් ඉවත්ව ගියේ සිය කැමැත්තෙනි. අනතුරුව කාබනික වගා සංග‍්‍රාමය සඳහා උරදී කටයුතු කළේ මහාචාර්ය ලේකම්වරයෙකි. ඔහුට සිය ධුරය එහිම තබා යන්නට සිදුවූයේ සිහිනයකින් අවදි වන්නාක් සේය.

ඒ සියලූ තත්ත්වයන් යටතේ මේතාක් නොසැලී කටයුතු කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය. ඔහු මෙසේ කියා සිටියේය.

”වත්මන් රජයේ ප‍්‍රතිපත්ති තීරණ මත කාබනික පොහොර යොදා වගා කටයුතු සිදු කිරීම සඳහා වන යෝජනා මාලාවත් එය ක‍්‍රියාත්මක කිරීමත් රටට ඉතාම යෝග්‍ය බව මා විශ්වාස කරනවා. ඒ සඳහා පොදුවේ සියලූම දෙනා අද වන විටත් ඇපකැප වී කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි යම් හෙයකින් මෙවර වගා හානියක් හෝ අස්වනු අඩු වීමක් සිදු වුවහොත් ඊට අදාළව ගොවි ජනතාවට වන්දි මුදල් ලබා දීමේ නිශ්චිත වැඩපිළිවෙළක් ද රජය විසින් සකස් කොට තිබෙනවා. එහෙයින් එහි කිසිදු වරදක් මා දකින්නේ නැහැ.

කාබනික පොහොර ආනයනය සඳහා වූ ක‍්‍රමවේදී තමයි රටේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති වූයේ. එතැනදී වුවත් චීනෙන් කාබනික පොහොර තොගයක් ගෙන්වීමට අදාළව නිශ්චිත නීති මාලාව පියවරෙන් පියවර ක‍්‍රියාත්මක කරන්නට අපිට හැකි වුණා. ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ සාධනීය ලියවිල්ලක් මත චීනෙන් අදාළ පොහොර තොගයට අදාළ වන සාම්පලය ලංකාවට ගෙන්වීම පළමු කාර්යය වුණා. 2021 සැප්තැම්බර් 8 වැනිදා පළමු සාම්පලය මෙරටට ගෙන්වීමේ සිට වරින් වර සිදු වූ සියලූම පරීක්ෂණ කටයුතු නිසි පරිදි වූ බවට මට ප‍්‍රකාශයක් කළ හැකියි.

එම පොහොර තොගේ ලංකාවට අහිතකර ව්‍යාධිජනකයන් සිටින නිසා ඒ මෙරටට ගොඩබෑම තහනම් කිරීමට අපට සිදු වුණායින් එහා සිදු වූ කිසිදු කටයුත්තක් පිළිබඳව මට ප‍්‍රකාශයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ සියල්ල ප‍්‍රසම්පාදනය ඇතිවන තත්ත්වයක් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පොහොර ලේකම් කාර්යාලය ඊට අදාළ නීතිමය කටයුතු නිසි පරිදි සිදු කරන්නට ඇති.

මේ වන විට නැවත කාබනික පොහොර ගෙන්වන්නේද නැද්ද යන්න සාකච්ඡා කරමින් පවතිනවා. ඒ අතර ඊට අවශ්‍ය ප‍්‍රමිති සකස් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනවා. සිදුවන්නේ සැප්තැම්බර් අට වැනිදා 1704 ප‍්‍රමිතියට අදාළව හෝ ඒ අවලංගු කොට ඊට විකල්ප ලෙස වෙනත් ප‍්‍රමිතීන් සකස් කිරීමක් නොවේ. මේ වන විට ලෝකයේ සෑම රටකම පාහේ නවීන තාක්ෂණය යොදා ගනිමින් පොහොර නිෂ්පාදනය කරන බව අපි දන්නවා. හයිබි‍්‍රඞ් පොහොර නැනෝ පොහොර ආදිය අතීතයේ සිට පැවත ගෙන ආ ඒවා නෙවෙයි. වැඩි දියුණු කළ නව පොහොර වර්ග සම්බන්ධයෙන් අලූත් නීති මාලාවක් ඕනෑම රටකට අවශ්‍ය වෙනවා. මොකද ඒවායෙහි තත්ත්වයන් පිළිබඳ තමයි පර්යේෂණාගාරවලදී පර්යේෂණ සිදු කෙරෙන්නේ.

කෙසේ නමුත් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයට තනිව ප‍්‍රමිතියක් පිළිබඳ තීරණයක් ගැනීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. කෘෂිකාර්මික සමාජ මණ්ඩලයක තීරණයක් පමණක් නොවෙයි මහජන අදහස් පවා රැගෙන ඒවාට ගරු කරමින් තමයි ප‍්‍රමිති නීතිගත කිරීමට සිද්ධ වන්නේ. ඕනෑම අවස්ථාවක පවතින ප‍්‍රමිතියක් වෙනස් කිරීමට හෝ අලූතින් ප‍්‍රමිතියක් සකස් කිරීමට කණ්ඩායමක සාමූහික අදහස් අවශ්‍ය වෙනවා. එයින් හැර කිසිදු අවස්ථාවක ප‍්‍රමිති ආයතනයට ඒ උදෙසා ක‍්‍රියාත්මක විය නොහැකියි.”

රටක කෘෂිකර්මාන්තය තනිව කළ හැක්කක් නොවේ. ඒ සඳහා ප‍්‍රාමාණික විද්වතුන්ගේ පර්යේෂණ ඉගෙනුම් ක‍්‍රමවේද අත්හදා බැලීම් සියල්ලෙහි ප‍්‍රතිඵල අත්‍යවශ්‍ය වනු ඇත. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දැක්වූ තවත් විද්වතෙකි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා. ඔහු මෙවන් අදහසක් දක්වා සිටියේය.

”අස්වැන්න වැඩිපුර අවශ්‍යනම්, ඒ සඳහා පෝෂක අවශ්‍ය ප‍්‍රමාණයට අවශ්‍ය අවස්ථාවේදී සැපයිය හැකි ප‍්‍රභවයක් භාවිත කළ යුතුය. මේ ගැන විවාදයක් නැත. කාබනික පොහොර, ද්‍රව නැනෝ පොහොර සහ අනෙකුත් දියර පොහොර, ආනයනය කරන ලද ඝන කාබනික පොහොර, ජෛව පොහොර හා ජෛව අඟුරු භාවිතයෙන් මේ වැඩි අස්වනු තත්ත්වය බොහොමයක් බෝග සඳහා ප‍්‍රායෝගිකව ළඟා කරගත නොහැකි බව විශ්වවිද්‍යාලවල ශෂ්‍ය විද්‍යාඥයන් සහ පාංශු විද්‍යාඥයන් මෑතකදී ඉතා පැහැදිලිව විග‍්‍රහ කර ඇත. කාබනික ද්‍රව්‍ය යෙදීම කෘත‍්‍රිම රසායනික පොහොරවල පවත්නා පෝෂක ශාකයට හොඳින් උරා ගන්නා අයුරින් පසේ භෞතික, රසායනික මෙන්ම ජෛවීය ගුණාංග වැඩි කරන බව අප අමත කළ යුතු නැත. එමගින් කෘත‍්‍රිම රසායනික පොහොරවල අන්තර්ගත පෝෂක හානිවීම වළක්වාලමින් පරිසරයට වන හානි අවම කරන බව විද්‍යාව දන්නෝ දනිති. ශාකයට අවශ්‍ය පෝෂක අඩංගු පොහොර ප‍්‍රමාණය එක්වරම ශාකයට ලබාදීම වෙනුවට එය කඩින්කඩ ශාකයට අත්‍යවශ්‍ය අවස්ථාවේ ලබා දීම මගින් පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩිවනවා මෙන්ම කෘත‍්‍රිම රසායනික පොහොර මගින් වන පරිසර හානියක් ඇත්නම් එය ද අවම කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම අනෙකුත් පර්යේෂණ ආයතන මගින්ද පොහොර නිර්දේශයන් ලබා දී ඇත්තේ මෙම සංකල්පය මතය. කෘත‍්‍රිම රසායනික පොහොර අව භාවිතය මගින් වන පරිසර හානිය පිළිබඳ කෑ මොර දීම වෙනුවට කළ යුතු වන්නේ ඒවා නිසි භාවිතයට ගොවීන් යොමු කිරීමත්, එම පොහොර යොදන තාක්ෂණය දියුණු කිරීමට උපකාරී වීමත්ය. එවිට කෘෂිකර්මාන්තයේ පාරිසරික කළමනාකරණය, අවශ්‍ය වැඩි අස්වැන්නක් සහ ලාභයක් ලබා ගන්නා අතරේදීම, යහපත්ව සිදු කළ හැකි වනු ඇත. කළ යුතු වන්නේ, හුදෙක් පුහු ආටෝප පටලවාගත් විද්‍යාත්මක නොවන, මිථ්‍යා මත වලට අවනත වෙමින් තාක්ෂණයට පයින් ගැසීම නොව, කෘෂිකර්මය පිළිබඳ වගකිවයුතු ආයතන සිය පර්යේෂණ ආශ‍්‍රයෙන් කර ඇති නිර්දේශ නිසියාකාරව ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රවර්ධනය කිරීමය.”

වගාකරන ගොවීන්ටත් කන්න නැතිවන ආහාර හඟයක් තව මාසයක් තුළ බලා ගත හැකි බව කෘෂි විද්වත්හු කියති. ඔවුහු එසේ කියන්නේ ඔවුන්ගේ ප‍්‍රායෝගික බුද්ධිය අනුවය. පසට, පරිසරයට සහ ගොවි ජනතාවට හෙන ගැහුවත් කාබනික පොහොර ආනයනයෙන් ලැබෙන කොමිස් මුදල් වලින් සොච්චමක් හෝ ලබා ගැනීමේ අශිෂ්ට චේතනාවෙන් කෙරෙන උපදේශක කේවට්ටයන්ගේ නිරුවත් රංගනය තවමත් නිමා වී නැති බව කියන මහාචාර්යවරයා මේසා බිහිසුණු ව්‍යසනයක් ඇස් හමුවේ පෙනි පෙනී රටේ ප‍්‍රමිතිය බාල කර ඕනෑම කාබනික පොහොරක් පිටරටින් ගෙන්වීමට දියත් කර ඇති නිර්ලජ්ජිත උත්සාහයට සමස්ත ජාතියටම අනාගතයේ වන්දි ගෙවීමට සිදුවන බව පෙන්වා දෙයි.

”පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා අංශයේ ප‍්‍රධානී මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා කියා සිටින්නේ මේ ව්‍යසනයට රට ඇද දැමූ කේවට්ට උපදේශකයන් හා උද්දච්ච පාලකයන්ගේ නිරුවත් රංගනය තවමත් නිමා වී නැති බවය. ඔහු ඒ ගැන මෙසේ කියයි.

අපි මේ කතා සරලව කතා කළ යුතුයි. එවිටයි සාමාන්‍ය ජනතාවට ගොවි ජනතාවට එය පැහැදිලිව වැටහෙන්නේ.

මම ක්‍ෂේත‍්‍ර පර්යේෂණයක් බලන්න අනුරාධපුරයට ගියා. යන අතරතුර දකින වී වගාවන් ඡායාරූපගත කළා. එක තැනකදී මම ඡායාරූපයක් ගන්නකොට එතනින් ගිය පාපැදිකරුවෙක් ‘‘වැඩක් නැහැ මහත්තය ෆොටෝ ගත්තට, පොහොර නැහැනේ” කියාගෙන ගියා. ඔහු හිතුවේ මම විනෝදෙට ෆොටෝ ගන්න කෙනෙක් කියලා.

බොහොමයක් කුඹුරුවල ගොයම කහ ගැහිලා, කේඩෑරි වෙලා. තවත් සමහරකට පැල මැක්කා හානි කරලා හොඳටම. පොහොර නැතිකම මේ නිරීක්ෂණ දෙකටම හේතුවක්. පොහොර නැති කමින් කෙඩෑරී වී ගිය ළපටි ගොයමට මේ කෘමියගෙන් වෙන හානිය ඉතා වැඩි බවක් තමයි මම දැක්කේ. ඒ මදිවට ගොයමට උඩින් වල්. ගොවීන් කුඹුරු අත ඇරලා වගේ තියෙන්නේ. ටිකක් හරි කොළපාටට තිබුණු කුඹුරුවලට කොහෙන්හරි හොයාගත්ත රසායනික පොහොර ටිකක් දාල තිබුණා. ශාක පෝෂණයේ සැඟවුන බඩගින්න (යසාාැබ යමබටැර) ගැන නොදන්න ගොවීන් කොළ පාටට තියෙන වගාව දැකලා අපිනම් ගොඩ කියල කිව්ව. මම හිනා වෙලා නිකම් හිටියා. වෙන මොනව කියන්නද?

ගොවි මහත්තුරු කීප දෙනෙක් එක්කම කතා කළා. එකම අඳෝනාව. ‘‘වැඩක් නැහැ මහත්තය කුඹුර කරලා, තෙල් – පොහොර නැතිව. ගස් කෙඩෑරි වෙලා, කෘමීන්ගෙන් හානි වෙලා. ඒ මදිවට අලි. පැල් රකින්නේ අලින්ගෙන් මොනවා රැකගන්නද?. ගොඩක් අය පැල් රැකිල්ලත් ඇත ඇරලා දැම්මා. ගිය කන්නේ අස්වැන්නෙන් වී මල්ලක් තව ඉතිරිවෙලා තියෙනවා. එක ඉවර වුණාම? මේ කන්නේ අපිටවත් කන්න හාල් නැතිවෙයි. මට අක්කර පහක් හයක් තියෙනවා. මේ කන්නේ මම කළේ අක්කරයයි. අනිත්වා අඳේට දුන්නා. අඳේවත් ගන්න බැරිවෙයි මේ කන්නේ.” මේ තමයි ගොඩක් ගොවීන්ගේ දුක් ගැනවිල්ල.

සති කිහිපයකට කලින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් සාකච්ඡාවකදී ප‍්‍රසිද්ධියේම කිව්වේ ‘‘කුඹුරුවලට නම් අවශ්‍ය තරම් පොහොර තියෙනවා. එළවළුවලට සහ අනෙක් වගාවන්ට තමයි ‘‘ටිකක් ප‍්‍රශ්නෙ’’ කියලා. දැන් මේ පොහොර තිබුණයි කියන වී වගාව. ඵතකොට අනෙක් වගාවන් කොහොමට ඇතිද?.

ආයතන ප‍්‍රධානීන්ටත් මේ විනාශය කලින්ම පෙනුනේ නැතිනම් හෝ මේවා පුරෝකථනය කිරීමට හරි දැනුමක් නැතිනම් හෝ දැන දැනත් යම් කිසි ලාබ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් වැරදි උපදෙස් පාලකයන්ට දෙනවා නම්, අපේ කෘෂිකර්මාන්තයටත් වටිනා පාංශු සම්පතටත් වෙන හානිය සිතාගන්නවත් බැරි වෙයි.

මේ තැනට අසරණ ගොවීන් පත්කරපු පාලකයන් මෙයට ඍජුවම වගකිව යුතුයි. පුදුමේ කියන්නේ මෙච්චර විනාශයක් ඇස් පනාපිටම පෙනෙත්දිත්, කාබනික පොහොර අවශ්‍ය තරම් ලංකාවේ නුදුරු කාලයකදී හදන්න බැරි බව පෙනී පෙනීත්, එසේ ප‍්‍රකාශ කරන ගමනුත්, පිට රටින් ඕනෑම කාබනික පොහොරක් ආනයනය කිරීමට මේ ගන්නා නිර්ලජ්ජිත උත්සාහයට තවමත් මෙම කේවට්ටයන් අනුබල දීමයි; මේ සඳහා කාබනික පොහොර ප‍්‍රමිතීන් වෙනස් කිරීමට සහ නව බාල ප‍්‍රමිතීන් සකස් කිරීමට මේ කේවට්ටයන් දරන උත්සාහයයි;

පසට, පරිසරයට සහ ගොවි ජනතාවට හෙන ගැහුවත් කාබනික පොහොර ආනයනයෙන් ලැබෙන කොමිස් මුදල් වලින් සොච්චමක්වත් ලබා ගැනීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් මේ කාබනික පොහොර ගේනවාද යන්න ප‍්‍රශ්නයක්. ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනයට උදවු කළ සහ කාබනික පොහොර ප‍්‍රමිතීන් වෙනස් කිරීමට සහ නව බාල ප‍්‍රමිතීන් සකස් කිරීමට කැසකවන තවමත් නම් ප‍්‍රසිද්ධ නොවුණු අනෙකුත් අවස්ථාවාදීන්ද නුදුරේදීම රටට හෙළිදරව් විය යුතුයි.

අඩුම ගානේ ඔවුන්ට තමන් කන බත් පත දකිනකොට ‘‘අනේ මේ ගොවීන්ගේ දහදිය කඳුළු නේද අපි මේ කන්නේ” කියලවත් හිතෙන්නේ නැති එක තමයි ඇත්තටම පුදුමේ. කිසි වැඩපිළිවෙළක් නැතුව, තම තමන්ගේ කාබනික සිහින ගොවීන්ගේ ජීවිත වලින් සහ මහා ජනතාවගේ බදු මුදල් වලින් සැබෑකරගන්න තවමත් උත්සාහ කරන පිරිස ගැනත් ඔවුන්ට සවන්දෙන උද්දච්ච පාලකයන්ටත් කරන්න ඕන දේ ගොවීන් හොඳටම දැන් තේරුම් අරන් ඉන්නේ.”

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment