ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ජාජබ ආණ්ඩුවේ මංගල අය-වැය (2025) දෙවැනි වර කියැවීමෙන් පසු වැඩි ඡන්ද 109කින් (පක්ෂව 155 – විපක්ෂව 46) සම්මත වී තිබේ. එහෙත් පෙබ. 17 වැනිදා සිට 25 වැනිදා තෙක් පැවැති අය-වැය විවාදයට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂය ඇතුළු සමාජ දේශපාලන හා මාධ්‍යවලද විශේෂ අවධානයක් යොමු වූයේ නැතැයි යනු අපගේ අදහ සය. මෙය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවන බව අප මීට පෙරත් දැක්වූ කරුණකි. ආණ්ඩුවේ අය-වැය 2025 වසරේ මෙරටේ සමාජ ආර්ථික දේශපාලන දිශානතියට සිදු කෙරෙන විවිධ බලපෑම් පිළිබඳව හෝ ජනතාවට පැහැදිලි අවබෝධයක් ඇති වූයේ ද යන්නත් අපට නිශ්චිතව කිව නොහැක. ආර්ථීක ක්‍ෂේත්‍රවල යම් යම් විද්වතුන් මෙන්ම වෙනත් වෘත්තීය හා දේශපාලන ක්‍රියාකාරීන් කීප දෙනෙක් විසින් ද ඒ අය-වැයෙහි සාධනීය හා නිෂේධණීය කරුණු පිළිබඳව විශ්ලේෂණ කර තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද ඇතැම් සීමාවන් තුළ රැඳෙමින් මෙම අයවැය සකස් කිරීම නිසා ආණ්ඩුව අපේක්ෂා කළ ජනතා සහන සැලසුම් ඉදිරිපත් කළ නොහැකි වූ බව ද පැහැදිලිය. බදු සහන ලබාදීමට නොහැකි වූ අතරම එහි විපාකවලට ජනතාවට මුහුණ දීමට සිදුවන බව ද ඇතැම් විශ්ලේෂණවල සඳහන් විය. විශේෂයෙන් පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජායගොඩට අනුව මෙම අය-වැයෙන් මේ වසරේදී එක් පවුලකට මසකට රු.40,000ක් ගෙවීමට සිදුවනු ඇත. එය පසුගිය වසරට වඩා රු.8200ක ඉහළ යෑමක් බව ද ඔහු පෙන්වා දී ඇත.
ආණ්ඩුව පාර්ශ්වයෙන් කියන්නේ ග්‍රාමීය අඩු ආදායම් සහිත පවුල් මෙන්ම පීඩාවට පත්වූ ජනකොටස් රැක ගැනීමට ඔවුන් කැපවී සිටින බවය. (මේ අලුත් අවුරුද්දට අඩු ආදායම්ලාභීන්ට ආහාර සහන මල්ලක් දීමට ද රජය සූදානම්ය.) මේ අතර රාජ්‍ය වියදම් අඩු කිරීම, මෙතෙක් සම්මතයක්ව තිබුණු නාස්තිකාර වියදම් නැවැත්වීම ඇතුළු ඉතා යහපත් හා විධිමත් මූල්‍ය පාලනයක් සිදු කිරීමට ආණ්ඩුව කැපවී සිටින බව ද පෙනේ. එහෙත් බදු සහන ජීවන වියදම ඉහළ යෑම වැනි කරුණු ඍජුවම ජනතාවට බලපාන බව ද පෙන්වා දිය යුතුය. මේ අතරම රජයට මහා පරිමාණයේ බදු පොලු තැබූ සමාගම් හා ධන කුවේරයන්ගෙන් ඒ හිඟ බදු අය කර ගැනීමට ආණ්ඩුවට සැලැස්මක් නැති බවට ද චෝදනාවක් තිබේ. බදු නොගෙවීමේ වරදට හිරබත් කෑ ඇලෝසියස් යහපත් කලක්‍රියාවෙන් සිට හිරෙන් නිදහස් වුව ද ඔහුගේ බදු හිඟය ගෙවීමට ඔහුට සිදුවන බව ද මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද පවසා තිබේ. අප අවධාරණය කරන්නේ ද මේ වනවිටත් නිදැල්ලේ සිටින බදු හොරුන්ගෙන් ඒ හිඟ බදු මුදල් වහාම අය කර ගත යුතු බවය. කුමක් වුවත් මේ අය-වැය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පවසන ආකාරයට රට අනුරට නොව අයි.එම්.එෆ්. එකට යන විවේචනය ද ආණ්ඩුවේ බලධාරීහු අවධානයට ගත යුතු වෙති. එසේම රට එබඳු මකර කටකට තල්ලු කිරීමේ වගකීමක් සජිත්ලා ද නියෝජනය කළ පසුගිය ආණ්ඩුවල නායක කාරකාදීන්ට නිදහස් වීමට බැරි බව ද අප අවධාරණය කළ යුතුය.
දැන් අප අවධානය යොමු කරන්නේ 2025 අය-වැය ඇතුළු සියලුම සමාජ දේශපාලන ක්‍රියාකාරකම් පසුපසට ඇදදමා ජනප්‍රිය දෙවන සතියටත් පා තබා තිබෙන අලුත් කඩේ අධිකරණයේදී පත්තු වූ ගනේමුල්ලේ සංජීව ඝාතන වෙඩිල්ල ගැනය. පාතාලය, මත්කුඩු හා මුග්ධ දේශපාලනය යන දූෂිත මෙන්ම බිහිසුණු කළු ත්‍රිකෝණය සමග ගැටගැසී තිබෙන ම්ලේච්ඡ ක්‍රියාදාමයක අශිෂ්ට ජවනිකා පෙළක් දෙස තවමත් මෙරටේ විශාල ජනතාවක් බලා සිටින බව ද අපි දනිමු. තම දෑස් අබියස සජීවී ලෙසින් රූපවාහිනි නාලිකා ඔස්සේත්, වෙනත් පසුබිම් වාර්තා හෝ විශේෂ ලිපි ලෙසත් මේ පාදඩ ක්‍රියාන්විතය දැක බලා ගැනීමට හැකිවී තිබේ. එහෙත් ඒ රූපයට හෝ ප්‍රවෘත්තියට යටින් ගලා යන තමන් ද අයත්වන මේ සමාජයේ බිහිසුණු නායයෑමේ අනතුරට ඒ ජනතාවගෙන් කොපමණ ප්‍රතිශතයක් සංවේදී වෙත්දැයි අපි නොදනිමු.
පාර්ලිමේන්තුවේ අය-වැය විවාදය සිදුවෙද්දී මෙම පාතාල ක්‍රියාකාරකම් විග්‍රහයට ලක් වූයේ ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව වැනි යෙදුම් ද සමගය. අලුත්කඩේ වෙඩිල්ලෙන් නීතියේ ආධිපත්‍යය බිඳ නොවැටුණත් ඒ ක්‍රියාදාමයෙහි මර්මස්ථාන බවට පත්ව තිබෙන ආයතන ඉමහත් කම්පනයකට ලක්වූ බව ද නිසැකය. කොතැනක හෝ වරදකින් නොමගට යොමුවූ අයෙක් මුළු සමාජයටම මුදාහරින්නේ කෙබඳු භීතියක් දැයි විස්තර කළ යුතු නැත. ඒ වටා ගොනුවන දූෂිත ජාලය, සිදුවන කූට ගනු දෙනු ඔස්සේ අනාවරණය වන්නේ කළු සල්ලිවල හා මත්කුඩු ජාවාරම් ඇතුළු තවත් මෙහෙයුම් පිළිබඳ පුවත්ය. අද මානව ශිෂ්ටාචාරය මුහුණ දී සිටින බරපතළ ඛේදවාචකයක ස්වභාවය මේ සිදුවීම් විමර්ශනය කරන කවරකුට වුව ද දැක ගත හැකිය.
ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට පසු සිදු වූ තවත් ආන්දෝලනාත්මක ඝාතන කීපයක් ද විය. මිද්දෙනියේ සිදු වූ වෙඩි තැබීම් නිසා හය හතර නොදත් දරු පැටව් දෙදෙනකුට ද ජීවිත අහිමි විය. මේ ඝාතනවලට අමතරව සිදු වූ කොටහේන ඝාතන සිද්ධියත් පොලිසියේ පැරණි විකෘති රැඟුමක් යළි කැඳවීමක් ලෙසට චෝදනාවක් ද නැගී තිබේ. ඕනෑම තරාතිරමක අපරාධයකට දඬුවම් ලබාදීම කළ යුත්තේ අධිකරණය විනා පොලිසිය හෝ හමුදා නොවන බව පමණක් සඳහන් කළ යුතුය. මෙරටේ පොලිසිය සම්බන්ධයෙන් තිබෙන චෝදනා පත්‍රය බරපතළ එකකි. පසුගිය දිනවලත් බොහෝ විද්වතුන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් විසින් ද චෝදනා කරන ලද්දේ පොලිසිය දේශපාලන අතකොළුවක් ලෙස යොදාගැනීමේ කුප්‍රකට සිරිතේ ඉදිරියෙන්ම සිටියේ ජේ. ආර්. ජයවර්ධන පාලන සමය බවය. 1977දී විශාල ජනවරමක් ලබාගත් ජයවර්ධන පෙන්වූ ධර්මිෂ්ඨ මුහුණුවර ව්‍යාජයක් බව කෙටි කලකින්ම හෙළි විය. සිදුවීම් විස්තර කළ යුතු නැති වුවත් ප්‍රේමදාස උඩුගම්පොළ, රොනී ගුණසිංහ වැනි පොලිස් නිලධාරීන්ට තිබෙන විවේචන බරපතළය. දරමිටිපොළ රතනසාර හිමියන් (උන්වහන්සේ එ.ජා.ප. නායකයන්ගේ දැඩි විරෝධයට පාත්‍ර වූ හිමි නමකි.) සමග උඩුගම්පොළ ගැටුණේ ජයවර්ධන සෙවනැල්ල යට සිට ගෙනය. උඩුගම්පොළ එදා ජ.වි.පෙ.ට දැක්වූ ප්‍රතිචාර ද රහසක් නොවේ. රොනී ගුණසිංහ කරළියට ආවේ ජනාධිපති ප්‍රේමදාස යුගයේදීය. රෝහණ විජේවීර බොරැල්ල කනත්තේදී ඝාතනය වනවිට ද රොනී ගුණසිංහ එහි වූ බව කියති. රිචඩ් සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා නැගුණි. රිචඩ්ගේ මව වූ මනෝ රානි සර්වනමුත්තු විසින් රිචඩ් පැහැරගෙන යෑමට පැමිණි අයෙක් ලෙස රොනී ගුණසිංහ හඳුනාගත් බවට තිබෙන වාර්තාවට එරෙහිව එදා රොනී අධිකරණයට ද ගිය බවට මතයක් ද තිබේ. (මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන රානි චිත්‍රපටයේද ඒ අතීත සිදුවීම් මතකයට නංවා තිබේ.)
කෙසේ වුව ද පොලිසිය මහජන සේවාවක් ලෙස මෙන්ම ස්වාධීන ආයතනයක් වසයෙන් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම මේ ආණ්ඩුවේ වගකීමය. මේ ආණ්ඩුව යටතේත් පොලිසිය එදා රඟදැක්වූ තිරපිටපත් යළි සමාජගත කළ යුතු නැත. ජේ. ආර්. ගේ සිට ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය, මෛත්‍රී හා රනිල් යටතේත් පොලිසිය ක්‍රියාත්මක වූයේ දූෂිත රාමුවකය. මේ ආණ්ඩුවේ මුල්පෙළ සමග පාතාල නම් නොකියවෙන අතරම, පොලිසිය මෙහෙයවීම සම්බන්ධ චෝදනා ද තවම නොඇසෙයි.
කෙසේ හෝ ජනතාවාදී ආණ්ඩුවක් ලෙස මෙම ඝාතන රැල්ල විසින් ඇති කරන ලද කම්පනයත් භීතියත් සුළු පටු නැත. අවිගත් ඝාතකයන්ට කිසිදු චකිතයකින් තොරව තම ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සිදු කිරීමට තවමත් බාධාවක් නැත. මේ ලියන මොහොතේදීත් මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ වෙඩි කීපයක් පත්තු වී තිබෙන අතර, ඒවාත් මේ ඝාතනවලට සම්බන්ධ ඒවා බව ද වාර්තා වේ. කුමක් වුව ද එබඳු ඝාතන ක්‍රියා සිදුවීම පොදු සමාජයම භීතියට පත් කරවන්නකි. ඇතැම් අවස්ථාවල ඝාතකයන්ගේ ඉලක්ක වැරදීම් නිසා ජීවිතවලින් වෙනත් අයට ද වන්දි ගෙවීමට සිදුවූ ආකාරය ද අපට මතකය.
දේශපාලනය හා පාතාලය අතර පැවැති සබඳතා පිළිබඳව ද මේ දිනවල සංවාද පවා මතු වී තිබේ. එහිදී හැත්තෑවෙන් ඇරඹුණු දසකයේ සිට අද දක්වාම මෙරට පාලනය කළ ඇතැම් නායකයන් මෙන්ම පක්ෂ ගැන ද චෝදනා නැගුණි. පාතාලයන්ගේ නම් ද ප්‍රකාශයට පත් විණි. මේවා පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ ද අවබෝධයක් තිබේ. එපමණක් නොව මේ රටේ දේශපාලනය හුදු පාතාලයට පමණක් නොව සමාජ විරෝධී බොහෝ ක්‍රියාකාරකම්වලට රැකවරණය දෙන අධම ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන ආකාරය ද ජනතාව දනිති.
අද වනවිට දේශපාලනය යනු සමාජයේ පමණක් නොව පුද්ගල ජීවිතයේ ද කොටසක් බවට පත්ව තිබෙන්නකි. ලොව හැම ශිෂ්ට රටක්ම දේශපාලන දර්ශනයක් අනුව මෙහෙයවන බව ද අපි දනිමු. දේශපාලන හා ආර්ථික දර්ශනයක් නොමැතිව රටකට ඉදිරි ගමනක් නැති බව මේ රට දෙස බැලීමෙන්ම තහවුරු කරගත හැකිය. ලෝකයත් මිනිස් ජීවිතත් යහපත් හා අර්ථවත් බවට පත්කර ගැනීමට මාර්ගෝපදේශ ලබාදුන් බුදුන්වහන්සේ ඇතුළු ශාස්තෲවරුන් මෙන්ම විවිධ දාර්ශනිකයෝ ද මේ පිළිබඳව අවධානය යොමු කළහ. ප්ලේටෝ – ඇරිස්ටෝටල් යුගවල සිටම මේ අවධානය අපට දැන මැන ගත හැකිය. දේශපාලන බලය ගැන කතා කරන විට මැකියාවෙලි මෙන්ම කෞටිල්‍ය ගැන ද සඳහන් වේ. ධනවාදය මෙන්ම සමාජවාදය ගැන ද වාද විවාද කෙරේ. ඇඩම් ස්මිත් හා කාල්මාක්ස් ගැන ද සඳහන් වේ. එහෙත් අපේ දේශපාලනය ගැන තිබෙන තක්සේරුව කුමක්ද?
නිදහසින් පසු ගෙවීගිය දසක හතකටත් වැඩි කාලයක් පැවැති දේශපාලනයට මෙන්ම එහි නායකයන්ට අදත් එල්ලවන්නේ බරපතළ චෝදනා පත්‍රයකි. ඒ කාලය තුළ 1972දීත් 1978දීත් අලුත් ව්‍යවස්ථා දෙකක් සම්මත කර ක්‍රියාත්මක කළත් තවමත් අපේ දේශපාලනයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ රටට උචිත ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. දේශපාලන දර්ශනයක් නොමැති රටකට අනාගතයක් නැති බව පමණක් නොව ආර්ථික වසයෙන් නැඟීසිටීමට නොහැකි බව ද සමාජ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයෝ අවධාරණය කරති. 2012දී පමණ මේ පිළිබඳව ගවේෂණාත්මක කෘතියක් සම්පාදනය කළ විද්වතුන් දෙදෙනකු ලෙස ඩැරන් එස්මොග්ලු (Daron Acemoglu) හා ජේම්ස් රොබින්සන් (James Robinson) ගෞරවයට පාත්‍ර වී සිටිති. ආර්ථික වසයෙන් අර්බුදයට ගිය රටවල් කීපයකම ආර්ථික දේශපාලන තතු විමර්ශනයට ලක් කළ ඔවුහූ ඒ මතවාදය තහවුරු කරමින් Why Nation Fail යන කෘතිය ප්‍රකාශයට පත් කළහ. (මේ පිළිබඳව ආචාර්ය ලුම්බිණි ප්‍රියන්ත දේවසිරි ඔහුගේ ‘ආර්ය රාජ්‍ය කරා’ නමැති පර්යේෂණාත්මක ග්‍රන්ථයෙහි විස්තර කර ඇත.)
ලොවේ කොතැනක හෝ දුප්පත් රටක් වේ නම් එහි පොදු ලක්ෂණය වන්නේ දේශපාලන බලය ඩැහැගත් ප්‍රභූන් විසින් එරටේ ධනය කොල්ලකා ඇති බවත් තම බලය පවත්වාගෙන යෑම ඔවුන්ගේ එකම අපේක්ෂාව බවත් මේ විද්වතුන්ගේ අවධාරණයයි. එබඳු රටක් යළි නඟාසිටුවීමට නම් පළමුවෙන්ම කළ යුත්තේ ඒ බලකාමී ප්‍රභූ පාලනය පෙරළා දැමීම බව ද ඔවුහූ පෙන්වා දෙති. ඇත්ත වසයෙන්ම අද අප පැටලී සිටින ආර්ථික පඹගාල මේ අදූරදර්ශී හා බලලෝභී දේශපාලනයේ දුෂ්ට විපාකයකි. දේශපාලනය එකම දූෂිත හා අවිධිමත් ගොහොරුවක් බවට පත්කර ගනිමින් ජාතික සම්පත් තමන්ට රිසිලෙස භාවිත කිරීම මේ ගෙවී ගිය දසක හතක දේශපාලනය තුළ පොදු ලක්ෂණය විය. මේ ආණ්ඩුව ජනතාවට පැවසුවේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන ශ්‍රමදානයක් ලෙස මහ මැතිවරණය යොදාගන්නා ලෙසය. ජනතාව එය අකුරටම ඉටු කළහ. එජාප – ශ්‍රීලනිප මෙන්ම ඒවායින් මතු වූ පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලත් අමිහිරි පරාජය නිසැකයෙන්ම ප්‍රභූතන්ත්‍ර වැඩවසම් දේශපාලනයට අත් වූ ඓතිහාසික පරාජයකි.
ජිනීවාහිදී පැවැත්වුණු මානව හිමිකම් කවුන්සිලයේ 58වැනි සැසිවාරය අමතමින් ඉකුත් 25වැනිදා විදේශ ඇමැති විජිත හේරත් පැවසුවේත් මේ ආණ්ඩුව රටේ අලුත් ආර්ථික, සමාජ දේශපාලන පරිවර්තනයක් උදාකිරීමට ප්‍රබල මහජන වරමක් ලබාගත් බවය. ජනාධිපති අනුරගේ කතාවකින් ද උපුටා ගැනීම් කළ ඇමැති විජිත කීවේ රටේ ආර්ථික ප්‍රජාතාන්ත්‍රීකරණයකට අඩිතාලම දැමීමේ ක්‍රියාවලිය මේ වනවිටත් සිදුකරමින් තිබෙන බවය. ජනාධිපති අනුරගේ අය-වැය අධ්‍යාපන හා සෞඛ්‍ය සඳහා වාර්තාගත ලෙස ප්‍රතිපාදන වෙන් කළ එකක් ලෙස ද ඔහු අවධාරණය කළේය. එසේම රට බෙදන ජාතිවාදයටත් ආගම්වාදයටත් ඉඩ නොදෙන අතරම සදාචාරාත්මක පාලනයක් ස්ථාපිත කිරීමේ ආණ්ඩුවේ අධිෂ්ඨානය පිළිබඳව ද ඇමැති විජිත සහතික විය. (ඇමැතිවරයාගේ සම්පූර්ණ කතාව 27වැනිදා දිවයින පත්‍රයෙහි පළ විය.)
කෙසේ හෝ මේ ආණ්ඩුව අබියස තිබෙන අභියෝග මෙන්ම එයට එරෙහිව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් විවිධ මෙහෙයුම් දියත් විය හැකි බව ද නිසැකය. පොලිසිය භාර ඇමැතිවරයා සැක කරන පරිදිම පාතාලයේ අලුත් නැඟිටීමක් සිදුවී තිබේද? විපක්ෂ පවසන ආකාරයට මහජන ආරක්ෂාවට අනතුරු එල්ල වී තිබේද? පොලිසිය යළිත් කුප්‍රකට හිංසන මෙහෙයුම් දියත්කරමින් සිටීද? ආදී ප්‍රශ්න පත්තරයක්ම මේ වනවිටත් ඉදිරිපත්ව තිබේ. මේ අතර අය-වැයෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසන පිරිස් ද වෙති. හෙද සේවයට අයත් වෘත්තීය සංවිධානයක් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ කිරීමට ද පියවර ගෙන තිබිණි. ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්න ඉටු නොවීම නිසා කනස්සල්ලට පත්වූ සමහර ගුරු සංගම් ද ආණ්ඩුවට අනතුරු අඟවමින් සිටියි. පොහොට්ටුවේ නාමල් පවසන්නේ ආණ්ඩුවේ වැරදි වසා ගැනීමට ඔවුන් පසුපස පන්නන බවකි. කුමක් වුවත් දූෂණ, වංචා, හොර මගඩි සම්බන්ධයෙන් මෙතෙක් ජනතාවට දැනෙන යමක් සිදු කිරීමට ආණ්ඩුවට නොහැකි වූ බව ද කිව යුතුය. එයට හේතු වී ඇත්තේ ඒ ඒ ක්‍රියාකාරකම්වල සම්බන්ධ ශූර චෞරයන් විසින්ම බොහෝ සාක්ෂි, විමර්ශන තොරතුරු අතුරුදන් කර තිබීමය. එසේම ඇමැති නලින්ද ජයතිස්ස පැවසූ ආකාරයට කුප්‍රකට මහ බැංකු කොල්ලය සඳහා චූදිතයකු ලෙස නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ලබාදීමට සිංගප්පූරුව සූදානම් නැති බවක් ද වාර්තා වී තිබේ. කොහොම වුණත් හොරුන්ටත් හොර මගඬිවලටත් එරෙහිව ක්‍රියාකිරීමත් ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ඇති කිරීමත් මේ ආණ්ඩුවේ සමාජ දේශපාලන න්‍යායපත්‍රයේ අංක එක බවට පත්ව තිබෙන්නකි. මුලින් සඳහන් කළ පරිදිම මේ බොහෝ දූෂණ, වංචා දේශපාලන සෙවණේ චෞර වළල්ලක සැලසුම් හා උපාය මාර්ග අනුව සිදු වූ බව ආණ්ඩුව ද දනී. එහෙත් ඒ කවර හේතුවක් නිසාවත් ආණ්ඩුවට තම පොරොන්දු පත්‍රය ඉටු නොකර සිටීමට බැරිය. වෙඩි හඬ නිහඬ කිරීමටත් සාධාරණ හා නීතිගරුක සමාජයක් බිහිකිරීමටත් ආණ්ඩුව බැඳී සිටියි.
අවසන් වසයෙන් දින කීපයකට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පළ කළ අදහසක් ගැන ද වචනයක් කිව යුතුය. ‘ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැකගන්නා ශක්තිමත් ආණ්ඩුවක් යන තේමාව අනුව කොළඹදී පැවති සමුළුවකදී හිටපු ජනාධිපතිනිය පවසා තිබුණේ ව්‍යවස්ථා සංශෝධනයට කලින් දේශපාලනඥයන්ගේ ආචාර ධර්ම හැදිය යුතු බවය. දේශපාලන නායකයන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවත් පාර්ලිමේන්තුවේ ස්වභාවය වෙනස් විය යුතු බවත් ඇය පෙන්වා දී ඇත. රජයක් විසින් කරනු ලබන හොඳ වැඩ කඩාකප්පල් කිරීමත් රටේ ජාතික අවශ්‍යතා අමතක කර මැතිවරණ ජයග්‍රහණයම අපෙක්ෂාවෙන් ක්‍රියාකිරීමත් නිසා මේ රට පරිහානියට ඇදවැටී ඇති බව ද චන්ද්‍රිකාගේ චෝදනාව වී තිබේ. දෙවරක් ජනාධිපති ධුරය හෙබ වූ ඇය ද ඒ විනාශයන්ට වගකිවයුතු නොවේද? මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළේ ආණ්ඩුවට එරෙහිව නොව මෙරටේ ජනතාව නිහඬව ලබාදුන් ජනවරම පිළිබඳ අවබෝධයෙන් රටට යහපතක් කිරීමට බව ද එයට එක්වූ හිටපු කථානායකවරයකු වන කරු ජයසූරිය ද පවසා තිබුණි. එසේම වෙනසක් යනු කඩිමුඩියේ කළ හැකි දෙයක් නොව ඉතා දූරදර්ශීව විමර්ශනශීලිව නිසි අවබෝධයකින් කළ යුතු දෙයක් බව ද ඔවුහූ පෙන්වා දෙති. ඇත්තටම ආණ්ඩුව අපේක්ෂා කරන දේශපාලන පුනරුදය උදාකරගත හැක්කේ ඊළඟ ඡන්දය ගැන නොව ඊළඟ පරම්පරාව ගැන හිතන දේශපාලන ව්‍යාපාරයකට පමණි.