උක් ඉඩම් වෙන්දේසි අවදානම රිදීමාලියද්දෙන් පහව ගොස් නැත?

132

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙහිගම හා ඇකිරියන්කුඹුර යනු ඉතා දුෂ්කර ගම්මාන දෙකකි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ බඩඉරිඟු වගාවයි. නමුත් 2006 වසරේ සිට ගොවීන්ට තමන්ගේ ඉඩම් අයිතිය අහිමි කරමින් ඔවුන් තම ඉඩම්වලින් නෙරපා මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් උක් වගා කිරීම සඳහා බහුජාතික සමාගමක් යටතට පැවරීමට කටයුතු කිරීමේ උත්සාහයක නිරත විය.

2006 වසරේ එංගලන්තයේ බුකර් ටෙක් සමාගම මෙම ඉඩම් ලබාගෙන සීනි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මහවැලි සංවර්ධන අධිකාරියත් සමග එකඟතාවයකට පැමිණියහ. නමුත් පැනනැඟුණු මහජන විරෝධය හමුවේ ඔවුන් එම ව්‍යාපෘතිය අතහැර දමන ලදී. පසුව ලාංකික සමාගමක් වන IMF Holdings සමාගම සිංගප්පූරුවේ gazal ventures සමාගම හා එක්ව බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ව්‍යාපෘතියක් මෙම ඉඩම් ආශ්‍රිතව සිදු කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව මෙම ඉඩම් භාවිතා කරමින් සීනි කර්මාන්ත ශාලාවක්ද තවත් අක්කර 65,000 ක් උක් වගාව සඳහා ද යොදා ගැනීමට නියමිත විය.

මේ සඳහා මැදිහත් වුණු පරිසර යුක්ති කේන්ද්‍රය 2012 වසරේ සිට මේ දක්වාම එම ජනතාවගේ ඉඩම් රැකගැනීම සඳහා විවිධාකාරයේ අරගලවල සහ නීති ආධාර ලබා දීම සිදු කරයි. 2016 වසරේ මෙම යෝජිත ව්‍යාපෘතිය සඳහා අත්පත් කර ගැනීමට යෝජිත ඉඩම් තුළ පිහිටි වනාන්තර ආරක්ෂා කිරීම වෙනුවෙන් ගස් පැවිදි භාවයට පත් කිරීම සිදු කරන ලදී. එසේ කිරීමට හේතු වූයේ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන පරිසර දිනය දා එම සමාගමේ කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීමට යොදාගෙන තිබූ හෙයිනි. එම ක්‍රියාදාමයත් සමගම එම අදහස අත්හැර ගැනීමට මහවැලි සංවර්ධන අධිකාරියට සිදුවිය. එමගින් නොනැවතුණු මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම තුළ හේන් වගාව සිදු කරමින් ජීවිකාව කරගෙන ගිය ගොවි පවුල් හතළිස් නවයක් සඳහා මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී නඩු හතළිස් නවයක් පවරන ලදී. එම අධිකරණ ක්‍රියාමාර්ග 49 තමන්ගේ කරගත් පරිසර යුක්ති කේන්ද්‍රය ගොවි ජනතාව වෙනුවෙන් එම නඩුවලට පෙනී සිටින අතරතුර වෙනම අධිකරණ කටයුත්තක් ගම්වාසීන්ට යුක්තිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලදී. දිනෙන් දින මහවැලි සංවර්ධන අධිකාරිය ගොවි ජනතාව වෙත එල්ල කරන බලපෑම තිව්‍ර කරන ලද අතර මහියංගන උසාවියේ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ජනතාවට විරුද්ධව පවරන ලද නඩු ඔවුනට වාසි වන ආකාරයෙන් සිදු වූ නිසා පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත් වී බදුල්ල මහාධිකරණය තුළ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීරණය සඳහා අභියාචනා නඩු දහයක් පවරන ලදී. එසේම මේ සම්බන්ධයෙන් තවත් නඩුකර දහයක් අලුත්කඩේ අභියාචනාධිකරණයේ ගොනු කර අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින අතර, පරිසර යුක්ති කේන්ද්‍රය මේ සියලුම අධිකරණ කටයුතු සඳහා නොමිලේ පෙනී සිටී.

තවද විවිධ අවස්ථාවන්හිදී පරිසර යුක්ති කේන්ද්‍රය එම ජනතාව සමග එක්ව විරෝධතා රැලි මෙන්ම පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාර සංවිධානය කරමින් ඔවුන්ට ශක්තියක් විය. එතැනින් නොනැවතුණු පරිසර යුක්ති කේන්ද්‍රය එම ජනතාව සඳහා ජීවනෝපාය මාර්ග සකස් කර ගැනීම සඳහා දෙහිගම සහ ඇකිරියන්කුඹුර යන ප්‍රදේශ දෙක තුළ කණ්ඩායම් පිහිටුවමින් ඔවුනට චක්‍රීය ණය මුදලක් පිහිටුවා එම ජනතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන ලදී. ප්‍රදේශයේ තරුණ තරුණියන් හට නායකත්ව පුහුණුව ලබාදෙමින් තම ගම් බිම් හා පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තරුණ නායකයන් පුහුණු කරන ලදී. එමෙන්ම එම ජනතාවගේ නීතිමය දැනුම වර්ධනය කිරීම සඳහා ඔවුන්ට බලපාන සිවිල් නීතිය පරිසර නීතිය සම්බන්ධයෙන් වැඩසටහන් දියත් කරන ලදී. එතැනින් නොනැවතී මෙවැනි අරගලවලට මුහුණ දුන් ලෝකයේ වෙනත් ජන කණ්ඩායම් සමග ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට අවස්ථාව ලබා දීම සිදුකර තව තවත් ඔවුන් ශක්තිමත් කිරීම සිදු කරමින් ඉදිරියට මෙවැනි අරගලවලට මුහුණ දෙන ආකාරය සම්බන්ධව පූර්ණ දැනුමක් හා අවබෝධයක් ලබා දීම සිදු කෙරිණ.

මැතිවරණ අවස්ථාවන්හිදී එම ජනතාව මුළාවට පත් කරමින් පැවති සියලුම රජයන් මෙම ගැටලුව විසඳා දෙන බවට සඳහන් කළ ද බලයට පත්වූ පසු එම ජනතාව අමතක කර දමා සමාගම් වෙත ආවඩන්නට විය. රාජපක්ෂ ආණ්ඩුවට බලය ලබා ගැනීම සඳහා බස් පිටින් කොළඹට ගෙන්වා දේශපාලන පෙළපාලි සඳහා සහභාගි කරවීය.

ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පමණක් සැබෑ ලෙසම එම ජනතාව හා එක්වෙමින් එම ගම් බිම් රැක ගැනීම වෙනුවෙන් අවංකව පෙනී සිටියේය. මෙම අරගලයට පූජ්‍ය දොඩම්ගොල්ලේ සෝරත ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ප්‍රමුඛ ආදිවාසී ජනතාව ද, කැපී පෙනෙන දායකත්වයක් ලබා දුනි. සිවිල් සංවිධාන ලෙස ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ගොවි ඉඩම් රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වී කටයුතු කළේය. ස්ථිර වගාවන් සඳහා පැළ ලබාදීමට කටයුතු කරමින් ගොවීන් දිරිගැන්වීය. බදුල්ල අනාගතේ අපේ අතේ සංවිධානය, PARL සංවිධානය, LST සංවිධානය ඇතුළු සංවිධාන මෙන්ම මාධ්‍ය ආයතන නියෝජනය කරන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ද මේ සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුනි.

මෙම ව්‍යාපෘතිය මගින් අසාධාරණයට ලක්වන්නේ එම ගොවි ජනතාව පමණක් නොව ප්‍රදේශයේ වනාන්තර පද්ධතිය, නිල්ගල රක්ෂිත වනාන්තරය, ගල් ඔය ජාතික වනෝද්‍යානය හා එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ආදිවාසී ජනතාව යන මේ සියලු දෙනා ද මෙම ව්‍යාපෘතියේ බලපෑමට ලක්වේ. ඉදිකිරීමට යෝජිත නළ ලිං නිසා භූගත ජල මට්ටමට ද හානි සිදුවේ.

මෙම ගොවි බිම් සඳහා ඇති තර්ජනය තවමත් පහව ගොස් නැති බව ඉතාමත් පැහැදිලිය. මේ ගතවන්නේ රටේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ පැනනැඟුණු සුළු පසුබෑමක විරාමයක් පමණි. අළු යට ගිනි තවමත් එලෙසම පවතී. එම නිසා මෙම ගැටලුව අවසන් වූ බවට කිසිවකුට හෝ උදම් ඇනිය හැකිද?

ජනක විතානගේ
පරිසර යුක්ති කේන්ද්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment