උගුල් අටවා තැන තැන මරන කඳුකර කොටින්ගේ ඛේදවාචකය

269

හැටන් – වනරාජා වත්තේදී මන්දක පැටළුණු ශ්‍රී ලංකානු දිවියෙකු, එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ කඳුකර කොටියකු වන ජීවී නිලධාරීන් විසින් කපා බිම හෙළනු ලද ගසකට යටවී මිය යෑම මේ දිනවල සමාජයේ ප්‍රකට මාතෘකාවක් බවට පත්ව ඇත. සමාජ මාධ්‍ය ජාලා මගින් මෙම ප්‍රවෘත්තිය උළුප්පා දක්වන ලද අතර, මේ සිදුවීම හඳුන්වා ඇත්තේ වනජීවී නිලධාරීන් විසින් ගන්නා ලද මහදැනමුත්තාගේ තීන්දුවක් වශයෙනි. මුට්ටියක හිස හිරකරගත් එළුවකු ඉන් මුදාගැනීම සඳහා පළමුව එළුවාගේ හිස කපා, අනතුරුව මුට්ටිය බේරාගත් මහදැනමුත්තයි ගෝලයො රොත්තයි සිදුකළා යයි කියන ජනකතාවක් තිබේ. මේ තරම් දියුණු ලෝකයේ කොටියා බේරාගැනීමට තාක්ෂණික උපක්‍රම අටෝ රාශියක් භාවිත කිරීමට හැකියාව තිබියදී වන ජීවී නිලධාරීන් භාවිත කර ඇත්තේ පැරණිම පැරණි මෝඩ-තකතීරු තීරණයක් බව සමාජය කතාකරන අතර, විද්‍යුත් මාධ්‍ය මගින් ඒ බව මොනවට තහවුරු කරනු ද ලැබීය.

උගුල් අටවා තැන තැන මරන කඳුකර කොටින්ගේ ඛේදවාචකය

සැබවින්ම අප විශ්වාස කරන්නේ මන්ද කඩාගෙන ගසකට නැග සිටි මේ කොටියා එම ගසේ මන්දෙන්ම පැටලී ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදී ජීවිතය ගලවාගන්නට ගත කරන ඒ නිමේෂය තුළ කොටියා ගලවාගන්නට වන ජීවී නිලධාරීන් තෝරාගත් හොඳම විසඳුම මේ වන්නට ඇති බවයි. නමුත් අප මෙන්ම, මේ සිදුවීම පිළිබඳව කතාකරන වැඩිදෙනා පවසන්නේ කළ යුතුව තිබූ හොඳම කාර්යය කොටියා නිර්වින්දනය කර ගසෙන් බාගැනීමෙන් පසු ජීවිතය බේරාදීම කළ යුතුව තිබුණු බවයි. නැතිනම් අවම වශයෙන් ගස කපා කොටියා බේරාගන්නට අදහස් කළේ නම් ආරක්ෂිත උපක්‍රම භාවිත කළ යුතුව තිබුණු බවයි. නමුත් වන ජීවී නිලධාරීන් පවසනු ඇත්තේ, ඒ නිමේෂය තුළ කොටියා නිර්වින්දනය කරන්නට වනජීවී පශු වෛද්‍යවරයකු කැඳවාගන්නට නොහැකි වීම හෝ එවන් නිලධාරීන් පැමිණෙන තෙක් බලාසිටීම සතාගේ ජීවිතයට හානියක් වනු ඇති නිසා මේ තීන්දුවට හේතු වූ බවයි. එනම්, සත්‍ය වශයෙන්ම මෙහි පැමිණ සිටි නල්ලතන්නිය වන ජීවී නිලධාරීන්ට සතා නිර්වින්දනය කරන්නට තරම් බලයක් නැත. ඒ සඳහා නිසි පුහුණුවක් ද නැත. එසේ නම් 2020 වසරේදී ලක්ෂපාන වත්තේදී මේ ආකාරයෙන්ම ඉන වටා මන්දකට හසුව සොයාගත් කළු කොටියා සහ 2020 වසරේදීම මස්කෙළිය ගාඩ්මෝර් වත්තේදී ද මේ ආකාරයෙන්ම ඉන වටා මන්දක් වැටීමෙන් අනතුරුව සබුක්කු ගසකට නැග සිරවී සිටි දිවියා ගලවාගනු ලැබුවේ පශු වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කිරීමෙන් අනතුරුව ය. ඒ කොටියන් දෙදෙනාම නිර්වින්දනය කිරීමෙන් අනතුරුව මන්දෙන් ගලවාගැනීමේදී මරණයට පත්වූ බව වෙනම කාරණයක් වන නමුත්, පශු වෛද්‍ය කණ්ඩායම් උඩරටට ළඟා විය යුතුව ඇත්තේද අවම වශයෙන් රන්දෙණිගල වන ජීවී පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට කිලෝ මීටර් 70-80 ක් දුර ගෙවාය. එසේ එන තෙක් කොටියා ගහ උඩ උදරයෙන් එල්ලා තියා ගන්නවාද, නැතිනම් ගස කපා බිම දමා කොටියා බේරාගන්නවාද යන්න දෙකෙන් පහසුම කාර්යය නල්ලතන්නිය වන ජීවී නිලධාරීන් මේ මොහොතේදී තෝරාගන්නට ඇති බව පැහැදිලිය.

එහි ප්‍රතිපලය රැහැනකින් එල්ලී සිටි වයස මාස 10-11 ක් පමණ කොටියා අවාසනාවන්ත ලෙස ගසට යටවී මියයෑමයි. ගුරුත්වාකර්ෂණය පිළිබඳව සාමාන්‍ය දැනුමක් ඇති අයකුට පවා තේරෙන කරුණක් නම් රැහැනකින් බැඳී යම් දෙයක් පහළට එල්ලා වැටෙන බැවින් කොයි පැත්තට ගස කැපූවත් කොටියා ඊට යටවන බවය. මේ පිළිබඳව අවසන් තීන්දුව වනජීවී ඇමැතිවරයා පත්කරන ලද කොමිටිය මගින් සොයාගනු ඇති බව අපගේ හැඟීමයි. කෙසේ හෝ අපගේ යෝජනාව නම්, නිරන්තරයෙන් කඳුකර කොටියන්, ගෝනුන් කඳුකරයේ මලපුඩුවලට හසුවන නිසා රන්දෙණිගලින් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් හා එම කාර්යය මණ්ඩලයන් යනතුරු නොසිට, වහාම නුවරඑළිය හෝ හැටන් ප්‍රදේශයේ වනජීවී පශු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නිත්‍ය ලෙසම ස්ථාපිත කළ යුතු බවයි. නුවරඑළිය ගැල්වෙස්ලෑන්ඩ් ජාතික උද්‍යාන මූලස්ථානයේ මේ සඳහා ඉඩකඩ හා පහසුකම් ඇති බැවින් එම ස්ථානය මේ සඳහා සුදුසු වන අතර, හැටන් ප්‍රදේශය ද ඒ සඳහා යොදා ගැනීමේ ශක්‍යතාව වනජීවී බලධාරීන් විසින් සොයා බැලිය යුතුය.

උගුල් අටවා තැන තැන මරන කඳුකර කොටින්ගේ ඛේදවාචකය

හැටන් වනරාජවත්තේදී මේ අවාසනාවන්ත කොටි මරණය වාර්තාවන්නේ තලවකැලේ ලිඳුල ප්‍රදේශයේදී වහලක් කඩාගෙන නිවසක් තුළට තවත් කඳුකර කොටියකු වැටී එම කොටියා වන ජීවී නිලධාරීන් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරා ගැනීමේ උණුසුම යන්නටත් මත්තෙනි.

බල්ලකු පසුපස පන්නාගෙන පැමිණි කොටියකු මෙසේ නිවසක වහලක් මතට පැනීමේදී සෙවිලි බිඳගෙන නිවසක නිදන කාමරයක් තුළට වැටී ඇත්තේ ගෙහිමියන් නින්දේ පසුවද්දීය. වහාම නිවසෙන් එළියට පැනගත් නිවැසියන් කොටියා ගෙතුළට කොටුවන පරිදි දොරගුළු වසා වහාම වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබූ අතර එම කොටියා අල්ලා වනයට මුදාහැරීමේ භාරදූර කටයුත්ත භාරවී තිබුණේද ඉහත වනජීවී කණ්ඩායමටමය. එහිදී නිර්වින්දනය කරන ලද කොටියා අල්ලා කුදලාගෙන විත් නැවත වනයට මුදාහැරීමේ කටයුතු වන ජීවී අඩවි ආරක්ෂක කණ්ඩායම හා වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම ඉතා නිවැරදිව සිදුකර තිබිණි.

● කඳුකර කොටි

උගුල් අටවා තැන තැන මරන කඳුකර කොටින්ගේ ඛේදවාචකය

කඳුකර කොටි ලෙස හැඳින්වුවද මෙසේ හඳුන්වන්නේද ශ්‍රී ලංකාවට ආවේණික වන, රට පුරා ව්‍යාප්තියක් දක්වන දිවියාගේ උපවිශේෂය වන ශ්‍රී ලංකානු දිවියා නොහොත් කොටියා නමින් හඳුන්වන සත්ත්වයාම වේ. Sri Lankan Leopard ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සහ සත්ත්ව විද්‍යාත්මකව Panthera pardus kotiya නමින් හඳුන්වන මෙම බිලාලයා ශ්‍රී ලංකාවෙන් පමණක්ම වාර්තාවන්නෙකි.

පහතරට වියළි කලාපයේ යාල, විල්පත්තුව, කුමන, ලාහුගල, ලුණුගම්වෙහෙර, උඩවලව යනාදී ජාතික වනෝද්‍යාන ඇතුළු වනාන්තරබදව දිවි ගෙවන කොටියන් තරමක් ලා පැහැ වර්ණයක් ගන්නා අතර, මැදරට කලාපය ඇතුළු හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය, හග්ගල, පිදුරුතලාගල, හැටන්, ශ්‍රී පාද වනාන්තරවල දිවිගෙවන කඳුකර කොටියන් තරමක් තද පැහැයක් ගැනීම හැර වෙනත් විශේෂතා නොදරති. එනම්, කඳුකර කොටියා යනු තවත් විශේෂ සත්වයකු නොවේ. කලාපීය මට්ටමෙන් කොටින් පිළිබඳව පර්යේෂණ සිදුවුවත් තවමත් ශ්‍රී ලංකාවේ කොපමණ කොටි ගහණයක් ඇත්දැයි සංගණනය කර නැත. යාල ඇතුළු වියළි කළාපීය ප්‍රදේශවල 400 ක පමණ කොටි ගහණයක් විසිර සිටින බවට අනුමාන කෙරේ. ලෝක සංරක්ෂණ සංගමය මගින් ප්‍රකාශිත අන්තර්ජාතික රතු දත්ත වාර්තාවට අනුව ලොව පුරා දිවිගෙවන දිවියා එනම්, Panthera pardus නම් සත්ත්වයා වඳවී යෑමේ දැඩි තර්ජනයට ලක්වූ සතකු ලෙස නම් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට ආවේනික එම සත්වයාගේ උප විශේෂය වන ශ්‍රී ලංකානු දිවියා නොහොත් කොටියා ද දැඩි තර්ජනයට ලක්වූ සත්වයකු වේ.

නමුත් පර්යේෂකයින් හා පරිසරවේදීන් පවසන පරිදි උඩරට, මැදරට හා ඉහළ කඳුකර කලාපය තුළ දිවිගෙවන කඳුකර කොටින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව හඳුනාගෙන ඇත. මේ නිසා වතුකරයේ කොටි ගහනය ඉහළ යමින් පවතින බව විශ්වාස කරන අතර, මෙසේ ගෘහාශ්‍රිත සත්වයින් ගොදුරු ලෙස සොයා එන කොටින් හා මිනිසුන් අතර අලි-මිනිස් ගැටුම මෙන් දැන් කොටි-මිනිස් ගැටුමක් නිර්මාණය වී ඇත. මෙහි නියත ප්‍රතිපලය කොටින් හා මිනිසුන් මරණ තර්ජනයට ලක්වීමය. ඒ අනුව හිතා මතාම කොටින් ඉලක්ක කර ජනතාව විසින් මලපුඩු, උගුල් අටවනු ලබන අතර, තවත් විටෙක ඌරන් ඇතුළු වන සතුන් වෙනුවෙන් අටවනු ලබන උගුල්වලට හසුව මෙසේ අපගේ අගනා කොටි සම්පත අකාලයේ මිලිනව යමින් සිටී.

ජගත් කණහැරආරච්චි
පසුබිම් වාර්තා සහ කඳුකරය කොටින්ගේ ඡායාරූප – මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක


advertistmentadvertistment