උත්තම චරිතය රැකගත යුතුමය

525

අප රට ඊයේ (ඔක්තෝබර් 1 වැනිදා) සුපුරුදු පරිදි ලෝක ළමා දිනය සමරනු ලැබීය. රටේ ජීවනාලිය බඳු දරු පරපුර වෙනුවෙන් දිනයක් වෙන්කර එලෙස සැමරීම අගය කළ යුතුය. එහෙත් දරුවන් වෙනුවෙන් සැමරුම් දිනයක් තිබූ පමණින් අප රටේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වී තිබේද යන ප‍්‍රශ්නය අප හමුවේ ඇත.

 ලෝක ළමා දිනයට පෙර දින එනම් සැප්තැම්බර් 30 වැනිදා ගාල්ල මහමෝදර සියඹලාගහවත්තේ 11 වසරේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි දරුවකු මියයන්නේ සිය පියා විසින් කොසු මිටෙන් පහරදීමක් හේතුවෙනි. දරුවාට පහරදී තිබුණේ පාඩම් වැඩ අතපසු කර ඇති නිසාවෙනි. මෙම පියා දරුවාට පහරදී ඇත්තේ මෙවන් විපතක් කිසිසේත්ම අපේක්ෂාවෙන් නොවේ. එහෙත් එම අවාසනාවන්ත ඛේදජනක සිදුවීම අතිශය වේදනාත්මකය. එනිසා දෙමාපියන් දරුවන්ට දඬුවම් කිරීමට පෙර වරක් නොව දහස් වාරයක් කල්පනා කළ යුතුව ඇත. සිය දරුවාද ඉගෙනුමට අදක්ෂ වීමට පුළුවන. එහෙත් දරුවාගේ මුළු අනාගතයම එනිසා අඳුරු වේයැයි පුහු මතවල දෙමාපියෝ නොසිටිය යුතුය. අප රටේද සාමාන්‍ය පෙළ දක්වාවත් ඉගෙනුම නොලැබූ අය විවිධ ක්‍ෂේත‍්‍රවල දක්ෂයෝ වී සිටිති. ඒ අය ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ජය කෙහෙළි නංවා මේ රටේ උසස්ම අධ්‍යාපනය ලැබූවන්ටත්  රැකියා සම්පාදනය කරන නිදසුන් එමට ඇත. එනිසාම දරුවන් නමැති සාධකය තුළ සැඟවී තිබෙන කුසලතා හඳුනාගෙන ඒ ඔස්සේ දරුවන්ගේ අනාගත ඉලක්ක වෙත යොමු කිරීම බුද්ධිමත් දෙමාපියන්ගේ වගකීමය. විශේෂයෙන්ම අප මේ ගතකරමින් සිටින කොවිඞ් වසංගත කාල සීමාවේදී දරුවන් පත්ව ඇති මානසික තත්ත්වය පළිබඳව දෙමාපියන් පියැවි සිහියෙන් යුතුව කටයුතු කළ යුුතුව ඇත. 2020 වර්ෂය සඳහා යුනිසෙෆ් ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොවිඞ් වසංගතයට දරුවන් ගොදුරුවීම අඩු මට්ටමක පැවතුනද වසංගතයත් සමග ඉන් මෙපිට සිදුවන කාරණා දරුවන් කෙරෙහි බලපෑම් සිදුකර ඇති බවයි. වසංගතය නිසා පවුල් ඒකක තුළ සිදුවන ආර්ථික බිඳ වැටීම් පවුල් තුළ මානසික සෞඛ්‍ය බිඳවැටීම්, යහළු මිත‍්‍ර සමාගම්වලින් ඈත්වීම් මෙන්ම පාසල් වසා දැමීම නිසා ඇතිවී තිබෙන බලපෑම් නිසා දරුවන් තුළ අසමතුලිතතා වර්ධනය වී ඇති බව එම වාර්තාවේ ස`දහන්වේ. විශේෂයෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම තුළ අප රටේද විවිධ විෂමතා වර්ධනය වීම ඊට ඇති හොඳම නිදසුනකි. අන්තර්ජාල පහසුකම් මෙන්ම ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ස්මාට් ෆෝන් හෝ ලැෆ්ටොප් පහසුකම් නොමැතිව තැවෙන දරුවන් පිරිසක් අප රටේ සිටීම අතිශය කනගාටුදායකය.

 දරුවන්ගේ ආරක්ෂකයන් වන්නේ වැඩිහිටියන්ය. එහෙත් සමහර වැඩිහිටියෝ දරුවන් ආරක්ෂා කරනවා වෙනුවට මුග්ධ ලෙස දරුවන් අපචාර ක‍්‍රියාවලට යොමුකර ගැනීම දිනපතා අප රටෙන් වාර්තා වීම ගැන අපගේ දැඩි අවධානය යොමු විය යුතුය. ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්‍ෂිකා (නීතිය බලගැන්වීම්) නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පවසන්නේ දැනට අප රටෙන් දිනකට ළමා අපයෝජන සිද්ධීන් 25 – 45 අතර ප‍්‍රමාණයක් වාර්තා වන බවයි. මෙම වසරේ පසුගිය මාස නවයට පමණක් ළමා අපයෝජන ඇතුළු හිංසා සිද්ධීන් 7958ක් වාර්තා වී ඇතැයි ඇය පවසන්නීය. මෙම සිද්ධීන් අතර ළමා ලිංගික හිංසා, මානසික හිංසා, අත්හැර දැමීම්, නොසලකා හැරීම්, දරුවන්ගේ අනිවාර්ය අධ්‍යාපන වැඩ කිරීම්, සයිබර් අවකාශ තුළ සිදුවන හිංසා ක‍්‍රියා මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තුළ ද සිය දිවි හානිකර ගැනීමට හේතුවූ ක‍්‍රියා ඇතුළත්ය.

 මෙම තත්ත්වය තුළ තමන්ගේ දරුවන් ආරක්ෂා කර ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරදීම සඳහා දෙමාපියන්, වැඩිහිටියන් අනිවාර්යයෙන්ම වඩා වැඩි වගකීමෙන් කටයුතු කළ යුතුය. මා ඕ සේතූං පවසා ඇත්තේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි. එනිසාම දරවා වැඩිහිටියන්ගේ ගොදුරක් බවට පත් නොකර දරුවා යහපත් ආකාරයෙන් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්ව ගොඩ ගැනීම හෙට දවසේ අප රටට කළ හැකි හොඳම ආයෝජනය බව සිහිපත් කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment