උතුම්ම ලාභය වූ නිරෝගීකම උදෙසා ග‍්‍රහ බලය අනුව ආහාර ගනිමු

769

රෝග නිවාරණය හා ග‍්‍රහයන් අතර ඇත්තේ පැහැදිලි සබඳතාවකි. මේ කාරණය හරිහැටි අවබෝධ කර ගතහොත් රෝගවලින් මිදීමට අවශ්‍ය පියවර ගැනීම අපහසු නොවේ. නමුත් වෛද්‍යවරුන් පවා ජන්ම පත‍්‍රය අනුව ග‍්‍රහබලය විමසා බලන සිරිතක් නැත. එහෙත් බටහිර වෛද්‍ය විiාවේ පියා වන ‘හිපොක‍්‍රටීස්’ පවා පවසා ඇත්තේ ග‍්‍රහ බලය නොසලකා ප‍්‍රථිකාර කරන වෛද්‍යවරයා අමනෝඥ බවයි. විශේෂයෙන් ශල්‍යකර්මවල දී සඳුගේ ගෝචරය සලකා බැලීම අවශ්‍ය බව එතුමා පවසා ඇත.

ඔබගේ ජන්ම පත‍්‍රයේ උප්පත්ති ග‍්‍රහ බලයත්, අද එම ග‍්‍රහයන් ගෝචරව හැසිරෙන හැටි සහ දශා ආදිය අනුව ඔබට අපල කරන ග‍්‍රහයන්ම ඔබේ නිරෝගී බවටද හානි කරනවා ඇත. මේ නිසා ඔබේ ග‍්‍රහබල දුබලකම් හඳුනාගැනීම මගින් නිරෝගී වීමට අවශ්‍ය පිළිවෙත් හඳුනාගැනීම පහසුවේ.

මෙහිදී ආහාර පාලනයට ලැබෙන්නේ විශේෂ ස්ථානයක් වන අතර ජීවන රටාව පිළිබඳවද සංඥා ලබාදෙයි. ප‍්‍රධාන ග‍්‍රහයන් නමදෙනා සහ රෝග අතර සබඳතාවය මදක් විමසා බලමු.

සමබල ආහාරය සහ නවග‍්‍රහයෝ

ග‍්‍රහයින් නමදෙනාට හිමි වර්ණ නමයකි. උදාහරණ වශයෙන් සඳු – සුදු පාටද, කුජ – රතුපාටද, බුධ – කොළපාට හා ගුරු – කහපාට වෙයි. සිකුරු – මිශ‍්‍ර පාට වන අතර ශනි – නිල්පාට වන්නේය. රාහු – අළු පාටද, කේතු – තඹ පාටද වේ. එමෙන්ම සඳු ජලය හා බීම වර්ගද, කුජ මස්මාංශ හා මිරිස් ද, බුධ මැල්ලූම් හා ගුරු මේදය බහුල කහපාට ආහාර නියෝජනය කරයි. සිකුරු පලතුරු හා ඇඹුල් රසට අධිපති වේ. ශනි තිත්ත ආහාරද, රාහු තෙම්පරාදු ආහාරද පෙන්වයි. ග‍්‍රහයන් නවදෙනෙකු වන අතර වර්ණ හා රස ගුණද වෙනස්ය.

එවිට සමබල ආහාරයක මෙම සියලූ වර්ණද, සියලූ රසද, අඩංගු විය යුතු බව පෙනේ. එනම් පාට සියල්ලද, රස සියල්ලද අඩංගු වේ. නිරෝගී බව උදෙසා මෙවැනි ආහාර ඉතා සුදුසුය.

රවි

රවි ප‍්‍රධානය. ආහාරවලද ධාන්‍ය වර්ග රවිට අයත් වේ. බත්කන පෙරදිග වැසියෝ ඒ බව අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම තිරිඟුද රවිට අයත් නමුදු හාල් හෝ තිරිඟු පිටි නම් එය ශුද්ධ නොකළ ඒවා විය යුතුය. කුරුට්ට ඉවත් කළ විට ඒවා නියම හාල් නොවන බව කිවයුතු වේ.

ග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රධානියා රවි වන අතර ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රිය වන හෘදය වස්තුවට රවි අධිපති වේ. මේ නිසා උපතින් හෝ රවි දුර්වලවීම හෘදයාබාධවලට හේතුවෙයි. රුධිර පීඩනය පිළිබඳ ගැටලූද ඊට අයත් වන්නේය.

එමෙන්ම ඇස් රෝග, උෂ්ණාධික රෝග රවිට අයත්ය. රවි අපලයන් ඇති අය උෂ්ණාධික පරිසරවලින් ඉවත්වීම හා උෂ්ණාධික ආහාර ගැනීම නුසුදුසුය. පහන් පූජාව සුදුසු ශාන්ති කර්මයකි.

සඳු

අලස බව, නිදිමත, සෙම රෝග, පීනස, උමතුව වැනි රෝග සඳුට අයත්ය. උපතින් සඳු දුර්වලව ලග්නය හය, අට වැනි ස්ථානවල සිටින අයට උෂ්ණ රෝග වැළඳීම ඉක්මන් බව පෙනේ. සඳු දුර්වල නම් ඊට අධිපති වන වතුරෙන් හා ශීත ආහාරවලින් ප‍්‍රවේශම් වීම අවශ්‍යවේ. සවසට රාති‍්‍රයට නෑම, පිණි බෑම, රාතී‍්‍ර ගමන්, ජල කී‍්‍රඩා සුදුසු නැත. එමෙන්ම සඳු සෙමට අධිපති බැවින් සෙම් බහුල ආහාර අත්හැරීම වැදගත් වේ.

ග‍්‍රහ අපල සමග එන රෝග කර්ම හා බැඳී පවතී. මව හෝ උතුම් කාන්තාවන්ට කරන ලද අකටයුතුකම් නිසා රැස්කළ අකුසල් නිසා මේ රෝග වැළඳේ.

එබැවින් මවට උදව් උපකාර කිරීම නිසා මේ රෝගවලින් දුරුවීමට කර්ම ශක්තියන් ඇතිවේ. සඳු හිමි ශීතකළ බීම, අයිස්කී‍්‍රම් වැනි ආහාර වර්ජනය කළ යුතුවේ. එහෙත් උෂ්ණාධික රෝග පාලනය සඳහා සඳු හිමි ආහාර හා ජලය පානය අධිකව කිරීම මැනවි.

කුජ

පිත්තාධික ග‍්‍රහයකු වන කුජට මස් මාංශ හා මිරිස් රස අධිපති වෙයි. ගම්මිරිස්, රතු මිරිස්, කට්ට සම්බල් වැනි ආහාර, මාංශ ආහාර අයිති වේ. එබැවින් පිත්තාධික රෝග රත්පිත් රෝග ඇති අය එවැනි ආහාරවලින් වැළකීම අවශ්‍ය වේ.

එමෙන්ම වැටීම්, තැලීම්, සීරිම්, තුවාල, හදිසි අනතුරුවලට අධිපති වන්නේද කුජ වන අතර කුජට ග‍්‍රහ මණ්ඩලයේ සෙන්පති යැයි කියනු ලැබේ. ද්වේෂය සංකේතවත් කරයි. තරහා, ද්වේෂය, නොසන්සුන්කම නිසා ඇතිවන රෝගවලට මුල්වෙයි. මේ නිසා කුජ අපල ඇති නම් ද්වේෂය පාලනය කරගත යුතුයි. මෛතී‍්‍ර භාවනාව සුදුසු ශාන්ති කර්මයකි.

බුධ

පුද්ගලයකුගේ බුද්ධිමත් බව බුධ සංකේතවත් කරයි. එනම් බුද්ධිමත් උගත් අයගේ බුධ බලවත් බව පෙනේ. ශරීරයේ ස්නායු හා මොලය සංකේතවත් කරන අතර බුධට අයත් වන්නේ කොළ පාට හා මැල්ලූම් ආහාර වර්ග වේ.

කතාවට ද බුධ අධිපති වන අතර කතාවේ දුබලතා ගොත ගැසීම, කුඩා දරුවන්ගේ කථන ආබාධවලට හේතුව කර්ම විපාකයන් වන අතර එවැනි අයගේ බුධ දුර්වල බව පෙනේ.

මේ නිසා ගොටුකොළ, මුගුණුවැන්න වැනි බුධට අයත් ආහාර ගැනීම නිසා මේ දුබලතා මගහැරේ. එමෙන්ම කොළ පාට එළවළු, කොළ කැඳ ආදියද ප‍්‍රත්‍යක්‍ෂ ආහාර වේ.

බුධ අපලයට හේතුව කතාවෙන් සිදුවන වැරදි වන බොරු, කේලම්, පරුෂ වචන හා සම්ප‍්‍රඵලාප කීම වන නිසා එයින් වැළකීම හා ධර්ම දානය සුදුසු ශාන්තිකර්ම වේ.

ගුරු

ගුරු මේදය සහිත අධිපෝෂිත ආහාර නියෝජනය කරයි. බටර්, මාජරින් හා ගුරුට අයත් කහපාට ආහාර වේ. කව්පි, පරිප්පු, කඩල, කැරට්, බීට් වැනි ආහාර ඊට අයත් වේ. කහ බතල, තෙල් වර්ගද ගුරුට අයත්වේ. තෙල් වර්ග අධික ආහාර ගැනීම කොලස්ටරෝල් අධික ස්ථූලතාවය වැනි රෝගාබාධවලට හේතුවන බව පෙනේ.

මේ නිසා කෙට්ටු හා දුබල ශරීර ඇති අය ගුරුට අයත් ආහාර ගැනීම සුදුසු වන අතර කොලස්ටරෝල් අධික ස්ථුලතාවය වැනි ගැටලූ පවතින අය ගුරුට හිමි ආහාර වර්ග වර්ජනය කළ යුතුවේ.

එමෙන්ම ගුරු ශරීර සැප පෙන්වන නිසා ගුරුගේ අපල ඇති අය සුඛෝපභෝගී ජීවිත ගතකිරීම නුසුදුසුය. ශාරීරික ව්‍යායාම අත්‍යාවශ්‍ය වේ. තිලෝගුරු බුදු හිමියන්ට චතු මධුර පූජාව, කහපාට මල්, තැඹිලි තෙල්, පහන් පූජාව සුදුසු ශාන්තිකර්ම වන්නේය.

සිකුරු

මිශ‍්‍රලා වර්ණද ඇඹුල් රසැති ආහාර වන දෙහි, දොඩම්, අන්නාසි, ඇපැල් ආදියද සිකුරු නියෝජනය කරයි. එබැවින් සිකුරු අපලයකදී මෙවැනි ආහාර ගැනීම හෝ පාලනය කිරීම වැදගත් වේ.

ශරීරයේ ප‍්‍රජනන පද්ධතියේ දුර්වලතා ක්‍ෂණික මෝචනය, සුද යෑම, මදන පිස්සුව, ගබ්සා, විවාහ ගැටලූ සිකුරු අපලය නිසා ඇති කරන දෝෂ වේ. විටමින් ඌණතා පෙන්වන අය සිකුරු හිමි පලතුරු ආහාරයට ගැනීම අවශ්‍ය වේ.

සිකුරු අපලයට හේතුව වැරදි කාම සේවනය වන බැවින් අපල දුරු කිරීමට අධික කම්සැප අත්හැරීම හා ලද දෙයින් සතුටුවීම අවශ්‍ය වේ. එමෙන්ම අන් අයගේ විවාහ ජීවිතවලට ආශීර්වාද කිරීම, සතුටුවීම මැනවි.

ශනි

සියලූම වර්ගයේ ඔත්පලවීම්, අංශ භාග, සෙම රෝග හා වාතාබාධවලට ශනිගේ බලපෑමක්ද ඇති බව පෙනේ. නහරගත රෝග, දත් රෝග, අස්ථි රෝග ද එයින් පෙන්වයි. ශනිගේ වර්ණය නිල් පාට වන අතර පිළුණු ආහාර ඊට අයත් වේ. ශනි සඳු සමග එක්ව අපල කරන විට ජන්මියා සෙම් රෝගයට ගොදුරු වෙයි.

අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීම, අණවින කිරීම, කොඩිවින කිරීම, සේවකයන්ට නොසැලකීම, වැටුප් නොදීම, අනුන්ගේ දුකට කන් නොදීම, අසරණයකු දුටුවිට ඉවතබලා ගැනීම වැනි අකුසල කර්ම විපාක සෙනසුරු අපලය පෙන්වයි.

ශනි අපලය ඇතිවීම රාති‍්‍රයට සවසට නෑම, පිහිනීම, ජල කී‍්‍රඩා, රාතී‍්‍ර ගමන් අත්හල යුතුය. නිල් පාට ඇඳුම් පැළඳුම් වර්ජනය කළ යුතු අතර අසරණයන්ට උදව් දීම කළ යුතුය.

රාහු

රාහුගේ වර්ණය අළුපාට වන අතර ආහාරය තෙම්පරාදු ආහාර වේ. අද බහුල ලෙස ජනපි‍්‍රයවී ඇති කට්ලස්, පැටිස්, රෝල්ස්, වඬේ, මුරුක්කු, ප‍්‍රයිඞ් රයිස් හා කොත්තු රොටි වැනි ආහාර රාහු නියෝජනය කරයි. වස විස අයත් වන්නේද රාහුටය.

මෙකල ශී‍්‍ර ලංකාවාසී ජනතාව බහුල ලෙස ආහාරයට ගන්නේ රාහුට අයත් ආහාර බව රාහු හිමි රෝගාබාධ ගැන සලකන විට පෙනේ. ගැස්ට‍්‍රයිටිස් හෙවත් අම්ලපිත්ත රෝගය, උදරාබාධ ආශි‍්‍රත හිසේ රෝග, මානසික ආතතිය, අදූදර්ශී බව, රාහුට අයත් වේ.

මෙකල කුඩා ශිෂ්‍ය දරුවන් පවා ගැස්ට‍්‍රයිටිස් රෝගයෙන් පෙළෙන බව පෙනේ. මේ නිසා තෙල් හා මිරිස් සහිත තෙම්පරාදු ආහාරවලින් ජනතාව ඈත්විය යුතු කාලය එළඹී ඇති අතර වෙනත් ආහාර රටාවකට ජනතාව පෙළගැස්විය යුතු කාලය එළඹ තිබේ. මේ හැර මත්ද්‍රව්‍ය ද රාහු හිමි වන නිසා මත්ද්‍රව්‍ය භාවිතයද රාහු අපල උත්සන්න වීමට හේතුවනවා ඇත.

තෙම්පරාදු ආහාර, කෙටි කෑම, මත්කුඩු, දුම්වැටි, මත්ද්‍රව්‍ය, රසකාරක, කෘති‍්‍රම වර්ණක නියෝජනය කරන රාහුගේ ආහාර වර්ජනය කළ යුතුවේ. මේ අතර ජලය පානය අතපසු වීමද අපලයේ කොටසක් බව අමතක නොකළ යුතුය.

කේතු

කළු පාට වර්ණය නියෝජනය කරන අතර කේතුගෙන් පෝෂණය ඌණතා නිසා ඇතිවන මාන්දම, ඇඟ කෙට්ටුවීම, වැනි රෝගාබාධ පෙන්වයි. මෙහිදී විටමින් හා යකඩ ඌණතාව නිසා ඇතිවන පෝෂණ ගැටලූ පෙන්වයි. පණු රෝගද කේතුට අයත්ය.

මේ නිසා යකඩ හා විටමින් අඩංගු වන පලා, පලතුරු වැනි ආහාර ගැනීම කේතු අපලය ඇති අයට සුදුසුය. යකඩ අඩංගු නිවිති, කළු කව්පි, කළු තල, විශේෂයි.

තවද කේතු අපලයට හේතුවන අතීත අකුසලකර්මය ඊර්ෂ්‍යාව වන නිසා ඊර්ෂ්‍යාවෙන් තොරවීම, උපේක්‍ෂාව හා මෛති‍්‍රය පැතිරවීම මෙන්ම කේතු හිමි කලූපාට ඇඳුම් භාවිතය අත්හැරීමද අවශ්‍ය වේ.

ග‍්‍රහයින් සුබ හා අසුබ වශයෙන් බෙදේ. එහෙත්සුබ මෙන්ම අසුබ ග‍්‍රහයන්ද විවිධ සුබඵල දෙයි. නමුත් ආහාර රටාවේදී ප‍්‍රධාන වූ රවි, සඳු, ශුක‍්‍ර, ගුරු හා බුධ ගේ ආහාර වැඩියෙන්ද, කුජ, ශනි, කේතු අයත් ආහාර අඩුවෙන්ද භාවිතාකිරීම වැදගත් වේ. තම ජන්ම පත‍්‍රයේ ග‍්‍රහබල දුබලතා අනුව ආහාර පාලනය මගින් උතුම්ම ලාභය වූ නිරෝගී බව ලබාගන්න.

උතුම්ම ලාභය වූ නිරෝගීකම උදෙසා ග‍්‍රහ බලය අනුව ආහාර ගනිමු

කෑගල්ල – සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment