දිස්ත්‍රික් තුනක වර්ග කිලෝ මීටර් 1318ක තවමත් බිම් බෝම්බ අයින් කරනවා
දැනට සොයාගත් බිම් බෝම්බ සහ ජොනී බට්ටන් ප්‍රමාණය 878786 ක්
කාලතුවක්කු, ෂෙල් වෙඩි උණ්ඩ සහ මෝටර් උණ්ඩ 366819ක්,
ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ 1193283ක්
දශක තුනක යුද්ධයෙන් අනතුරුව දැන් අපට නිදහසේ උතුරට පය තැබිය හැකි යැයි දකුණේ වැසියා සිතා ගත්තේ 2019 මැයි 18 වෙනිදාය. ඒ ශ්‍රී ලංකාවේ යුද හමුදාව අතින් නන්දිකාල් කළපුවේදී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මැරුම් කෑ බැවිනි.
යුද්ධය නිමාවූ පමණින් අපට එසේ හැඟුණද එය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. උතුරුකරය තුළ නිදහසේ පා තබන්නට නම් අඩුම තරමින් 2027 අවසන් වනතුරු සිටි යුතුය.
අප එසේ කියන්නට හේතුව ඔබට හරියටම දැන ගත හැකි තැනක් තිබේ. ඒ මුල්ලායියෙඩි පලාලිහි පිහිටි ෂාප් (SHARP) යන කෙටි නමින් හඳුන්වනු ලබන කාර්යාලයයි. එය තවමත් අවසන් නොවූ බරපතළ යුද මෙහෙයුමක් සිදු කරනු ලබන මධ්‍යස්ථානයකි. උදැසන 5.30 වන විට ඔබ මේ ස්ථානයට ගියහොත් එක්තරා නිල ඇඳුමකින් සැරසුණු තරුණ තරුණියන් පිරිසක්, යම් යම් තාක්ෂණික උපකරණ අතැතිව අවට පරිසරය සිසාරා සූක්ෂම සෝදිසියක යෙදෙනු පිණිස පිටත්ව යන ආකාරය ඔබට දැකගත හැකි වනු ඇත. ඒ මොහොතේ පටන් මධ්‍යාහ්න 2.00 වන තෙක් ධ්‍යානයකට සම වැදුනා සේ ඔවුන් විසින් මේ යෙදෙනු ලබන රාජකාරිය ජීවිතය පරදුවට තබා සිදු කරන්නකි. එය එක නිමේෂයක පමාවකින් හෝ කෙස් ගසක වෙනසකින් තමාගේද තවත් කීප දෙනෙකුගේද සැණෙකින් දිවි අහිමි කිරීමට සමත් වූවකි.
ඒ මෙහෙයුම වන්නේ යුද්ධය පැවැතුණු තිස් වසර මුළුල්ලේ එල්.ටී.ටී.ඊ ය විසින් තැනින් තැන වළ දමන ලද බිම් බෝම්බ, ජොනී බට්ටන් සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමය. මෙම කටයුත්ත කොතෙක් වෙහෙසකර හා මානසික ආතතිය ඇති කරවන්නක්ද යත් සෑම විනාඩි පනහකටම වරක් එම සාමාජික සාමාජිකාවන්ට විනාඩි කීපයක විවේකයක් ලබා දීමටද කටයුතු යොදා තිබේ.
මේ පිරිසට දිවයිනේ උතුරු හා නැගෙනහිර දෙපළාත්වලට අයත් දිස්ත්‍රික්ක අටක් ඇතුළුව අනුරාධපුර, පොළොන්නරුව, සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල වර්ග කිලෝමීටර් 1318 ක බිම් බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ මෙහෙයුමක යෙදීමට සිදුව තිබේ. මෙම වර්ග කිලෝමීටර් 1318 කෙතෙක් අනතුරුදායක ද යත්, බිම් බෝම්බ සහ ජොනී බට්ටන් පමණක් 878786 ක් සොයා ගැනීමෙන්ම පෙනී යයි. එමෙන්ම කාලතුවක්කු, ෂෙල් වෙඩි උණ්ඩ සහ මෝටර් උණ්ඩ 366819 ක්ද, ස්වයංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ 1193283 ක්ද සොයා ගැනීමෙන් පෙනී යයි.
බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමනාකරුවන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ හිටපු විශ්‍රාමික කපිතාන් ප්‍රභාත් නාරම්පනාව මහතා පවසන ආකාරයට දැනට සිදු කෙරීගෙන යන බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට අවසන් තිත තැබිය හැකි වන්නේ 2027 දීය. මේ වන විට වර්ග කිලෝ මීටර් 887 ක බිම් බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය මගින් සිදුකර ඇත. මෙය හඳුන්වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂවාදී බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වශයෙනි.

දැනට මෙකී මෙහෙයුම උදෙසා ශ්‍රී ලංකා රජයේ අවසරය ඇතිව ජපානය සහ ඇමෙරිකාවේ මූල්‍ය ආධාර සහිතව පාලනය වන රාජ්‍ය නොවන සංවිධාන හතරක්ද සම්බන්ධව සිටී. ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යාංශය විසින් මෙම කටයුතු අධීක්ෂණය කෙරේ.
අප මුලින් සඳහන් කළ ෂාප් (SHARP) යන කෙටි නමින් හැඳින්වෙන්නේ ජපන් රජයේ ආධාර මත ක්‍රියාත්මක වන SAKVITA HUMANITARIAN ASSISTANCE AND RELIEF PROJECT) නම් සංවිධානයයි. මේ සමග තවත් අන්තර් ජාතික සංවිධාන තුනක් මේ කාර්යය සඳහා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය සමග එක්ව කටයුතු කරනු ලැබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය විසින් මුදාගත් පෙදෙස්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පළමුවරට ආරම්භ කරන ලද්දේ 2002 දීය. ඉන්පසු 2007 දි එහි පුමුඛ වගකීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ මානුෂවාදී බිම් බෝම්බ ඉවත් කිරීමේ එකකයට පැවරිණි.
එවකට ආසියාවේ බිහිසුණුම සටන් පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික පෙරමුණද ලෙස හැඳින් වූ යාපනය අර්ධ ද්වීපයේ කිලාලි, මුහමාලේ සහ නාගර් කෝවිල් ඉදිරි ආරක්ෂක කලාපය කොටින් විසින් මෙරටෙහි වැඩිම ඝනත්වයකින් යුතුව බිම් බෝම්බ වළලා තිබූ බිම් තීරය ලෙස සොයාගෙන තිබේ.
එ සමයෙහි මෙකී බිම් තීරය අසල කොටින්ගේ මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ බංකර් කීපයක්ද වූයේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රහාර හමුවේ පළා යන්නට සිදුවූ අවස්ථාවේදී කොටින් සිය බංකර් අසල කිසිදු සැලසුමකින් තොරව බිම් බෝම්බ වළ දා තිබේ. බිම් බෝම්බ ප්‍රමාණය වැඩි වීමට හේතු වී ඇත්තේ එයයි. එමෙන්ම බිම් බෝම්බ නිෂ්ක්‍රීය කරන්නන් හට සිය ජීවිතයද පරදුවට තබා අති දුෂ්කර රාජකාරියක යෙදීමට සිදු වූ ස්ථානය වී ඇත්තේද මේ ප්‍රදේශයයි.
පෙර කී රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම කාර්යය සඳහා එම පළාත්වල වෙසෙන ද්‍රවිඩ තරුණ තරුණියන් ස්වෙච්ඡා සේවක සේවිකාවියන් ලෙස බඳවා ගෙන ඇති අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේද මැදිහත් වීමෙන් ඔවුනට ඒ පිළිබඳව මනා පුහුණුවක් ලබා දී තිබේ.
යුද්ධය පැවැති කාල සීමාව තුළ ආරක්ෂක හමුදාවල දැවැන්ත ප්‍රහාර හමුවේ පවා එල්.ටී.ටී.ඊ ය තමන්ගේ අණසකට යටත්ව පැවැති කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයේ භූමිය ආරක්ෂා කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීය. එසේම සන්නද්ධ ප්‍රහාර හමුවේ පලා යන්නට සිදුවූ සෑම අවස්ථාවකම හමුදාවේ ගමන අඩාල කිරීමට ඔවුන් විසින් යොදනු ලැබූ ප්‍රධානම උපාය මාර්ගය වූයේ බිම් බෝම්බ වළ දැමීමය.

උතුරු පළාතට අයත් යාපනයේ අර්ධද්වීපය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, මන්නාරම සහ නැගෙනහිර පළාතේ අම්පාර, හා මඩකලපුව දිස්ත්‍රික්ක, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සහ මනම්පිටිය, පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව සහ විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව ආදී ස්ථානවල කොටින් විශාල වශයෙන් බිම් බෝම්බ වළ දමා තිබිණි.
මෙම ලිපියේ පෙර සඳහන් කළ සංඛ්‍යා ලේඛනවලට අමතරව මේ ප්‍රදේශවල කරන ලද මෙහෙයුම් වලදී මහා මාර්ගවල වාහන ඉලක්ක කර ගනිමින් වළ දමා තිබූ බිම් බෝම්බ 2192 ක්ද බෝම්බ නිෂ්ක්‍රීය අංශවලට සොයාගත හැකි විය.
මේ වන විට වර්ග කිලෝ මීටර් 1044.45 ක් වූ සම්පූර්ණ භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඇතුළු පුපුරා නොගිය මෝටර්, ෂෙල් වෙඩි සහ කාලතුවක්කු උණ්ඩ ඉවත් කොට තිබේ.
එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් ලද තොරතුරු මත තවත් වර්ග කිලෝ මීටර් 59.91ක ප්‍රදේශයක් තෝරා ගනිමින් බිම් වෙඩි ඉවත් කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඊට අමතරව බිම් බෝම්බ වළදමා ඇතැයි සැලකෙන තවත් වර්ග කිලෝ මීටර් 17.43 ක ප්‍රදේශයක්ද දැනට හඳුනාගෙන තිබේ.
විශ්‍රාමික කපිතාන් ප්‍රභාත් නාරම්පනාව මහතා පවසන පරිදි පෙර සඳහන් කළ SHARP ආයතනය මගින් මෙම කටයුත්ත ආරම්භ කර ඇත්තේ 2016 දීය. මෙම ආයතනය යටතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් හයක් සිටින අතර ඉන් කණ්ඩායම් දෙකක් මුහමලේ ප්‍රදේශයේ වැඩ කරන අතර, තවත් කණ්ඩායම් දෙකක් මාන්කුලම් ප්‍රදේශයේ රාජකාරිවල නිරතව සිටිති. ඉතිරි කණ්ඩායම් දෙක ඇත්තේ මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේය.
විශ්‍රාමික කපිතාන් ප්‍රභාත් නාරම්පනාව මහතා පවසන පරිදි මුහමලේ සිට අයියකච්චි, වැම්පියන්පත්තු, මන්නාරම දක්වා ඉදිරි ආරක්ෂක වළල්ලේ කිලෝ මීටර් 60 ක පමණ දුරක් කොටින් විසින් සම්පූර්ණයෙන්ම බිම් බෝම්බ වළලා කඳවුරු ආවරණය කරගෙන තිබී ඇත.
“අපි පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති තුනක් සම්පූර්ණ කර තිබෙනවා,……
ප්‍රභාත් නාරම්පනාව මහතා පවසයි.
ඒ අනුව ඔවුන් විසින් මේ වන විට ප්‍රදේශ 22 ක වැඩ අවසන් කර බාර දී තිබේ.
සාමාන්‍යයෙන් එක් බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමේ කටයුත්තක් පවා හොලිවුඩ්හි චිත්‍රපටයකට නම් සන්ත්‍රාස ජනක කටයුත්තකි.
යුද හමුදා භටයින් ඇතුළු පෙර කී තරුණ තරුණියන් විසින් දහස් ගණනක් බිම් වෙඩි සමග දිවි පරදුවට තබා සිදු කෙරෙන මෙකී මෙහෙයුම ඊට වඩා සන්ත්‍රාස ජනක වන්නේ මෙය ඇත්තටම සිදු කෙරෙන්නක් බැවිනි. ඒ අපගේ දෙපාවලට හෝ ජීවිතවලට හානියක් නොවන සේ ඇවිද යන්නට ඉඩ සලසනු පිණිසය. 2027 නොව ඉන් එහා වන තෙක් හෝ ඒ සඳහා අප ඉවසීමෙන් බලා සිටිය යුතු වන්නේ එහෙයිනි.
පර්සි කුරුනේරු