උතුරුකරේ පියසටහන්… අලුත් වුණු යාපනයේ නගර සවාරිය

147

වලිකාමම්, තෙන්නමරච්චි හා වඩමාරච්චි යනුවෙන් යාපනය අර්ධද්වීපය කොටස් 03කට බෙදා වෙන්කර තිබේ. යාපනය නගරය වලිකාමම් කොටසට අයත්වේ.

මෙවර යාපනයට ගිය මගේ 47 වන ගමනේදී මා දුටුවේ විශාල දියුණුවකට ලක්වූ සුවිසල් නගරයකි. යුද සමයේ මා දුටු යාපනය ගැන සිහියට නැඟෙන විට මේ වෙනස ගැන පුදුම සිතෙයි. මා පළමු වරට යාපනය නගරයට ගියේ 1988 වසරේදීය. එවකට ඉන්දීය සාම සාධක හමුදාව යාපනයේ සිටි අතර ශ‍්‍රී ලංකා යුද හමුදාවද සුළු වශයෙන් සිටියේය.

ඉන්දීය හමුදාව මෙරටින් ගිය පසු එල්.ටී.ටී.ඊ.ය යාපනය නගරය පුරා කඳවුරු බැඳ ස්ථානගතවී සිටි අතර ශ‍්‍රී ලංකා යුද හමුදාව යාපනය කොටුවේ හා ගුරුනගර් ප‍්‍රදේශවල ස්ථානගතවී සිටියහ.

එල්.ටී.ටී.ඊ. සංවිධනය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ආරක්ෂක හමුදාවලට එරෙහිව යුදමය සටන්වලට අවතීර්ණවූ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන කළු ජූලියේ ආරම්භය සිදුවූයේද යාපනය නගරාසන්න ප‍්‍රදේශයකදීය. ඒ යාපනය පලාලි මාර්ගයේ තිරුනිර්වේලිහිදීය. යුද හමුදා පාබළ රෙජිමේන්තුවේ ලූතිනන් වාස් ගුණවර්ධන ප‍්‍රමුඛ සෙබළුන් 13 දෙනකුට මරු කැඳවූ කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් තිරුනිර්වේලි තැපැල්කට්ට හන්දියේදී එල්ල විය. අද එම ස්ථානය සිතාගත නොහැකි ලෙස දියුණු නගරයක් බවට පත්වී තිබේ.

එම ප‍්‍රහාරයට පෙර ආරක්ෂක හමුදා වෙත කොටි ප‍්‍රහාර එල්ල වුවද ඒවා දිගුකාලීන යුදමය තත්ත්වයක් දක්වා වර්ධනය නොවීය. නමුත් මෙම තිරුනිර්වේලි ප‍්‍රහාරය දශක 03 ක් තිස්සේ පැවති යුද්ධයේ ආරම්භය ලෙස සැලකේ.

උතුරුකරේ පියසටහන්… අලුත් වුණු යාපනයේ නගර සවාරිය

1990 වනවිට යාපනය නගරයේ සම්පූර්ණ පාලන බලය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් සතුකරගෙන සිටියහ. යුද හමුදාව යාපනය කොටුවට පමණක් සීමාවී සිටියේය.

කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රභල සටන් මර්මස්ථානයක් ලෙස පැවැති යාපනය නගරය අද සාමකාමී නිදහස් පමණක් නොව අති දියුණු වූ නගරයක් බවට පත්වී තිබෙන අයුරු වරක් දෙවරක් නොව මෙවර සංචාරයේදී පුරා සති 03ක් යාපනය නගරයේ රැඳී සිටියදී මම දුටුවෙමි. එදා මෙදා වෙනස ඉතා හොඳින් මට දැනුනි. යුද සමයේ මා දුටු යාපනයත් ඉන් පසු මා දුටු යාපනයත් අතර වෙනස හොඳින්ම දන්නා මට මෙවර යාපනයේ වෙනස සුවිශේෂී එකක් විය.

දිවා රාත‍්‍රී කීපයක්ම මම යාපනය නගරය පුරා තනිවම සැරිසැරුවෙමි. බස්වල නැ`ගී ගියෙමි. යුද ගැටුම් නොපැවති දකුණේ නගරයක සැරිසරන විට දැනෙන නිදහසම දැනුනි. යුද ගැටුම් නිසා විනාශවී සුන්බුන් බවට පත්වූ ජනශූන්‍ය නගරයක් ලෙස එදා මා දුටු යාපනය නගරය අද මෙලෙස දකින්නට ලැබීම සිහිනයක් දැයි කියා සිතෙන්නට විය.

ඒ වෙනස ඒ තරම්ම ප‍්‍රභලය. උතුරේ දෙමළ ජනතාවගේ හදවත ලෙස සැලකෙන යාපනය නගරය මේ තත්ත්වයට පත්වීමේ ප‍්‍රධාන ගෞරවය හිමිවිය යුත්තේ ත‍්‍රිවිධ හමුදාවටයි. යුද, ගුවන්, නාවික හමුදාවෝ කළ අසීමිත කැපවීම නිසා යාපනය නගරය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගෙන එහි ආරක්ෂාව හා සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය 1995 දෙසැම්බර් මාසයේ සිට පියවර ගත්හ. ඒ ‘රිවිරැස’ ක‍්‍රියාන්විතයෙන් යාපනය නගරය මුදාගත් දිනයේ පටන්ය.

යාපනයට පැමිණි 47 වන ගමනේදී මට එහි නව තොරතුරු එක ලිපියකින් කීමට නොහැකිය. ඊට ලිපි කීපයක් ලිවිය හැකි තොරතුරු හා ඡායාරූප මා සතුව ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා ඊට දුන් සහයෝගය ඉතා ඉහළය. 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික‍්‍රමසිංහ, 52 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් සාමන්ත වික‍්‍රමසේන, 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද කුමාර ජයවර්ධන දුන් සහයෝගයද ඔවුන්ට ස්තූතිපූර්වකව සිහිකරමි.

යාපනය නගරය හා අර්ධද්වීපය පුරා මා කළ සති 03ක සංචාරයේ සියලූ තොරතුරු හා ඡායාරූප

සමගින් ලබන සතියේ නැවත මම පාඨක ඔබ හමුවට පැමිණෙමි.

(මතු සම්බන්ධයි)
සටහන හා ඡායාරූප
සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment