උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට කසළ බැලුන්

330

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවේ පළාත් නවයෙන් අටකට ගුවනින් හෙළන ලද ප්‍රචාරක පත්‍රිකා හා කසළ රැගත් බැලුන් 150 ක් හේතුවෙන් එම පළාත්වල වැසියන්ට නිවෙස්වලටම වී සිටින ලෙස අනතුරු ඇඟවීමට දකුණු කොරියානු බලධාරීන් විසින් ඊයේ (29) පියවර ගෙන තිබේ. එම බැලුන් සැකකටයුතු ඒවා වන බැවින් එළිමහන් කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස, දකුණු කොරියානු හමුදාව විසින්ද මහජනතාවට දැනුම් දී තිබේ.

උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට හෙළා ඇති සුදු පැහැති බැලුන් හා ඒවාට සවි කර තිබූ ප්ලාස්ටික් අසුරණවල අපිරිසිදු අපද්‍රව්‍ය හා කසළ අඩංගුව පැවතීම හේතුවෙන් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස දකුණු කොරියානු බලධාරින් විසින් ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ. උතුරු කොරියාව විසින් දකුණට හෙළන ලද බැලුන් සම්බන්ධයෙන් දකුණු කොරියාව විසින් විමර්ශනයක් අරඹා ඇති බවද වාර්තා වී තිබේ.

දකුණු කොරියාවට උතුර විසින් හෙළා තිබෙන බැලුන්වලට නූල්වලින් සම්බන්ධ කර ඇති ප්ලාස්ටික් ඇසුරුම්වල(බෑග්) වැසිකිළි ගොස් පිස දමන කඩදාසි (ටොයිලට් පේපර්) අඳුරු පස් හා බැටරි ඇසුරුම් අන්තර්ගතව ඇති බව සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ඡායාරූපවලින් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

1950 ගණන්වල සිට පැවති කොරියානු යුද්ධයේ සිට උතුරු කොරියාව මෙන්ම දකුණු කොරියාව ද සිය ප්‍රචාරණ කටයුතු සඳහා බැලුන් යොදා ගැනීම සිදු කරන අතර නිරතුරුව දකුණු කොරියානු ක්‍රියාකාරින් විසින් උතුරු-දකුණු කොරියානු දේශසීමාවේ දමන කොළ කැබලි හා අනෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් එයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බව උතුරු කොරියාව විසින් පසුගියදා අනතුරු අඟවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment