උතුරු කොරියාව ජපානයට යැවූ මිසයිලය මුහුදට කඩා වැටේ

627

උතුරු කොරියාව විසින් ජපානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද මහා පරිමාණයේ බැලැස්ටික් මිසයිලයක් කිලෝ මීටර් 4500ක (සැතපුම් 2800) දුරක් ගමන් කර ශාන්තිකර සාගරය වෙත කඩා වැටී තිබේ. ජපානයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය දිනා ගැනීමේ අරමුණින් යවා ඇති මෙම මිසයිලය ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපතට ඈතින් මුහුදට වැටී ඇති බව වාර්තා වී තිබේ.

මෙය වසර 2017න් පසු උතුරු කොරියාව විසින් ජපානය ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රථම බැලැස්ටික් මිසයිලය ලෙස සැලකේ. උතුරු කොරියාවේ ‘මුප්යොන්ග් -රි’ ස්ථානයේ සිට යවා ඇති මෙම බැලැස්ටික් මිසයිලය ඉලක්කය වෙත විද විනාඩි 22කට පසු එය මුහුදට කඩා වැටී ඇත. මිසයිලය යවන ලද බව හෙළි වීමත් සමගම ජපානයේ ඇතැම් ප්‍රදේශවල වෙසෙන ජපන් ජාතිකයන්ට ප්‍රවේසම් වන ලෙසට ජපන් බලධාරීන් විසින් අනතුරු අඟවා තිබිණි. මේ අනුව උතුරු ජපානයේ හා හොකයිඩෝ දූපතේ ජනතාව නින්දෙන් අවදි කරවමින් සයිරන් නලා ශබ්ද කර ඇති බලධාරීන් වහාම ගොඩනැගිලිවල සිටින ජනතාව ඒවායින් ඉවත්ව ගොස් පොළොව යට සැඟවෙන ලෙසට පණිවිඩයක් නිකුත් කර තිබිණි. මිසයිලය ඉහළින් ගමන් කිරීම නිසා එහි සුන්බුන් කඩා වැටීමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ. කෙසේ වුවද කොරියානු බැලැස්ටික් මිසයිලය ජපානයේ ආර්ථික කලාපයට සැතපුම් 1864ක් දුරින් ශාන්තිකර සාගරයට කඩා වැටීම හේතුවෙන් එහි අනතුර පහව ගොස් තිබූ බව ජපන් බලධාරීන් විසින් පවසා තිබේ. ජපන් අගමැති ෆුමියෝ කිෂිඩා පවසා ඇත්තේ මෙම මිසයිලය යොමු කිරීමේ ක්‍රියාවලිය හරහා උතුරු කොරියාව හිංසාකාරී හැසිරීම් රටාවක් පෙන්නුම් කර ඇති බවයි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment