රජයේ පාසැල්වල සේවයෙහි නියුතු ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොට්ඨාස හා කලාප අධ්‍යාපන කාර්යාලවල සේවයෙහි නියුතු ගුරු උපදේශකවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා, සියලුම කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ පාසල් විදුහල්පතිවරුන්ට නිකුත් කළ චක්‍රලේඛයක් මගින් සිරිමෙවන් ධර්මසේන මහතා මේ බව දන්වා ඇත.
උතුරුමැද පළාතේ පාසල්වල සේවය කරන ඇතැම් ගුරුවරුන් තම පන්තියේ සහ විදුහල්පතිවරුන් තම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් මුදල් අයකර පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව සති අන්ත හා නිවාඩු දිනවල පෞද්ගලික උපකාරක පංති හා සම්මන්ත්රණ පවත්වන බවට තම අමාත්‍යාංශය වෙත නිරන්තරයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බව අමාත්‍යාංශ ලේකම්වරයා එකී චක්‍රලේඛය මගින් අවධාරණය කොට තිබේ.
එසේම ඇතැම් ගුරුවරුන්, විදුහල්පතිවරුන් පාසල තුළ ඉගැන්වීම් කටයුතු නිසි පරිදි සිදු නොකරන බවටත් තම පෞද්ගලික උපකාරක පංතිවලට හා සම්මන්ත්‍රණවලට සහභාගි නොවන දරුවන් තම පාසලේදී හා පංති කාමරයේදී නොසලකා හරිමින් විවිධ කායික, මානසික හිංසනයන්ට හා පීඩාවන්ට ලක්කරමින් සිටින බවත් වාර්තා වී ඇති බවත් එමගින් පෙන්වා දී ඇත. ඒ අනුව උතුරුමැද පළාතේ පාසල් දරුවන්ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල පෞද්ගලික උපකාරක පංති හා සම්මන්ත්රණ පැවැත්වීම සම්පුර්ණයෙන්ම තහනම් කරන බවත් එම චක්‍රලේඛයේ සඳහන්ය. එකී චක්‍රලේඛයේ උපදෙස් අනුව කටයුතු නොකරන ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකවරුන්ට එරෙහිව විනයානුකුලව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින් නිකුත් කළ එම චක්රලේඛයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු