ශ්‍රී ලංකාව දූපතක් නිසා රට වටා ඇති මුහුදේ ධීවරයන් සිය කර්මාන්තය කරගෙන ගියේ ස්වාභාවික සමුද්‍ර පරිසර පද්ධතිය හා බද්ධ වෙමින් එහි තිරසාර පැවැත්මද තහවුරු කරමිනි. කෙසේවෙතත් ස්වාභාවික සමුද්‍ර පරිසරය කෘතිමව වෙනස් කරමින් ශ්‍රී ලංකාවට මුහුදු කූඩැල්ලන් වගාව හඳුන්වා දුන්නේ චීනය විසිනි. එවැනි ව්‍යාපෘතියක් මෙරටට හඳුන්වා දීම තුළින් චීනය තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට උත්සාහ කරන බවට වන නිගමනය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය.
ලෝකයේ ඉහළම දක්‍ෂතාවලින් හෙබි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අභිලාෂයක් චීනය සතුව ඇති බව නොරහසකි. මුහුදු කූඩැල්ලන් යනු ක්‍රීඩකයන්ගේ පිහිනුම් කාලය වැඩි දියුණු කිරීම, පෙර පාද ග්‍රහණය වැඩි කිරීම, පරිවෘත්තීය ක්‍රියාවලිය කෘත්‍රිමව වෙනස් කිරීම, මාංශ පේශි තුවාල සුව කිරීම, මාංශ පේශි ග්ලයිකෝජන් සහ බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රසිද්ධ ආහාරයකි.
මුහුදු කූඩැල්ලන් වාණිජමය වශයෙන් ලබා ගත හැකි ඉහළම වටිනාකමින් යුත් මුහුදු ආහාර අතර ප්‍රධාන තැනක් ගනී. මුහුදු කූඩැල්ලන් චීනය සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල ප්‍රචලිත ආහාරයක් ලෙස භාවිත කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. ඒවායේ ඇති ඖෂධීය ගුණය ද ඉතා ඉහළ වේ. එබැවින් චීනයේ අභිලාෂයන් සපුරා ගැනීමට කටයුතු කරමින් මුහුදු කූඩැල්ලන් වගා කිරීම හේතුවෙන් මෙරට ධීවර කර්මාන්තයට, සමුද්‍ර පරිසර පද්ධතියට බලපෑමක් සිදු වන්නේ නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධාරණයක් යොමු කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි.
මුහුදු කූඩැල්ලන් වගා කිරීම පසුගිය දශක කිහිපය තුළ කෙමෙන් ව්‍යාප්ත වී, 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකාව මුහුදු කූඩැල්ලන් ටොන් 336ක් පමණ චීනයට අපනයනය කරන තරමට මෙය ව්‍යාපාරයක් ලෙස වර්ධනය වී තිබේ. එහෙත් ගැටලුව වන්නේ විදේශ විනිමය උපයන මුවාවෙන් චීන ආයෝජකයන් විසින් සමස්ත උතුරු පළාතේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට කණකොකා හඬවන තැනට පත්කරමින් තිබීමයි. චීන හවුල් ව්‍යාපාර සමාගමක් වන ගුයි ලං පුද්ගලික සමාගම විසින් යාපනයේ වෙරළබඩ ගම්මානයක් වන අරියාලෙයි හි 2016 තරම් ඈත කාලයක සිටම කෘත්‍රිම අභිජනන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. මේ වන විට තවත් චීන ආයෝජකයන් කිහිප දෙනකුම ධීවර අමාත්‍යාංශය හරහා උතුරට පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ දේශගුණය මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය සඳහා බෙහෙවින් යෝග්‍ය වන නමුත් මහා පරිමාණ නිෂ්පාදනයක් සිදු කළහොත් දේශීය සාගර පරිසර පද්ධතියට වන හානිය ඇස්තමේන්තු කළ නොහැකිය.
චීන සමාගම් තම මුහුදු කලාපයේ ධීවර කර්මාන්තයට පිවිසීම නිසා තම සාම්ප්‍රදායික ජීවනෝපායට සහ ප්‍රදේශයේ පාරිසරික තුලනයට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් උතුරු අර්ධද්වීපයේ ධීවරයන් සිය කනස්සල්ල පළකරමින් සිටියි. දසක ගණනාවක් යුද්ධය හේතුවෙන් නිසි ලෙස ධීවර කර්මාන්තයේ නියැළීමට නොහැකි වූ තමන්ට විදේශ ආයෝජන නාමයෙන් චීන සමාගම් හරහා සිදු වන මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය කරන ගොවිපළවල් හරහා අර්ධද්වීපයේ ධීවරයන්ට ප්‍රයෝජනයට වඩා හානියක් ගෙන දෙන බව යාපනය ධීවර සම්මේලනයේ සභාපතිවරයා පවසා තිබුණි.
උතුරු අර්ධද්වීපය කේන්ද්‍ර කරගෙන චීන සමාගමක් විසින් මීට වසර පහකට පමණ පෙර මුහුදු කූඩැල්ලන් අභිජනනාගාරයක් ආරම්භ කර තිබූ අතර මේ වන විට උතුරේ ධීවරයන් 600 කට අධික පිරිසක් යාපනය සහ කිලිනොච්චිය වෙරළ තීරයේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතීන් සඳහා සම්බන්ධ වී ඇති බවට වාර්තා වේ.
මෙලෙස ධීවරයන් පිරිසකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ කොටු සැකසීමට අවසර දීම හේතුවෙන් ධිවර කටයුතු සඳහා සිය බෝට්ටු රැගෙන යන මාර්ග අවහිර වී ඇතැයි කිරංචි ධීවර වරාය අසල ධීවරයන් පිරිසක් උපවාසයක් ද ආරම්භ කර තිබුණි. උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පුංගුඩුතිව් හි චීන සමාගම් තම මුහුදු කලාපයේ ධීවර කර්මාන්තයට පිවිසීම නිසා පාරිසරික තුලනයට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් උතුරු අර්ධද්වීපයේ ධීවරයන් සිය කනස්සල්ල පළකරමින් සිටියි.
යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි පුංගුඩුතිව් හි මුහුදු කූඩැල්ලන් ගොවිපළක් සඳහා චීන සමාගමක් ආයෝජනය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබූ අතර එය සාම්ප්‍රදායික ජීවන වෘත්තියෙහි නියැළෙන ධීවරයන්ගේ ජීවනෝපායට, සමුද්‍ර පරිසර පද්ධතියට සහ වෙරළ තීරයට අහිතකර ලෙසට බලපෑම් එල්ල කළ හැකි බවට ධීවරයෝ චෝදනා කර සිටිති. මෙවැනි ව්‍යාපෘති සෑම අවස්ථාවකදීම වාණිජ පරමාර්ථයෙන් සිදු කරන ව්‍යාපෘති බැවින් සාමාන්‍ය ධීවරයන්ට ඉන් සෙතක් සිදු නොවන බව යාපනය ධීවර සම්මේලනයේ සභාපතිවරයා පවසා තිබුණි. මෙම නොගැඹුරු මුහුදු තීරයේ සාම්ප්‍රදායික ක්‍රම හරහා, පරිසර හිතකාමී ලෙසට ජීවන වෘත්තියෙහි නියැළෙන ධීවරයන් මෙම මුහුදු කූඩැල්ලන් අභිජනන ව්‍යාපෘතිය ඉතා අහිතකර ලෙසට බලපෑම් එල්ල කළ හැකි බවට එම ධීවරයන්ගේ මතය වේ.
2021 වසරේ ශ්‍රී ලංකාව සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමෙන් පසු උතුරු හා නැගෙනහිර පළාත් වල යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල අක්කර 5,000ක් පුරා විහිදෙන මහා පරිමාණ වාණිජමය වශයෙන් මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වූ යෝජනාවක් පසුගිය වසරේ ජුනි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම යෝජනාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ඉදිරිපත් කර තිබූ අතර ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ උතුරු පළාත විශේෂයෙන් සාම්ප්‍රදායිකව සහ ඓතිහාසිකව ඉන්දියාව සමග පවත්වාගෙන යනු ලබන්නේ වෙන්කළ නොහැකි අන්‍යොන්‍ය සම්බන්ධතාවකි. උතුරු පළාතේ ජන ජීවිතයේ රිද්මය වඩාත් සුමට කරන්නේ ඉන්දියානු ආභාසය මගිනි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන ව්‍යාපෘති සඳහා චීන සමාගම් සම්බන්ධ කර ගැනීම ඉන්දියාවේ ආරක්ෂක අභිලාෂයන් බලපෑම් එල්ල කරන ආකාරය විද්වතුන්ගේ අවධාරණයට ලක්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් සහ ස්වෛරීභාවය සඳහා විදේශ රටවල මැදිහත්වීම් ඇති කරන්නක් බවටද දේශපාලන විචාරකයන්ගේ මතයයි.
මෑතකදී හින්දු පුවත්පත සිදු කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසා තිබුණේ තමා වසර ගණනක් තිස්සේ ඉන්දියාවෙන් සහය ඉල්ලා සිටියත් ඊට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් චීන සමාගම් වෙත යොමු වීමට සිදු වූ බවයි. කෙසේවෙතත් අමාත්‍යවරයා හින්දු පුවත්පතට පවසා තිබුණේ මෙම ව්‍යාපෘති හරහා ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට කිසිදු තර්ජනයක් ඇති වීමට ඉඩ නොදෙන බවයි. හින්දු පුවත්පත විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳ තොරතුරු නොදන්නා බවත් එය වාණිජ පදනමක් මත කටයුතු කරන පුද්ගලික සමාගමක් විය හැකි බවය.
ජනක හේවාවසම්