උතුරේ යුද ජයග්‍රහණය වෙනුවෙන් ඉදිකළ ගංගොඩවිල විජයාරාමය

44

ඓතිහාසිකව ගත් කල ලංකාව නිරන්තරයෙන්ම විදේශ ආක‍්‍රමණයන්ට නතු වූ රටකි. දෙමළ ආක‍්‍රමණ සහ යුරෝපීය ආක‍්‍රමණ එහිදී විශේෂ වේ. ඉන්දියාවේ පහළ කොටසට ඔබ්බෙන් පිහිටි මුතු ඇටයක් බඳු පුංචි දූපතකට මේ වටිනාකම ලැබුණේ එහි පවතින සුවිශේෂි සම්පත් නිසාවෙනි. සොලී ආක‍්‍රමණවල හේතුවක් වශයෙන් කලක් ලංකාවේ උතුරු ප‍්‍රදේශ යටත් කරගෙන තිබුණි. නමුත් සිංහල නරපතියන්ගේ ඉදිරිපත්වීම මත ඔවුන් පලවා හරින්නට යෙදින. දොළොස්වන සියවසෙන් පසු උතුර ආර්ය චක‍්‍රවර්තී පාලනයට යටත් විය. එයට හේතුව සිංහල රාජ්‍යය ක‍්‍රමයෙන් දුර්වල බවට පත් වීමයි. ආර්ය චක‍්‍රවර්තීවරු ද්‍රවිඩයන් නොවේ. ඔවුහු කාලිංග සහ ගංගා වංශික සම්භවයක් සහිතව මෙරට පාලනයට අයිතිවාසිකම් කියූ රජ පෙළපතකි. මේ පිරිස විදේශවල සිට පැමිණීම නිසා ඔවුන්ගේ හමුදාවල දෙමළ කන්නඩි ජාවක සෙබළ බලමුළු වූහ. මේ නිසා ලංකාවේදී මේ සේනාවලින් සිංහල නරපතියන්ට වූ ගැහැට සුළු පටු නොවීය. කෝට්ටේ යුගයේදී නිශ්ශංක අලකේශ්වරයන් දියවන්නාව පසුබිම් කොටගෙන ජයවර්ධනපුර බලකොටුව බිහි කරනුයේ මේ ආර්ය චක‍්‍රවර්තීවරුන්ට මුහුණදීමටයි. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ සයවන පරාක‍්‍රමබාහු නම් ශක්තිමත් සිංහල පාලකයෙකු කෝට්ටේ පසුබිම් කරගෙන බිහි වීමයි. ඔහු විසින් ඇති දැඩි කළ සපුමල් කුමරු සහ අම්බුලූ ගල නම් කුමරුන් දෙදෙනෙකු ගැන ඉතිහාසයේ දැක්වේ. තමන්ගේ බිසව වූ ස්වර්ණමාණික්‍ය කීරවැල්ල කුමරියගේ සහෝදරිය වූ සුභද්‍රා කීරවැල්ලේ කුමරියක් මේ කුමරුන්ගේ මව වූයේය. මේ නිසා රාජ්‍ය උරුමයක් ද ඔවුන්ට තිබුණි. මේ කාලයේ උතුරේ පාලනය හෙබ වූයේ ගුණවීර සිංහ ආර්යන් නම් ආර්ය චක‍්‍රවර්තී පාලකයාය. ඔහු පරාජයට පත් කොට නැවත රට එක්සේසත් කිරීම රජුගේ අරමුණ විය. මේ සඳහා පිටත් කර යැවීමට සුදුසුතම පුද්ගලයා වූයේ සපුමල් කුමරුය. ඉතිහාසයේ සඳහන් වන පරිදි සපුමල් කුමරු උතුරට ගිය මුල් ගමනේදී එම වෑයම අසාර්ථක විය. පසුව විවිධ සේනා බල ගන්වා විශේෂයෙන්ම අසුන් ඇතුන් ගවයන් ඇතුළු සත්ව සේනා පෙරටු කොටගෙන සටනට පිටත්ව ගිය බව පැවසෙයි. මේ සටනට සයවන පරාක‍්‍රමබාහු රජුගේ දෙවනි බිසව වූ කීරවැල්ලේ මිහිරි දේවියගේ පුත් වූ ශ‍්‍රී වර්ධන කුමරුද එක් විය. සටන ජයගත් සපුමල් කුමරු දිග් විජය කොට ආර්ය චක‍්‍රවර්තී රජු මරා අඹුදරුවන් ආදී කොට ගත් පිරිස ගෙනත් කෝට්ටේට භාර දුන් බව රාජාවලිය වාර්තා කරයි. යුද්දයෙන් පසුව සේනානායක සපුමල් කුමරු වශයෙන් ප‍්‍රසිද්ධ වූ ඔහු ක‍්‍රි.ව. 1469 දක්වා උතුරුකරයේ පාලකයා වූයේය.

උතුරේ යුද ජයග්‍රහණය වෙනුවෙන් ඉදිකළ ගංගොඩවිල විජයාරාමය

මේ ජයග‍්‍රහණයෙන් පසු මේ සටනේදී පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලාගේ වුවමනාව වූයේ ඒ ජයග‍්‍රහණය සමරා විහාරස්ථානයක් ඉදි කරලීමයි. ඒ සඳහා සුදුසුම තැන වශයෙන් කෝට්ටේ ගංගොඩවිල පෙදෙස තෝරා ගැනුණි. ගංගොඩවිල යනු විශාල විලකින් සමන්විත පැරණි ගම් දනව්වක් විය. ඒ විල දැන් දක්නට නැතත් එහි යම් කිසි කොටස් කීපයක් උඩහමුල්ල පෙදෙසේ දක්නට ලැබේ. වර්තමාන 119 බස් මාර්ගය ගමන් කරනුයේ වැවේ බැම්ම හරහාය. මේ මාර්ගය අසබඩ තිබෙන ජිනරතනාරාමයේ නොහොත් පැරණි වැලිපිල්ලෑව පන්සලේ පවතින විල පැරණි වැවේ එක් අන්තයක කොටසකි.

අනෙක් කොටස උඩහමුල්ල ඩිපෝව ආසන්යේ තිබී මෑතකදී ගොඩ කරනු ලැබීය. හොරොව්වත්ත වැවේගෙදර දියකඩහේන ආදී නම්වලින් පැරණි ඔප්පුවල දක්වා ඇත්තේ මේ වැවේ පසුබිමයි. මේ පෙදෙසේ ඉඩම් කෝට්ටේ රජමහා විහාරය සතු වූ බවද පැවසේ. සුදුමල් බණ්ඩාර නොහොත් ශ‍්‍රී වර්ධන ප‍්‍රතිරාජයන් සුදු අසෙකු පිට නැගී මේ පෙදෙසේ සැරි සැරූ බව පැරණියන් මතකයට නගාගෙන කියති.

උතුරේ යුද ජයග්‍රහණය වෙනුවෙන් ඉදිකළ ගංගොඩවිල විජයාරාමය

ගංගොඩවිල අසල ගොඩබිම නාවිමන ලෙසින්ද හැඳුන්වුණි. නායක විමන යනු එහි අදහසයි. විසල් වනයකින් හෙබි නොයෙකුත් තුරුලතා මල් ගොමුවලින් යුක්ත වූ නාවිමන දැන් හඳුන්වන්නේ නාවින්න යනුවෙනි. එකල එය කඳු ගැටයකි. සැප වාසයට සුදුසු පෙදෙසකි. යටකී යුද සැමරුම් විහාරස්ථානය ඉදි කිරීමට සැලසුම් කරන ලද්දේ මේ ප‍්‍රදේශය තුළයි. උතුරුකර යුද්දය ජය ගැනීමට අනුශාසනා කළ සහයෝගයක් වශයෙන් සේනා බලමුළු සමග පිටත්ව ගිය භික්ෂූන් වහන්සේලා කීප නමක් මේ වන විට සිවුරු හැර තිබුණි. එම අයගේ මූලිකත්වයෙන් සහ ශ‍්‍රී වර්ධන කුමරුන්ගේ නායකත්වයෙන් ගංගොඩවිල විහාරස්ථානය ඉදි කරනු ලැබීය. විජයාරාමය වශයෙන් නම් කරන ලද්දේ යුද විජයග‍්‍රහණය සැමරීම සඳහාය. විජයාරාමයේ අද දක්නට ලැබෙන වටදාගෙය සහිත කුඩා ප‍්‍රමාණයේ ස්ථූපය සහ කැටයම් සහිත ගල්වැඩ ඒ පැරණි රජමහා විහාරයේ නටබුන්ය. විශාල කබොක් ගල්ද ගල්කණුද විහාර භූමියේ නොමදව දක්නට හැකිය. අනුරාධපුරයේ දුටුගැමුණු රජු විසින් ඉදි කළ මහා ථූපය මෙන් විශාලත්වයෙන් අනූන ස්ථූපයක් නොවුණත් විජයාරාම ස්ථූපය ද අපට ඉතා වැදගත් වන්නේ එකම අරමුණක් වෙනුවෙන් ඉදි කළ නිසාය. විදේශ සතුරන් දිග්විජය කොට පසුව ධර්මවිජය ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීම ධර්මාශෝක මහරජතුමාගෙන් ඉගෙන ගත් සත් ධර්මයකි. යුද්දයකින් පසුව ඇතිවන ප‍්‍රචණ්ඩත්වය සමනය කර සංහිඳියාව ජනිත කිරීම උදෙසා බුදු දහම ආශ‍්‍රයෙන් ගොඩනැගෙන පසුබිම ඉතා වැදගත්ය. වර්තමානයේ සඳහිරු සෑය ඉදි වන්නේ ද ඒ අරමුණ වෙනුවෙන්මය.

දෙමළ ආක‍්‍රමණිකයන් නොයෙකුත් කාලවකවානු වලදී විවිධ වේශයෙන් ලංකාව තුළට පැමිණෙති. වර්තමානයේ සිදු වූයේ ඉංග‍්‍රීසීන්ගේ සහ ඇමරිකන් මිෂනාරීන්ගේ වුවමනාවට ලංකාවට ගෙනවුත් පදිංචි කරන ලද දෙමළ වැසියන්ගෙන් එල්ල වූ ප‍්‍රහාරයකි. එම ආක‍්‍රමණයන් පරාජයට පත් කිරීමද සිංහල නරපතියන්ගේ යුතුකමකි. ඒ යුතුකම පසුගිය කාලයේදී ඉටු වී තිබේ. එහිදී ඒ සටන් අවතක්සේරු කිරීමවත් හෑල්ලූ කොට කතා කිරීමවත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතන කිසිවකුගේ යුතුකමක් නොවේ.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment