උදර ආර්ථිකය

848

මෙයට අවුරුදු මිලියන ගණනාවකට පෙර ජීවයේ සූපය තුළ (The soup of life – ලොව මුල්ම ජීවය බිහිවීමට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ජලාශ) ලොව මුල්ම ඒක ෙසෙලීය ජීවීන් බිහිවීමෙන් අනතුරුව උරගයන් බවට පත්වූ මත්ස්‍යයන් පහළවීම සිදු වූ බව විශ්වාස කෙරේ. මාළුවා යනු ඈත අතීතයේ එක්තරා දවසක උදය වරුවේ සේල වැනි වරල් සලමින් වර්ණවත් සිරුරු සලිත කරමින් ගෙඩිය පිටින්ම එකවර පහළ වූ සතෙක් නොවේ. මූලික මත්ස්‍යයා මෙයට වසර මිලියන 550කට පෙර පහළවූ මස් වැදැල්ලක් වැනි සතෙකි. ඌට ඇස් තිබුණේ නැත. මේ මස් වැදැල්ලේ පොසිල විමසන නූතන විද්‍යාඥයන්ට බරපතළ ප‍්‍රශ්නයක් ඇති විය. එය වූකලී මුලින්ම බිහිවූයේ මත්ස්‍යයාගේ කට ද නැත්නම් බඩ ද යන කාරණයයි. කට තිබුණත් බඩ නැත්නම් වැඩක් නැත. බඩ තිබුණත් කට නැත්නම් වැඩක් නැත. ජීවය රැකෙන්නේ මේ දෙක අතර තිබෙන අන්‍යොන්‍ය සම්බන්ධය මතය. මේ පිළිබඳ විමසිල්ලෙන් මත්ස්‍ය පොසිල පරීක්ෂා කරන ඉතිහාසඥයන්ට බඩ පමණක් ඇති කට නැති මත්ස්‍ය පොසිල රැසක් හමුවිය. එම මත්ස්‍යයන් ආහාර අවශෝෂණය කරගෙන තිබුණේ උදරයේ වූ කුඩා සිදුරු මගින් කෙළින්ම ආමාශයටය. මේ අනුව මත්ස්‍යයා මුලින්ම බිහිවන විට ඒකාට තිබුණේ බඩ පමණක් ය යන ස්ථාවරයට පිවිසෙන්නට පුරාවිද්‍යාඥයන්ට සිදුවිය. අප මේ කුඩා උදාහරණයෙන් පෙන්වන්නට උත්සාහ කරන්නේ උදරය සමග ජීව ලෝකයට ඇති සම්බන්ධය කොතරම් පැරණි ද යන්නය. අර කවුදෝ වරක් කීවා මෙන් මනුස්සයා හැම දෙයක්ම කරන්නේ බත් ටිකක් කන්නය. කෙනකු රජ උනත් කුස පිරවීම අවශ්‍ය ය. හිඟන්නකු වුවත් ඒ සන්තෑසිය එසේමය.

ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතු බවට ප‍්‍රගතිශීලී මතයක් පවතී. මේ මතය පතුරුවන සෑම ප‍්‍රගතිශීලියෙක්ම තුන් වේලම කෑම කයි. කෑම ඉවීමට ගෑස් පාවිච්චි කරයි. පාන් පිටි, සහල්, සීනි, කිරි පිටි යනාදිය මිලට ගනී. එක්කෝ තෙල් ගහගෙන වාහනවල යයි. නැත්නම් වෙන කෙනෙක් තෙල් ගහන වාහනයක මුදලට හෝ නොමිලේ යයි. බඩ ගැන සිතන ගමන්ම රට ගැනත් නොසිතුවොත් අනාගතය ගැන නොසිතා බඩ ගැන පමණක් සිතා අප කටයුතු කළේ යැයි අනාගත පරපුර සාප කරනු ඇති බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් පා. ම. සාගර කාරියවසම් සඳහන් කර තිබේ. සාගර කාරියවසම් පසුගිය දිනවල දේශපාලන බෝම්බ කිහිපයක්ම අතහැර මාධ්‍යවලින් සෑහෙන තරමට ගුටි කෑවේය. මේ මොහොතේදී මාධ්‍ය බලා සිටින්නේ සාගර කාරියවසම්ට ගුටි දීම පිණිස ඔහු කට අරින තුරුය. මාධ්‍යවලින් ගුටි කෑමෙන් කිසිසේත්ම සසල නොවූ සාගර යහපත් අනාගත දේශපාලනඥයකුගේ චරිතය නිරූපනය කරමින් නිහඬව සිටියේය. ඔහු කියන කියන දේ අල්ලාගෙන පහරදීමට මේ පුවත්පතට ද අදහසක් හෝ අරමුණක් නැත. කෙසේ හෝ වේවා ආර්ථිකය සහ උදරය අතර පවතින බැම්ම පිළිබඳ කිසියම් අර්ථකථනයක් කිරීමට නිමිත්තක් ලෙස සාගර ගේ ප‍්‍රකාශය පාවිච්චි කිරීමට අපි තීරණය කළෙමු.

සමහර මිනිස්සු ජීවත්වීමට ආහාර ගනිති. තවත් සමහරු ආහාර ගැනීමට ජීවත් වෙති. ඉහත සඳහන් වාක්‍ය දෙක ඉතිහාසය පුරාම ප‍්‍රතිරාව දුන් ඒවාය. මෙහි අවසන් විග‍්‍රහය වන්නේ ආහාර නිසා මිනිසුන් ජීවත් වන බවය. බඩ ගැනම සිතීම යනුවෙන් අදහස් කරන්නේ ආහාර, ප‍්‍රවාහනය, වාසස්ථාන, ඇඳුම් පැළඳුම් යනාදිය කෙරෙහි මිනිසුන් තුළ ඇති ආසක්තභාවය ය. එසේ නැතුව කන එක පමණක් ගැන සිතීම බඩ ගැන සිතීම නොවේ. අපේ බඩට බලපාන ප‍්‍රධාන සාධක පාලනය කරනු ලබන්නේ ලෝක ආර්ථිකය විසිනි. ශ‍්‍රී ලංකාව යනු කිසිදු ලෙසකින් ස්වයං පෝෂිත රාජ්‍යයක් නොවේ. ඩඞ්ලි සිරිසේන හාල් මිල නංවන විට ඔහුට ගේමක් දීම පිණිස ආණ්ඩුව සහල් ටොන් 150,000 ඕඩර් කරන්නේ ලෝක ආර්ථිකයේ ක‍්‍රියාශීලී බාහුව වන ලෝක වෙළෙඳපොළෙනි. ගේ හැදීමට අවැසි සිමෙන්ති නිපදවන ඇතැම් අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටවලිනි. සිමෙන්ති බෑග් එකේ කඩදාසි ටික ගේන්නේ ද පිටරටවලිනි. ඇතැම් විට බිත්තර හා කුකුළු මස්ද වෙනත් මාංශ වර්ගද මාළු හා කරවල ද පිටරටවලින් මෙරටට ගෙන්වන අවස්ථා තිබේ. උදාහරණයක් වශයෙන් ඔබ මාළු මාර්කට් එක ළඟට ගියොත් කොස් කඳන් වැනි ශීත කළ තලපත් කඳන් ලොරිවලින් බාන හැටි දැක ගැනීමට පුළුවන. මේවා එන්නේ මැලේසියාවෙනි. මේ රට ස්වයං පෝෂණය කිරීමට 1970 දී බලයට පත්වූ සමගි පෙරමුණ ආණ්ඩුව හැර සෙසු කිසිදු ආණ්ඩුවක් ඉඩදී නැත. සමගි පෙරමුණු ආණ්ඩුව මේ රටේ වගාව ප‍්‍රවර්ධනය කිරීම පිණිස 1971 න් පසු වගා සංග‍්‍රාමයක් පටන් ගත්තේය. එහිදී ඇතැම් දිනවල බත් ඉවීම හෝටල්වලට තහනම් කරන ලදී. රට වැසියන් බත් කෑම සීමා කරනු පිණිසත් මඤ්ඤොක්කා, බතල සහ එළවළු වර්ග වවාගෙන කෑමට දිරිදෙනු පිණිසත් සහල් සලාක ක‍්‍රමයත් ඇති කරන ලදී. මේ වගා සංග‍්‍රාමයට මුලදී මේ රටේ ජනයා කැමැත්ත පළ කළහ. එහෙත් මේ කැමැත්ත වැඩිදුර අල්ලාගෙන සිටීමට මිනිසුන්ගේ කට සහ බඩ ඉඩදුන්නේ නැත. ඒ අතර සමගි පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරු තුන්වේලම බත් ගිලිමින් තානායම් තුළ සම්මුඛ පරීක්ෂණ පවත්වා තරුණියන්ට ගුරු පත්වීම් දෙන බවට ආරංචි පැතිර ගියේය. මෙයින් කෝපයට පත් ජනතාව වගා සංග‍්‍රාමයට සහ ආණ්ඩුවට බම්බු ගහගන්න යයි කියා ඊළඟ ඡන්දයේදී ආණ්ඩුව පරදවා ජේ. ආර්. ජයග‍්‍රහණය කරවා ස්වයං පෝෂණය වීම පැත්තක තැබුවේය. එහෙත් අපට සමගාමීව එදා වගා සංග‍්‍රාම පටන්ගත් වියට්නාමය සහ තායිලන්තය අද ස්වයං පෝෂණය වී ඇත. ඉන්දියාව ගැන මෙහිදී සඳහන් නොකරන්නේ ඒ රට අප දන්නා කාලයේ සිටම උදර පෝෂණය වෙනුවෙන් වගා සංග‍්‍රාමයේ නිරත වූ රටක් බැවිනි. අද වනවිට ශ‍්‍රී ලංකාව තවදුරටත් කෘෂිකාර්මික රාජ්‍යයක් නොවේ. ඒ නිසා බඩු පිටරටින් ගෙන්වන විට ජීවන වියදම ඉහළය. මිනිසුන් ඡන්දය දී ආණ්ඩුවක් පත්කර ගන්නේ ජීවන වියදම පහළ දමා ගැනීමටත් එක්කය. උදර ආර්ථික සංකල්පය පිළිබඳ අප මේ ටික කියන්නේ ආණ්ඩුව සමග තරහට නොව හොඳට ය.

advertistmentadvertistment
advertistmentadvertistment