ඇඹිලිපිටියේදී ග්‍රීස් යකාටත් ඇඳලා

පස් වළේ අයිතිය ගන්න මන්න රොෂාන්ටත් වෙඩි තියලා

වජිර නිශාන්තගෙන් පළි ගන්න වාහන අලෙවි හලටත් ගිනි තියලා

හංවැල්ල නගරයේ බස් නැවතුම්පොළේ ඔබමොබ සැරිසරමින් සිටින කෙසඟ සිරුරක් ඇති තරුණයා දෙස වජිර නිශාන්තගේ දෑස් යොමු වී තිබුණේය. පෞද්ගලික බස් රියැදුරන් අසලට ගොස් ඔවුන් ඉදිරියේ බැගෑපත්වන අයුරු දුටු වජිර නිශාන්තගේ සිතට දැනුණේ සියුම් කනගාටුවකි. වජිර මේ කෙසඟ සිරුරක් ඇති තරුණයාට කතා කළේය.

“මං කීප දවසක්ම බලාගෙන හිටියෙ. මල්ලි මෙතැන ඩ්‍රයිවර්ස්ලා ළඟ දෙකට නැමි නැමී ටෙම්පරි ඉල්ලනවා. මල්ලිට ස්ථිර රස්සාවක් නැද්ද?”

වජිර කෙසඟ තරුණයාගෙන් විමසුවේය.

“අනේ නෑ අයියෙ මං දවසක් දෙකක් මේ බස්වල කොන්දොස්තර වැඩේ කළා. ඒත් එයාලා මට හැමදාම ජොබ් එක දෙන්නෙ නැහැ. මං අමාරුවෙන් ජීවත් වෙන්නෙ. අයියට බුදුබව අත්වෙයි පුළුවන් නම් මට රස්සාවක් දෙන්න” කෙසඟ තරුණයා වජිර ඉදිරියේ බැගෑපත් වුණේය. ඒ වනවිට වජිරගේ සිතේ මේ තරුණයා කෙරෙහි ඇති වී තිබුණේ දැඩි අනුකම්පාවකි. “හරි මල්ලි, තමුසෙ හෙට ඉඳලා මගේ බස් එකක කොන්දොස්තර ජොබ් එකට එනවා. හැබැයි අවංකව වැඩ කරන්න ඕනෙ. එහෙම වුණොත් තමයි මගේ ළඟ ඉන්න පුළුවන් වෙන්නෙ” වජිර කෙසඟ තරුණයා තමන්ට අයත් බස් රථයක කොන්දොස්තර රස්සාවට ගන්නේ ඔහු කෙරෙහි උපන් අනුකම්පාව නිසාම ය.

උදවු කෙරූ ව්‍යාපාරිකයාත් මරා දැමූ ඩුබායි පාතාලයා ලලිත්

එදා වජිර ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් රැකියාවක් ඉල්ලාගත් ඒ කෙසඟ තරුණයා වෙන කවරකුවත් නොව, මේ වනවිට පාතාල ලෝකයේ දරුණු අපරාධකාරයකු බවට පත්ව සිටින ලලිත් කන්නන්ගරය.

වජිර නිශාන්තට අයත් බස් රථයක කොන්දොස්තර රස්සාව ලබාගත් ලලිත් කන්නන්ගර කාලයක් තිස්සේ ඒ රැකියාව කරගෙන ගියේය.

වජිර නිශාන්ත යනු ඉතාම හොඳ ගුණයහපත් ගති ඇති ව්‍යාපාරිකයෙකි. හංවැල්ල නෙළුවන්තුඩුවේ පදිංචිකරුවකු වූ වජිර දෙදරු පියෙකි. බස් රථ හය හතකම හිමිකරුවකු වූ ඔහු හංවැල්ලේ කා අතරත් ජනප්‍රිය චරිතයකි. බස් රථ ප්‍රවාහන කර්මාන්තයට අමතරව වාහන අලෙවි සැලක් මෙන්ම වාහන අමතර කොටස් අලෙවිය ද කරගෙන ගිය වජිර සෑහෙන වත්පොහොසත්කම් ඇති ව්‍යාපාරිකයකු විය.

හංවැල්ල බස් නැවතුම්පොළේ වැලේ වැල් නැතිව සිටි ලලිත් කන්නන්ගරට රැකියාවක් ලබාදී ඔහුට ආදායම් මාර්ගයක් සලසා දුන්නේ කිසියම් දිනක යහපත් මනුස්සයකු වනු ඇතැයි සිතාගෙනය.

“මල්ලි උඹට නතර වෙන්න තැනකුත් නෑ නේද? ඒ නිසා අපේ ගෙදර නැවතිලා රස්සාව කරපං උඹ මගේ ළඟ හොඳට හිටියොත් උඹේ අනාගතේ හොඳවෙයි…”

වජිර නිශාන්ත මේ නාඳුනන පුද්ගලයාව සිය නිවසේ නවාතැන් ලබාදෙන්නට පවා කටයුතු කළේ ඔහු කිසියම් දිනක යහපත් පුද්ගලයකු වනු ඇතැයි සිතාගෙනය.

එහෙත් ලලිත් කන්නන්ගර යනු තිරිසනකු බව වජිර නිශාන්ත සිහිනයකින් හෝ සිතුවේ නැත. හංවැල්ලට එනවිටත් මේ තිරිසනා අසමජ්ජාති වැඩ කීපයක්ම කර තිබුණේය. වජිර ඒ කිසිවක් දැන සිටියේ නැත.

● ගමට ම පිළිලයක් වූ ලලිත්

ලලිත් කන්නන්ගර උපන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ බොහොම දුෂ්කර ගමකය. හරිහමන් අධ්‍යාපනයක් නොලැබූ නිසාම හොඳ රැකියාවක් කරන්නට ඔහුට අවකාශ තිබුණේ නැත. ගමේ නන්නත්තාර වූ තරුණයන්ගේ නාමලේඛනයේ ඉහළින්ම සිය ලලිත් කාන්තා ලෝලියකු ද වූවේය. හංවැල්ලට එන්න පෙර ඇඹිලිපිටියේ නොයෙකුත් විෂමාචාර ක්‍රියාවල නිරත වූ ලලිත් කන්නන්ගර ගමට ම එපා වූ චරිතයක් විය.

ලලිත් කන්නන්ගර පදිංචිව සිටි ග්‍රාමය ග්‍රීස් යකකුගේ භීතිකාවකින් සලිත වී ගොස් තිබූ කාලයක් පැවැතිණි. රූමත් කාන්තාවන් ස්නානය කරන ස්ථානවල මෙන්ම රාත්‍රි කාලයේ කාන්තාවන් නිදා සිටින කාමරවලට පැන ඔවුන්ට අතවර කරන ග්‍රීස් යකෙකු නිසා ලලිත් පදිංචිව සිටි ග්‍රාමය මහා ව්‍යසනයකින් වෙළී තිබුණේය.

ගමේ මිනිසුන් එකතු වී මේ ග්‍රීස් යකා අල්ලා ගැනීමට සැලසුමක් සකස් කළෝය. වැඩි දවසක් යන්නට පෙර ග්‍රීස් යකා අල්ලා ගන්නට ගම්වාසීන්ට හැකි විය. මුළු ගමම භීතියට පත් කරගෙන සිටි මේ ග්‍රීස් යකා වෙනකවරකුවත් නොව, ලලිත් කන්නන්ගර බව හෙළිවන්නේ ඉන්පසුවය.

එදා ගම්වාසීන්ගෙන් බඩකට පුරා පහර කෑ ලලිත් කන්නන්ගර උපන් ගමද අතහැර දමා හංවැල්ලට පලා එන්නේ තවදුරටත් ඒ ගමේ ජීවත්වීමට තරම් වාතාවරණයක් නොතිබූ නිසාය. ලලිත්ගේ පවුලේ සාමාජිකයන්ටද අවසානයේ මේ ගම අත්හැර දා යන්නට සිදුවන්නේ මේ සිදුවීම් නිසාය.

ලලිත් කන්නන්ගරගේ මේ කෙරුවාවන් ගැන නොදත් වජිර නිශාන්ත ඔහුට රැකියාවක් ලබාදුන්නා පමණක් නොව, ඔහු සිය නිවසේ නතර කරගෙන කන්න බොන්න අඳින්න දී ඔහුට රැකවරණය ලබාදෙන්නට පවා ඉදිරිපත් වුණේ ඔහු තුළ තිබූ උතුම් මනුස්සකම් නිසාය.

වජිරගේ නිවසේ කොයිකාගේත් හොඳ හිත දිනාගෙන වැඩ කටයුතු කරගෙන ගිය ලලිත් යහමින් මුදල් සෙවීමේ කෙටි මාර්ග ගැන උනන්දු වුණේය.

වජිරගේ මව ලලිත් කන්නන්ගරට සැලකුවේ තමාගේම දරුවකුට සලකන ආකාරයටය. කෑම බීම ලබාදීම පමණක් නොව, ලලිත්ගේ කිලිටි ඇඳුම් පැලඳුම් පවා සෝදා පිරිසිදු කර දුන්නේ වජිරගේ මෑණියන් විසින්ය.

“ලලිත් මල්ලි උඹ ඔය රස්සාව කරන අතරෙ කොන්දොස්තර ලයිෂන් එක ගන්න ඕනෙ. එතකොට බයක් නැතිව වැඩ කරන්න පුළුවන්. මං දන්න කියන අය ඉන්නවා උඹට ඒ වැඩේ කරලා දෙන්නම්”

ලලිත් කන්නන්ගරට කොන්දොස්තර රැකියාව සඳහා අවශ්‍ය කරන බලපත්‍රය ලබාදීමට ද වජිර නිශාන්ත කටයුතු කළේ මොහු යහපත් මිනිසකු වනු ඇතැයි සිතාගෙනය.

කොන්දොස්තර රස්සාව කරන අතරතුර ලලිත් කන්නන්ගර මුදල් ඉතුරු කරන්නට පටන් ගත්තේය. බස් රථයේ ආදායමෙන් දිනපතා මුදලක් යටිමඩි ගැසූ ලලිත් ඒ මුදල් ඉතිරි කළේ අනාගතයේ කිසියම් ව්‍යාපාරයක් කිරීමට සිහින මවමින්ය.

වසර කීපයක් ගතවෙද්දී ලලිත් සිය අරමුණු කරා පැමිණ සිටියේය. “වජිර අයියේ මට හැමදාම මේ ජොබ් එක කරන්න බැහැ. මගේම කියලා දෙයක් මට කරන්න ඕනෙ. මං බැලුවා හංවැල්ලෙ පොඩි කඩ කෑල්ලක කොමියුනිකේෂන් එක්ක පටන් ගන්න. මට ඒ වැඩේ කරගෙන යන්න ඕනෙ…”

දිනක් ලලිත් සිය ස්වාමියා වූ වජිරට කීවේය.

කොන්දොස්තර රස්සාවට ආයුබෝවන් කියූ ලලිත් හංවැල්ල නගරයේ කොමියුනිකේෂන් එකක් පටන් ගත්තේය. මේ කාලසීමාව වනවිට කඩුවෙල පාතාලයේ කෙරුම් කාරයාට සිටියේ සමයං ය. සමයංගේ පාතාල බලය හංවැල්ල ප්‍රදේශය පුරා ද පැතිර තිබුණේය.

● පාතාලයට පා තබන ලලිත්

ලලිත් කන්නන්ගරට ද මේ පාතාලය පිළිබඳව තිබුණේ පුදුම උනන්දුවකි. සමයංගේ පාතාල කල්ලිය සමග පුංචි පුංචි සම්බන්ධතා ගොඩනඟා ගන්නට ලලිත් කන්නන්ගර කටයුතු කරන්නේ පාතාලය ගැන ඔහු තුළ තිබූ මේ උනන්දුව ආශාව නිසාමය. සමයංගේ කල්ලියේ දෙවන පෙළ කෙරුම්කාරයන්ව සිටි ඌරුජුවා සහ ඉන්ද්‍රා සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නට ලලිත්ට හැකි විය. සමයං වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු කඩුවෙල පාතාලය දෙකඩ වුණේය. ඌරුජුවාගේ නායකත්වයෙන් එක් පාතාල කල්ලියක් බිහි වූ අතර ඉන්ද්‍රාගේ නායකත්වය යටතේ කඩුවෙල තවත් පාතාල කල්ලියක් බිහි විය. ඒ වනවිට ලලිත් කන්නන්ගර වැඩි සබැඳියාවක් තිබුණේ ඉන්ද්‍රා සමගය. ඉන්ද්‍රා මෙහෙය වූ පාතාල කල්ලියට ලලිත් කන්නන්ගරගේ නම ද ඇතුළු වන්නේ මේ කාලවකවනුවේදීය.

තම නිවසේ කාලයක් තිස්සේ නවාතැන් ගෙන සිටි යහපත් මිනිසකු කිරීමට උත්සාහ කළ ලලිත් කන්නන්ගර කඩුවෙල පාතාලය සමග සම්බන්ධකම් ගොඩනඟාගෙන සිටින බව වජිර නිශාන්තගේ ද කන වැකිණි.

“මල්ලි මං උඹට තාත්තා කෙනෙක් වගේ. උඹට යන එනමං නැතිව ඉන්නකොට මනුස්සයෙක් වෙන්න උදවු කළේ මං. උඹ දැන දැනම අමාරුවෙ වැටෙන්න එපා. පාතාල කෙරුවාව උඹට හරි යන්නෙ නැහැ. ඔය බිස්නස් එක කරගෙන සාධාරණව ජීවත් වෙන්න බලපං…”

වජිර නිශාන්ත ලලිත්ට දිගින් දිගටම අවවාද දෙමින් ඔහු යහමඟට ගන්නට උත්සාහ කළේය. එහෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් විය.

ලලිත් කඩුවෙල පාතාල කල්ලිය සමග තව තවත් සමීප වන්නට පටන් ගත්තේය. මේ අතර ඌරුජුවාගේ සහ ඉන්ද්‍රාගේ පාතාල කල්ලිය අතර ගැටුම් ඇතිවන්නට විය. ඒ කඩුවෙල පාතාලයේ කිරුළ සඳහාය. මේ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම සාමාජිකයන් කීපදෙනකුම ඝාතනයට ලක්විය.

ඒ වනවිට ඌරුජුවා මෙහෙය වූ පාතාල කල්ලිය ප්‍රබල තත්ත්වයකට පත්වෙමින් තිබිණි. ඌරුජුවා සිය ප්‍රතිවාදීන් වූ ඉන්ද්‍රාගේ කල්ලියේ සාමාජිකයන් එකා දෙන්නා තම කල්ලිය වෙත නම්මා ගැනීමේ කටයුතු ඉතාම රහසිගතව කරගෙන ගියෙය්. ලලිත් කන්නන්ගර ද ඌරුජුවාගේ එක් බලාපොරොත්තුවක් විය. කෙසේවෙතත් වැඩි දවසක් යන්නට පෙර ඌරුජුවා ලලිත් කන්නන්ගර සිය පාර්ශ්වය වෙත නම්මවා ගන්නට කටයුතු කළේය.

“ලලිත් උඹ අපේ සෙට් එකට එකතු වෙච්ච එක ගැන සතුටුයි. ඒත් උඹ ඉන්ද්‍රා ළඟ ඉඳලා ඔතැන වෙන දේවල් ගැන මට කියපං. උඹ අපි එක්ක ගනුදෙනු කරන බව කවුරුත් දන්නෙ නැහැ”

ඌරුජුවා ලලිත් කන්නන්ගරට කීවේය. ඌරුජුවාට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ඉන්ද්‍රා ඝාතනය කර කඩුවෙල පාතාලයේ කිරුළ තමන් වෙත ලබාගැනීමටය.

2018 වර්ෂයේ එක්තරා දිනක ලලිත් කන්නන්ගර ඉන්ද්‍රා ඇතුළු පිරිස රත්නපුර ප්‍රදේශයේ ගඟක දිය නෑමට ගියහ. එදින ඉන්ද්‍රා ඝාතනය කිරීමට ඌරුජුවා සැලසුම් කරන්නේ ලලිත් කන්නන්ගර ලබාදුන් තොරතුරු මතය. රත්නපුරයේ විනෝද වී ඉන්ද්‍රා ඇතුළු පිරිස වෑන් රථයකින් හංවැල්ලට ආවෝය. ඒ වෑන් රථය තුළ සිටි ලලිත් සියලු තොරතුරු ගමන් විස්තර ඌරුජුවාට ලබාදුන්නේය. හංවැල්ල ඇඹුල්ගම හන්දියෙන් ලලිත් වෑන් රථයෙන් බැස ගත්තේය. ඊට විනාඩි කීපයකට පසු ඌරුජුවාගේ ගෝල බාලයන් ඉන්ද්‍රා ඇතුළු පිරිස ගමන් ගත් වෑන් රථයට වෙඩි වරුසාවක් එල්ල කළෝය. ප්‍රහාරයෙන් ඉන්ද්‍රා තුවාල ලබා දිවි ගලවා ගත්ත ද ඔහුගේ සමීපතමයකු වූ චූටි මල්ලී අවසන් ගමන් ගියේය.

● ලලිත් කන්නන්ගර ඩුබායි රටට

මේ ප්‍රහාරය සඳහා සියලු තොරතුරු ලබාදුන්නේ ලලිත් කන්නන්ගර විසින් බව පසුව හෙළි විය. පොලිසිය ද ලලිත් කන්නන්ගර ලුහුබඳින්න පටන් ගත්තේ එතැන් සිටය. තමන්ට ඉන්ද්‍රාගේ කල්ලියෙන් මෙන්ම පොලිසියෙන් කිසිම ගැලවීමක් නොමැති බව දැනගත් ලලිත් හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලා ගියේය.

ලලිත් කන්නන්ගරගේ පාතාල කෙරුවාවන් ආරම්භ වන්නේ ඩුබායි රාජ්‍යය වෙත ගිය පසුවය.

පොලිස් වෙඩි ප්‍රහාරවලින් පසුව ඉන්ද්‍රා සහ ඌරුජුවා මරුමුවට පත්වීමෙන් පසුව කඩුවෙල පාතාලයේ නායකත්වය නැවතත් පුරප්පාඩු වුණේය.

ඒ වනවිට ලලිත් කන්නන්ගර සහ චමින්ද අතර කඩුවෙල පාතාල කිරුළුවලට සීතල යුද්ධයක් පැවතිණි. හංවැල්ල, කඩුවෙල, නවගමවු, බෝමිරිය, මාලඹේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් භීතියට පත්කර කප්පම් මුදල් ලබාගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද ජයටම කරගෙන ගිය ලලිත් කන්නන්ගර ඒ වනවිට සෑහෙන පාතාල බලයක් ගොඩනඟාගෙන සිටියේය. මේ අතර හංවැල්ල ප්‍රදේශයේ සිය අණසක තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඩුබායිහි වසන ලලිත් කන්නන්ගරට අවශ්‍ය විය. ඒ සඳහා වජිර නිශාන්තගේ සහාය ලබාගතයුතු බව ලලිත් කන්නන්ගර සිතුවේය. ඔහු ඩුබායි සිට වජිරට දුරකථනයෙන් ඇමතුමක් දුන්නේය.

“වජිර අයියා මම ලලිත් කන්නන්ගර කතා කරන්නෙ. ඔයා දන්නවනෙ මම දැන් හොඳ තැනක ඉන්නෙ. කඩුවෙල පාතාලෙ රන් කරන්නෙ මම. ඔයා මට මුල් කාලෙ උදවු කළා. ඉදිරියටත් මට ඔයාගෙ උදවු ඕනෙ…”

ලලිත් කන්නන්ගර සිය අවශ්‍යතාව වජිරට කීවේය. ඉතාම සාධාරණ ජීවිතයක් ගත කළ වජිර ලලිත් කන්නන්ගරගේ මේ කෙරුවාවන් ගැන කොහෙත්ම කැමැති වුණේ නැත. ලලිත්ගේ ඉල්ලීමෙන් වජිරට අසූහතරදාහට තද වුණේය. ඔහු ලලිත්ට එක සීරුවට බැන වැදුණේය.

“යකෝ කන්න බොන්න දීලා රස්සාවක් දීලා මං උඹව බලාගත්තෙ මනුස්සයෙක් වෙයි කියලා හිතාගෙන. උඹව පාතාල මැරයෙක් කරන්න මට ඕනෙ වුණේ නැහැ. ඒක දැනගනින්…” වජිර දැවෙන කෝපයෙන් යුතුව කීවේය.

“හරි හරි වජිර අයියා තරහ ගන්න එපා. මට පොඩි පොඩි වැඩ ටිකක් කරලා දුන්නම ඇති. හංවැල්ලේ ඉන්න ලොකු ලොකු සල්ලි කාරයන්ගෙන් මට මාසෙකට ගාණක් අරන් දෙන්න. ඒ අයට මොනවහරි ප්‍රශ්නයක් වුණොත් මං බලාගන්නම් කියන්න… ඒ වගේම මගේ ඩ්‍රග්ස් බිස්නස් එකක් තියෙනවා. ඕනෙ වුණොත් ඒකටත් මං සපෝර්ට් එකක් ඔයාගෙන් ඉල්ලන්නම්…”

ලලිත් කන්නන්ගර ඇඟටපතට නොදැනෙන්න කීවේය. වජිරගේ කෝපය ඉහවහා ගොස් තිබුණේය. ඔහු වෙව්ලන්නට විය. “උඹ කියන්නෙ මටත් උඹ එක්ක කුඩු විකුණන්න එන්න කියලද? යකෝ මං බොහොම සාධාරණව ජීවත් වෙන මිනිහෙක්. සල්ලි නැති වුණත් ඔය වගෙ බලු වැඩ කරන්නෙ නැහැ. ඒක දැනගනින්. මීට පස්සෙ මට කෝල් කරන්නත් එපා. අපි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ මීට පස්සෙ”.

එසේ කියූ වජිර ජංගම දුරකථනය විසන්ධි කළේය. වජිර ඒ වනවිට ලලිත් කන්නන්ගර සමග සියලු සබඳතා නතර කර තිබුණ ද ඔහුගෙන් දිගටම දුරකථන ඇමතුම් ලැබුණේය. මුලදී ආයාචනාත්මකව ලැබුණු ඇමතුම් පසුව තර්ජනාත්මක ඇමතුම් බවට පරිවර්තනය වන්නට පටන්ගත්තේය. උඹට මං ටික දවසක ඉඳලා හොඳින් කිව්වා. උඹ ඒවා අහන්නේ නැහැනේ. මං කියන දේවල් කළේ නැත්නම් මං උඹට හංවැල්ලේ යහතින් ඉන්න දෙන්නෙ නැහැ. උඹට ජීවිතේ ගැන ආසාවක් තියනවානම් මං කියන ඒවා කරපං…

ලලිත් කන්නන්ගර වජිරට තර්ජනය කරන්න පටන් ගත්තේය. සර්පයන්ට කිරි පෙවීමේ ආදීනව ඒ වනවිට වජිර තේරුම් ගෙන සිටියේය. එහෙත් ඒ වනවිට ප්‍රමාද වැඩිය. තමන් දරුවකු ලෙස හදාවඩාගත් ඒ නරුමයා තමන්ට ජීවිත තර්ජන එල්ල කරන තත්ත්වයට පත්වීම ගැන වජිර තුළ පැවැතියේ දැඩි ශෝකයෙකි. ඒ වගේම දරාගත නොහැකි කෝපයකි.

උඹ මහ බල්ලෙක් යකෝ, උඹ කියන කිසිදෙයක් මං කරන්නෙ නැහැ. පුළුවන් දෙයක් කරපං උඹට මුල මතක නැහැ. කන්න බොන්න දීලා රස්සාව දීලා ගෙදර නතර කරගෙන කරපු දේවල් උඹට දැන් මතක නැහැ. උඹේ විස්තර පවා මගේ අම්මා පෙන්නුවා, උඹ සර්පයෙක් කියලා දන්නවනම් මං හතරමායිමට වද්ද ගන්නේ නැහැ.

වජිර ලලිත් කන්නන්ගරට බඩකට පුරා බැන වැදුණේය.

“උඹ කියන සේරම ඇත්ත, ඒත් ඒ කිසිදේකින් මට වැඩක් නැහැ. උඹ නිසා මං හංවැල්ලේ උන් එකෙක්ටවත් කප්පම් දෙන්නේ නැහැ. උඹ ඒ හැමෝටම කියලා තියනවා මං කියන ඒවා ගණන් ගන්න එපා කියලා. ඒ නිසා ඔය වැඩේ නතර කර ගනින්” ලලිත් කන්නන්ගර වජිර නිශාන්ත අතර ගැටුම දිනෙන් දින දරුණු අතට හැරෙමින් තිබුණේය.

හංවැල්ල නිල්පොළ ප්‍රදේශයේ පස් කැපීම සඳහා වෙන් කළ විශාල ඉඩමක් විය. එය හැඳින්වූයේ නිල්පොළ පස් වළ නමින්ය. මේ පස් වළ කරගෙන ගියේ හංවැල්ල ප්‍රදේශයේ අරක්ගෙන සිටි තවත් පාතාල කෙරුමකු වූ මන්නා රොෂාන්ය. මේ පස් වළෙන් දෛනිකව විශාල ආදායමක් මන්නා රොෂාන් ලබාගත්තේය. ලලිත් කන්නන්ගර ද කාලයක් තිස්සේ මේ පස්වලට අයිතිය සම්බන්ධයෙන් මන්නා රොෂාන් සහ ලලිත් කන්නන්ගර අතර ගැටුම් ආරම්භ වන්නේ එතැන් සිටය.

අවසානයේ ලලිත් කන්නන්ගර සිය ගෝලබාලයන් යොදා මන්නා රොෂාන් වෙඩි තබා ඝාතනය කළේ පස් වළේ අයිතියි ලබාගැනීම සඳහාය. මන්නා රොෂාන් ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ බාල සොහොයුරු වූ මධුර මේ පස් වළට අත ගැසුවේය. සිය සොහොයුරා පවත්වාගෙන ගිය පස් වළ ඔහුගේ අභාවයෙන් පසු මධුර විසින් කරගෙන යන්නට පටන් ගත්තේය.

මධුර මං උඹට හොඳින් කියන්නේ මගේ පස් වළ අතඇරලා පලයං ඕක මගේ එකෙකුට කරගෙන යන්න දෙන්න ඕනේ. ලලිත් කන්නන්ගර ඩුබායි සිට මධුරට දුරකථනයෙන් කතා කර තර්ජනය කළේය. එහෙත් මධුර ඒ තර්ජන ගණනකට ගත්තේ නැහැ. පස් කැපීම ඔහු දිගටම කරගෙන ගියේය. එහෙත් මධුරට වැඩි දවසක් එය කරගෙන යන්නට ඉඩ ලැබුණේ නැත. පස් වළ නිසා මධුරගේ ජීවිතය ද අකාලයේ ඔහුට අහිමි විය.

ලලිත් කන්නන්ගර සිය පාතාල මැරයන් යොදා මධුරට වෙඩි තබා ඝාතනය කළේය. ඒ සිද්ධියෙන් පසු නිල්පොළ පස් වළ වෙනත් පුද්ගලයකු විසින් ආරම්භ කළේය. ඒ පුද්ගලයාට ලලිත් කන්නන්ගරගෙන් ප්‍රශ්නයක් නැත. පස් වළ ලලිත් විසින් කරගෙන යන බව පමණක් ප්‍රසිද්ධ රහසකි. 2021 වර්ෂය ආරම්භයත් සමගම වජිරට ලලිත් කන්නන්ගරගෙන් එල්ලවන තර්ජන තව තවත් වැඩිවන්නට පටන් ගත්තේය. “වජිර මං උඹට හොඳින් කියන්නේ උඹ නිසා මට එකෙක්වත් කප්පම් දෙන්නේ නැහැ. මට තව පැයකින් යන්න ඉස්සර රුපියල් කෝටියක් ඕනේ. මං දන්නවනේ උඹට තියෙන ආදායම්. උඹේ දේපොළ ගැනත් මං සේරම දන්නවා. කෝටියක් කියන්නේ උඹට පොඩි මුදලක්.

● කන්න දුන්න අත හපා කෑම

ලලිත් කන්නන්ගර වජිරට තර්ජනය කරමින් කප්පම් මුදල් ඉල්ලන්නට පටන් ගත්තේය.

“උඹේ මොළේ හොඳ නැද්ද… මම උඹට එක ශත පහක් දෙන්නේ නැහැ පුළුවන්නම් ගනින්. වජිර කෝපයෙන් කීවේය. “උඹ දැක්කනේ මන්නා රමේෂ්ටයි උගේ මල්ලිටයි වෙච්ච දේ. සල්ලි නොදුන්නොත් උඹටයි උඹේ පවුලේ උන්ටයි වෙන්නෙත් ඒ ටිකමයි. ඒ නිසා පරිස්සම් වෙලා හිටපං. අවසානයේදී ලලිත් කන්නන්ගර වජිරට එරෙහිව තර්ජන එල්ල කළේය.

හසීම් හංවැල්ලේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු විය. ලලිත් කන්නන්ගර අවස්ථා කීපයක දීම හසීම්ගෙන් කප්පම් මුදල් ඉල්ලා සිටියේය. එහෙත් හසීම් ලලිත්ට කප්පම් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

ඉන් කෝපයට පත් වූ ලලිත් කන්නන්ගර සිය ගෝලබාලයන් යොදා හංවැල්ලේ පිහිටි හසීම්ගේ නිවසට පැන ඔහුව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කළේය. එහෙත් හසීම් දිවිගලවා ගත්තේය. ඔහුගේ පුත්‍රයන් දෙදෙනා පාතාල මැරයන්ගේ බරපතළ කැපුම් තුවාලවලට ලක්ව රෝහල්ගත කෙරිණි. මෙය මහත් ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් විය. පොලිසිය ලලිත් කන්නන්ගරගේ පාතාල මැරයන් ලුහුබඳින්නට වූහ. ඒ සඳහා පොලිසියට සහාය වුණේ හසීම්ගේ සොහොයුරා වසීම්ය.

“උඹ පොලිසියට සපෝර්ට් කරලා මගේ ගෝලයෝ අල්ලලා දෙන්නද හදන්නේ. වැඩිය දඟලන්න එපා උඹට පරලොව යන්න වෙයි”

වසීම් පොලිසියට ඔත්තු ලබාදෙන බව දැනගත් ලලිත් කන්නන්ගර ඔහුට තර්ජනය කළේය. ඒ වනවිට ලලිත් කන්නන්ගරට අවශ්‍යව තිබුණේ තම පාතාල බලය හංවැල්ල පුරා ව්‍යාප්ත කිරීමය. වසීම් ඝාතනය කර ප්‍රදේශයේ භීෂණයත් පතුරුවාලීම ඔහුගේ අවශ්‍යතාව විය.

රත්ගම විදුරගේ පාතාල කොන්ත්‍රාත් මිනීමැරුම් කරන බූරුමූණා ඒ සඳහා යොදාගැනීමට ලලිත් කන්නන්ගර සැලසුම් කළේය. බූරුමූණා රට පනින්න ඉන්නේ. උගේ පාස්පෝට් එක හොරට හදාගන්න ඕනේ. ඒක කරලා දීපං ඌ උඹේ වැඩේ කරලා දෙයි. රත්ගම විදුර ලලිත් කන්නන්ගරට කීවේය. එය ඒ ආකාරයෙන්ම සිදුවිය. බූරුමූණාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරදීමේ කාර්ය ලලිත් කන්නන්ගර භාර ගත්තේය. ඊට හිලව් ලෙස වසීම් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බූරුමූණාට භාර දුන්නේය.

බූරුමුණා ලලිත් කන්නන්ගරගේ ගෝලයකු සමග වසීම්ගේ වෙළෙඳපොළට කඩා වැදී වෙඩි තබා ඔහු ඝාතනය කර පලා ගියේ මුළු හංවැල්ලම භීතියට පත් කරමින්ය.

ඒ වනවිට හංවැල්ල ප්‍රදේශය පුරා ලලිත් කන්නන්ගරගේ පාතාල භීෂණය දරුණු අන්දමින් පැතිර යමින් තිබුණේය. වජිර නිශාන්තගෙන් පළිගැනීමට මේ පාතාල මැරයාට දැඩි අවශ්‍යතාවක් මතුව තිබුණේය.

2021 වර්ෂයේ සැප්තැම්බර් 20 වැනිදා ලලිත් කන්නන්ගරගේ පාතාල මැරයන් වජිර නිශාන්තට අයත් කොස්ගම පිහිටි වාහන අලෙවිසැලට රාත්‍රියේ කඩා වැදුණේය. එහි තිබූ වාහන කීපයකට පෙට්ට්‍රල් දමා ගිනි තැබූ පාතාල මැරයන් පලා ගියහ. වාහන අලෙවිසැල ගිනි ගන්නවා දුටු ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී එය නිවා දැමීමට කටයුතු කළහ. එහෙත් ඒ වනවිටත් වාහන කීපයකටම දැඩි හානි සිදුවී තිබිණි. දැන් පේනවා නේද උඹට මං ටික ටික රිද්දවන හැටි. උඹට මට කෝටියක් දෙන්න බැරිනම් ලක්ෂ 50ක්වත් දීපං එහෙම වුණොත් මේ ප්‍රශ්න නතර කරලා දානවා. නැත්නම් ඊළඟට උඹව තමයි පරලොව යන්න වෙන්නේ. ලලිත් කන්නන්ගර නැවතත් දුරකථනයෙන් කතා කර වජිරට තර්ජනය කළේය. එහෙත් වජිර කප්පම් මුදල් ලබාදීම තදින්ම ප්‍රතික්ෂේප කළේය. වාහන අලෙවිසැලට ගිනි තබා මාස කීපයක් ගතවීමට පෙර වජිරගේ නිවසට පාතාල ප්‍රහාරයක් එල්ල විය. ලලිත් කන්නන්ගරගේ මැරයන් පිරිසක් වජිර පදිංචි හංවැල්ල නෙළුවන්තුඩුවේ පිහිටි නිවසට වෙඩි වරුසාවක් එල්ල කර පලා ගියහ. මේ සිදුවීමෙන් වජිර දැඩි ලෙස භීතියට පත්වුණේය.

තමන් ඇති දැඩි කළ මේ නරුමයා කොයි මොහොතක හෝ තමාගේ මෙන්ම තම අහිංසක දරුවන්ගේ ජීවිත බිලිගන්නා බව තේරුම් ගත් වජිර ගම රට අතහැර යෑමට තීරණය කළේය. වජීර සිය පවුල පිටින්ම වෙනත් ප්‍රදේශයකට පලාගොස් කලක් සැඟවී ජීවත් වූයේය. ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහාය. එහෙත් තම ව්‍යාපාර පවත්වාගෙන යෑමට නොහැකි නිසා ඔහු නැවතත් හංවැල්ලට ආවේය. ඒ ආගමනය තම ජීවිතය අවසානයෙන් කෙළවර වනු ඇතැයි ඔහු මොහොතකටවත් නොසිතුවා විය යුතුය.

පසුගිය 30 වැනිදා රාත්‍රිය උදාවෙමින් තිබුණේය. වජිර නිශාන්ත සිය දෛනික කටයුතු නිමකර නිවසට පැමිණියේය. ඇඟපත හෝදාගෙන තේ එකක් බී නිවස ආලින්දයේ පුටුවකට බර වී වෙහෙස නිවා ගැනීම වජිරගේ දෛනික පුරුද්දක් විය. එදින ද ඔහු ආලින්දයේ පුටුවකට බර දී ගිමන් හරිමින් සිටියේය. එහෙත් මාරයා නිවසේ දොර කවුළුවට පැමිණ සිටි බවක් ඔහු දැන සිටියේ නැත.

පැයකට ආසන්න කාලයක් තිස්සේ සිය ගොදුර පැමිණෙන තුරු නිවස අසල තාප්පය අයිනේ සැඟවී සිටි ලලිත් කන්නන්ගරගේ පාතාල කල්ලියේ මැරයා ක්‍රියාත්මක වුණේය. ටී. 56 වෙඩි උණ්ඩ වජිර නිශාන්තගේ සිරුර විනිවිද ගියේය. කලක් තම දරුවකු ලෙස හදාවඩා ගත් ලලිත් කන්නන්ගර නමැති නරුමයා ජීවිතයේ සිත් පිත් නැති ප්‍රහාරය එල්ල කර තිබුණේය. රෝහල් ගත කළ වජිර නිශාන්ත අවසන් ගමන් ගියේය. මේ උතුම් මිනිහා ඝාතනය කිරීම ලලිත් කනන්න්ගර තම පියා ඝාතනය කළා හා සමාන විය. වජිර නිශාන්ත ඝාතනය කනවැකීමත් සමග හංවැල්ලේ ව්‍යාපාරිකයන් දැඩි ලෙස භීතියට පත්වූහ. ලලිත් කන්නන්ගරට තම පියා බදු වූ වජිර ඝාතනය කිරීමට ශක්තියක් තිබුණේ නම් තමන් ගැන කවර කතා ද, එසේ සිතූ ව්‍යාපාරිකයන් කීපදෙනෙකුම හංවැල්ල අතහැර ආරක්ෂිත ස්ථාන කරා ගියහ.

ලලිත් කන්නන්ගර හංවැල්ලට පමණක් නොව, මුළු රටට ම මහාපිලිලයක් බවට පත් වී හමාරය. මේ නරුමයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ද ලබාගෙන සිටියි. එහෙත් මේ පාපතරයා අත්අඩංගුවට ගන්නා තුරු හෙට දිනයේදීත් අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment