උද්දච්ච නොවී විදුලි බල පනත ගැන නම්‍යශීලීව කටයුතු කරන්න: සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

72

මෙගාවොට් 10 ට අඩු පුනර්ජනනීය බලශක්ති බලාගාරවලට පමණක් ටෙන්ඩර් පටිපාටියකින් තොරව විදුලිය මිලදී ගැනීමත්, ඊට වැඩි බලාගාරවලින් මිලදී ගැනීම් සිදු කිරීම අනිවාර්යයෙන් ටෙන්ඩර් කිරීම මගින් කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

එසේත් නැතිනම් යෝජිත විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ නව නීති සම්මත කිරීම තවත් සතියකින් පමණ කල් දමා තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම කීය. එම තරගකාරීත්වය ඉවත් කරන සංශෝධනය වහාම හකුලා ගත යුතු බව විපක්ෂයේ අදහස බවත් උද්ධච්ච නොවී ආණ්ඩුව වත්මන් දූෂිත ගනුදෙනුවකට හේතුවන මෙම සංශෝධනය පිළිබඳ තවදුරටත් විපක්ෂය සමග නම්‍යශීලීව කටයුතු කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා පෙනී සිටින බවත් තරගකාරීත්වය ඉවත් කරමින් ඩොලර් කාක්කන්ගේ ඉල්ලීම්වලට යටවී ගෙන එන මෙවැනි සංශෝධනවලට පක්ෂ නොවන ලෙසත් විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. මෙරට පුනර්ජනනීය බලශක්තිය තුට්ටු දෙකකට විදේශීය සමාගම්වලට විකිණීමට සූදානම් නැතැයිද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment