උදාවූ වසර ජයගැනීමට නම්

167

ජනවාරි පළමුවැනිදා පහුවුණා. වෙනද වගේම එදත් හැමෝම වගේ තමන්ගෙ හිතවතුන්ට “සුබ අලුත් අවුරුද්දක් වේවා කියල සුබ පැතුවා”. මේක චාරිත්‍රයක්. හිත සතුටු කරන ප්‍රාර්ථනාවක්. ඒ වුනත් එහෙම ප්‍රාර්ථනා කළාම අවුරුද්ද සුබ වෙනවද? මේක නෙවෙයි, මොන ප්‍රාර්ථනාවක් කළත් පැතුමකින් විතරක් අරමුණක් සාර්ථක කරගන්න පුළුවන්කමක් නැහැ. දැන් නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව වගේ තමයි. දස පාරමිතා සම්පූර්ණ කරල මිසක් ප්‍රාර්ථනා කරල විතරක් නිවන් ලබන්න බැහැ.

එහෙම නම් අවුරුද්ද සුබ වෙන්න නම් ප්‍රාර්ථනාවට එහා ගිය දෙයක් අවශ්‍යම වෙනවා. මේ ලිපිය මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උදාවූ 2024 වසර සාර්ථක කරගන්නේ කොහොමද යන කාරණාව ගැනයි. මේ සඳහා ජ්‍යොතිෂය පිහිට කරගන්නේ කොහොමද කියලත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

සුබ වසරක් කියන්නේ ඔබේ ජීවිතයේ විශිෂ්ට බව ළඟාකර ගැනීමයි. රැකියාව නැත්නම් ව්‍යාපාරය තුළ හෝ ශිෂ්‍යයකු ලෙස විශිෂ්ටත්වයට පත්වීම තමයි ‘සුබ’ නැත්නම් සාර්ථකත්වය කියන්නේ. විශිෂ්ටයකු වෙන්නේ කොහොමද? මේක දැනගැනීම පළමු කාරණයයි.

උපන් හැකියාව හඳුනාගන්න

අප අතර සිටින බොහෝදෙනෙක් කරන්නේ තම තමන් උපතින්ම ගෙනා දක්‍ෂතාවයට අදාළ දේ නොවෙයි. “ලොවින් එකෙක් එක දේකට වෙයි සමත” කියන පුරාණ කවිපදේ තියෙන්නෙ ඒකයි. මේ තත්ත්වය ඉගෙනීම කරන වයසෙදීම හඳුනාගැනීම වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගණිතයට අතිදක්‍ෂ කෙනෙක් වෛiවරයකු වීමෙන් සාර්ථක වෙන්න බෑ. ගොඩක් ළමයි” ලොකු වුණාම කවුරු වෙන්නද කැමති”? කියල අහන කොට “ඩොක්ටර් කෙනෙක් වෙන්න” කියනවා. සමහර මවුපියන් මේ තත්ත්වයට බලෙන් තල්ලු කරනවා. නමුත් කලාවට උපන් හපන්කම් තියෙන කෙනා කරන්න ඕන කලාවම තමයි. තමන් අතිදක්‍ෂ දේ නොකර වෙනත් දේවල් කිරීමෙන් ජීවිතේ එකතැන පල්වෙනවා. සාර්ථක වෙන්න බෑ.

මේ දක්‍ෂතාවය ජන්ම පත්‍රයෙනුත් හඳුනාගන්න පුළුවනි. උදාහරණයක් වශයෙන් වෛi අංශයට උපන් හැකියාව ඇති අයගේ බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව පිහිටනවා. මේ නිසා පුරාණ වෛද්‍යවරු තමන්ට ගෝලයෙක් හොයනකොට කේන්දරේ ‘ගුරු’ බලවත් ද කියල බැලුවලු. නායකත්වයට උපන් හැකියාව ඇති අයගේ රාජ යෝග පිහිටනවා. ඒ වගේම බුධ බලවත්ව අදාළ ස්ථානවල හිටියොත් දක්‍ෂ කථිකයො, නීතිඥයො, සැලසුම් ශිල්පියො වෙන්න තියෙන හැකියාව නිවේදනය කරනවා. ඉතිං මේ වසර මුලදීම තව වරක් ආපසු බලන්න. ඔබ කරන්නෙ ඔබට සහජ දක්‍ෂතාවය තියෙන දේද කියලා. මේ විශේෂ දක්‍ෂතා පිහිටීමට හේතුව පසුගිය ආත්මවලත් ඒ දේම කරල තියෙන සහජ ඥානයයි. සසර පුරුද්දයි. උසස් අධ්‍යාපනය ඇරඹීමට පෙර මේක හඳුනාගැනීම වැදගත් වෙනවා.

වෘත්තීය පාඨමාලාවක් හදාරන්න බලාපොරොත්තු වෙනවනම් ඒක කරන්නේ ඇයි කියල දැනගන්න ඕනෑ. විශේෂ දක්‍ෂතාව ඔපමට්ටම් කරගෙන තව තවත් උසස් වෙන්න අදාළ නම් විතරයි අමතර ඉගෙනීම කරන්න ඕන. නැත්නම් ඒ කාලය අපතේ යැවීමක්.

ගැළපෙන ව්‍යාපාරය හඳුනාගන්න

සිල්ලර වෙළෙද සලක් ආරම්භ කරපු එක්තරා ව්‍යාපාරිකයෙක් එතරම් සාර්ථක වුණේ නෑ. ඒත් එයා තමන්ගෙ කේන්දරේ පරීක්‍ෂා කරවගන්න කල්පනා කළා. ඒක පරීක්‍ෂා කරපු දක්‍ෂ ජ්‍යොතිර්වේදියෙක්” ඔබට ගැළපෙන්නෙ සිල්ලර කඩ නෙවෙයි. හෝටලයක් පටන්ගන්න” කියල උපදෙස් දුන්නා. මේ ව්‍යාපාරය කොතෙක් සාර්ථක වුණා ද කියනවනම් අද මහනුවර නගරයේ දියුණු හෝටල් සංකීර්ණයක් මේ ව්‍යාපාරිකය පවත්වාගෙන යනවා. තවත් සිල්ලර වෙළෙඳාම කරපු කෝටිපති ව්‍යාපාරිකයෙක් බේකරියක් ආරම්භ කරල අසාර්ථක වුණා. ඒ වගේම කෝටිපති බේකරි හිමියෙක්ගෙ ඇඟලුම් ව්‍යාපාරය සාර්ථක වෙලා නෑ.

මේකෙන් කියැවෙන්නේ ඔබ, ඔබට ගැළපෙන, සුදුසු ව්‍යාපාරය තෝරාගත යුතු බවයි. මේක හඳුනාගන්නත් කේන්ද්‍ර පරීක්‍ෂාව යොදාගන්න පුළුවනි. සිකුරු බලවත්වීම ව්‍යාපාර සාර්ථකත්වය නිවේදනය කරනවා. සිකුරුට අයිති තරුණ වයස, මංගල කටයුතු, සෞන්දර්ය, නාට්‍ය, චිත්‍රපට, රූපලාවන්‍ය වගේ දේවල්. ඒ නිසා සිකුරු බලවත්ව ඉන්න කෙනෙක් යකඩ බඩු වගේ ව්‍යාපාරයක් කරල සාර්ථක වෙන එකක් නෑ. ගොවිතැන වුනත් එහෙමයි.

මැණික්, මිණිරන් වගේ භූමිය සම්බන්ධ දේවල් වලින් ලැබීම තියන අයට ඒවයින් සාර්ථක වෙන්න පුළුවනි.

නිතිපතා පුහුණු වෙන්න

උපන් දක්‍ෂතාවය හඳුනාගත් පසුව නිරන්තරව පුහුණුවීම වුවමනායි. දක්‍ෂතාවයේ විශිෂ්ටයකු වන්නේ පුහුණුවීමෙන් පමණයි. දවසේ වැඩි කාලයක් පුහුණුවට වෙන්කරන්න ඕනෑ. නැත්නම් ඉගෙන ගන්න ඕනෑ. මේ සඳහා පාඨමාලා හැදෑරීම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් හඳුනාගැනීම, සබඳතා පැවැත්වීම, උපදෙස් ගැනීම, අත්හදා බැලීම, පර්යේෂණ කිරීම ආදී සියල්ල අදාළ වෙනවා.

ඔබ කුමන ක්‍ෂේත්‍රයක සිටියත් නිරන්තරව පුහුණු නොවන්නේ නම් සාර්ථකවීම අපහසුයි. “මෙහෙම හිටියම ඇති” කියල පරණ දේවල්ම, හණමිටිම කරගහගෙන යන අයගෙ ප්‍රගතියක් නෑ.

ඒකටත් ජ්‍යොතිෂය යොදාගන්න පුළුවනි. විශේෂයෙන් කිසියම් පාඨමාලාවක් හදාරනව නම් ඒක සුබ නැකතකින් පටන් ගැනීම වැදගත් වෙනවා. කෘෂිකර්ම කටයුතුවලට, වෛiකර්ම වලට විතරක් නෙවෙයි වාහන පැදවීම පුහුණුවට නැත්නම් මහණවීමට පවා සුබ නැකත් හදනහැටි ජ්‍යොතිෂයේ තියෙනවා. මේ නිසා ඔබ ලබන පුහුණුව අවසානය තෙක් කරගෙන යෑමට හැකිවෙනවා.

දිනපතාම කරගෙන යන පුහුණුව නිසා යමකු විශිෂ්ටයකු වීම ඒකාන්තයි. 90:90:1 කියල නීතියක් තියෙනවා. ඒ කියන්නෙ යම් කෙනෙක් දවසකට විනාඩි 90 ක් නොකඩවාම දින 90 ක් එකම දෙයක් පුහුණු වෙනව නම් ඔහු හෝ ඇය අදාළ දේට විශිෂ්ට වෙනවා. උපාධි දහයකින්වත් ලබන්න බැරි දැනුමක් ලැබීමට එය හේතුවන බව ලෝක ප්‍රකට වෘත්තීය මාර්ගෝපදේශකයකු වන රොබින් ෂර්මා කියනවා.

ඉලක්කයක් තබාගන්න

බොහෝදෙනකු සාර්ථකත්වය මනිනු ලබන්නේ මුදල් වලින්. ඒත් මේ වසර සාර්ථක කරගන්න හිතන කෙනා ශිෂ්‍යයෙක් නම් ඉලක්කය වෙන්නේ විභාගයයි. ව්‍යාපාරිකයකුට යම් මුදලක් ඉපැයීම ඒකාන්ත ඉලක්කය විය හැකි අතර ගොවියකුට නම් සාර්ථක අස්වැන්නක් ලබාගැනීම විය හැකියි. ඔබේ ඉලක්කය ළඟා කරගන්නා තුරු නොනවතින, දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ ඉලක්කය අධ්‍යාත්මික ඉලක්කයක් වෙන්නත්, යම් ක්‍රීඩාවක ජයග්‍රහණයක්, නැත්නම් විශිෂ්ට පොතක් ප්‍රකාශකිරීම වෙන්නත් පුළුවන්. සිදුහත්

බෝධිසත්ත්වයින් වහන්සේගේ ඒකායන ඉලක්කය වුණේ බුද්ධත්වය ලබාගැනීමයි. කෙසේ නමුත් මේ ඉලක්කය තබාගත යුත්තේ ඔබේ විශිෂ්ට දක්‍ෂතාවය හඳුනාගෙන පුහුණුව ආරම්භ කළ පසුවයි.

මේ අවස්ථාවේදීත් ඔබට ජ්‍යොතිෂයේ මඟපෙන්වීම ලබාගත හැකි වෙනවා. විශේෂයෙන් මේ සඳහා ඔබට සුබ නැකැත් අනුගමනය කළ හැකියි. පළිබෝධනාශක, රසායනික පොහොර භාවිතයට හුරුවීමට පෙර වසර දහස් ගණනක් අපේ මුතුන් මිත්තන් භාවිතා කළේ ගොවිතැන සඳහා කෙම්ක්‍රම බව අමතක නොකළ යුතුයි. ඉතිං නැකැත් ක්‍රම අනුගමනය කරමින් ඉලක්කය කරා යෑම පහසු වෙනවා. ගමන් බිමන් වලදීත්, ව්‍යාපාර වලදීත් සතුරු කරදර හෝ කරගකරුවන්ගේ විරෝධතා වලදීත් නැකැත් අනුගමනය කිරීමෙන් බොහෝ පිහිට ලබාගත හැකියි. ජීවිත සාර්ථක කරගැනීම සඳහා භාවිතා කරන නැකැත්වලට විවිධ කෙම්ක්‍රම, මන්ත්‍ර සහ පිරිත් වැනි දේවල් ද සඳහන් වෙනවා. සුදුසු කෙනකුගේ උපදෙස් මත මේවා අනුගමනය කරන්නත් පසුබට වෙන්න එපා.

ආරෝග්‍යා පරමාලාභා

සාර්ථකත්වය හඹායනකොට අපි රෝගී වෙනවනම් ඒ සාර්ථකත්වය නිෂ්ඵල වෙනවා. නැත්නම් අතරමගදී ඉලක්ක හඹායෑම නතර කරන්න සිදුවෙනවා. මේ තත්ත්වය මතක තබාගෙන ශරීර සනීපය රැකගැනීමට සැලකිලිමත් විය යුතුයි. සුදුසු ආහාරය, ව්‍යායාමය හා විවේකය නිසිලෙස ලැබීම අත්‍යවශ්‍යයි. ආහාර ගැනීමේදීත් මිල අධික රසකාරක සහ කෘත්‍රිම දේ සහිත ආහාර වෙනුවට ස්වභාවික එළවළු පලතුරු ආහාරයට ගැනීම ගුණදායකයි. තමන් ජීවත්වන පරිසරයේම හැදෙන එළවළු, පලතුරු වඩා සුදුසු බව විශේෂඥ මතයයි. නිරෝගීකම උතුම්ම ලාභය බව කිව්වට එතැන කියැවෙන්නේ ශරීරයේ නිරෝගිකම විතරක් නොවේ. මනස නිරෝගී වීමත් අත්‍යවශ්‍යයි. මේ නිසා දැඩි ලෝභය, තරහ, ද්වේශය, ඊර්ෂ්‍යාව අත්හැර දැමීමට හුරුවීමත් වුවමනායි. නිතිපතා මෛත්‍රී භාවනාව කිරීම සාර්ථකත්වයට ප්‍රබල හේතුවක් වෙනවා.

ඒත් සමහරවිට පෙර කර්ම මත ඇතිවන රෝග තියෙනවා. “කර්මජ රෝග” කියන මේවා හඳුනාගන්න ජ්‍යොතිෂය අනුව පුළුවනි. ඒවාට ප්‍රතිකර්මත් සඳහන් වෙනවා. මේ අනුව නිරෝගිකම රැකගැනීමටත් ජන්මානු පරීක්‍ෂාව ඉවහල් වෙනවා.

සඳු අපලයකදී සෙම් රෝගත්, රවි අපලයකදී ඌෂ්ණාධික රෝගත්, රාහු අපලයකදී මානසික අසහනය, ගැස්ට්‍රයිටීස් වැනි රෝගත්, කේතුගෙන් පෝෂණ ඌනතා නිසා ඇතිවන රෝගත් ශනිගෙන් වාතාබාධ, සෙම් රෝගත් වැළඳෙන්න පුළුවනි. මේවා කේන්ද්‍රය අනුව හරියටම දැනගන්නත් ප්‍රතිකර්ම කරන්නත් පුළුවනි.

මේ අනුව ඔබේ නිරෝගිකම රැකගැනීමට ක්‍රියා කරන්න ඕනෑ.

අපි මේ ලිපියෙන් සාකච්ඡා කළේ උදාවූ 2024 වසර ජයගැනීමට අත්‍යවශ්‍ය කරුණු කීපයක් පිළිබඳවයි. මේ ගැන තවදුරටත් හිතන්න.

සිහින මවන්න. සිහින විශ්වාස කරන්න. සිහින සැබෑ කරගැනීමට උත්සාහවන්ත වෙන්න. එවිට ඔබේ සිහින සැබෑ කරගැනීම අරුමයක් නොවේ. 2024 ජයගැනීමට අධිෂ්ඨාන කරගන්න කියල ආරාධනා කරමින් මම සමුගන්නවා.

උදාවූ වසර ජයගැනීමට නම්

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
035-2232084/0771234313

advertistmentadvertistment
advertistmentadvertistment