උදේම වැඩට ඇවිත් හැබැයි කලිසම නෑ – (ටික් ටොක් සංස්කෘතියේ අටපට්ටම් ප‍්‍රතිපලයක්)

1383

ශ‍්‍රී ලංකාව අලූතින් හැඩ ගැන්වී තිබේ. පෝර්ට් සිටිය මගින් ලංකා සිතියමේ භෞතික හැඩය වෙනස් කර ඇත. අන්තර්ජාලය මගින් එහි සංස්කෘතික හැඩය අටපට්ටම් කර ඇත. මේ අතර රාජ්‍ය සේවයේ හැඩය, දේශපාලනඥයන්ගේ හැඩය සහ බහුතරයේ චෛතසික හැඩය තවමත් පවතින්නේ සිව්පා ස්වරූපයෙනි. එවැනි රටක් තුළ හරවත් පුවත්වලට වඩා විසුළු පුවත් ඇත. ලංකාවේ නම සඳහන් නොවන තැපැල් මුද්දරයක් මුද්දර කාර්යාංශය හරහා මේ ළඟදී නිකුත් වූ බව දැන ගන්නට තිබේ. රටේ නම නැතිව මුද්දර නිකුත් කරන ලොව ඇති එකම මුද්දර කාර්යාංශය ඇති රට ශ‍්‍රී ලංකාව විය යුතුය. මෙයට අවුරුදු සිය ගණනකට පෙර බි‍්‍රතාන්‍ය කිරීටය විසින් ලෝකයේ පළමුවන තැපැල් මුද්දරය නිකුත් කළේ ද රටේ නම නැතිව ය. ඒ වන විට මුද්දර නිකුත් කළ ලොව එකම රට මහා බි‍්‍රතාන්‍යය වූ බැවින් ඒ ගැන කාටවත් ප‍්‍රශ්නයක් නොවීය. එහෙත් අද වනවිට රටවල් දෙසීයකට කිට්ටු ගණනක් ලොව තිබේ. ඒ නිසා රටේ නම මුද්දරයට යෙදීම අත්‍යවශ්‍යය. සාමාන්‍ය සම්ප‍්‍රදායට අනුව ශ‍්‍රී ලංකාවේ මුද්දරවල ප‍්‍රධාන භාෂා තුනෙන්ම රටේ නම සඳහන් කරනු ලැබේ. රටේ නම නැතිව මුද්දරයක් නිකුත් කිරීම සිහිමඳ භාවයේ ප‍්‍රතිපලයක් ලෙස අපි දකිමු. මෙවැනි වැඩ කරන්නේ ගංජා සුරුට්ටු හෙවත් සූස්ති අදින අයවළුන්ය. තමන් විසින් නිකුත් කරනු ලබන මුද්දරයකට නම නොදැමීමට තරම් අඤ්ඤං මඤ්ඤං තත්ත්වයේ සිටින මුද්දර කාර්යාංශයේ මහත්වරු මතු යම් දිනයක අමතක වීම නිසා කලිසම නැතුව වැඩට ආවොත් පුදුම නොවන්න.

 මේ වන විට ෆේස්බුක් මරණ සහ ෆේස්බුක් ස්ත‍්‍රී දූෂණ බර ගණනක් අසා ඇති අපේ අලූත්ම අත්දැකීම ටික් ටොක් මරණයකි. ටික් ටොක් යනු මෙයට අවුරුදු පහකට පෙර චීනයෙන් බිහිවූ සමාජ ජාල විශේෂාංගයක් වන අතර එය මහත් සේ ජනප‍්‍රිය වීම නිසා යුරෝපයේ ෆේස්බුක් ඒකාධිකාරයට ආධිපත්‍යවාදී චීනය විසින් දෙන ලද උත්තරයක් ලෙස සැලකීමට පුළුවන. මෙය සාමාන්‍යයෙන් යොදන්නේ විනාඩියක හෝ ඊට ආසන්න කාලයක ගීතයක් හෝ වෙනත් සීමිත ප‍්‍රාසාංගික අවස්ථාවක් නිරූපනය කිරීමටය. මේ වනවිට ලෝක ජනගහනය විසින් අවස්ථා බිලියන තුනකට වඩා ටික් ටොක් ඇප් එක ඩවුන්ලෝඞ් කරගෙන සිටිති. ඩවුන්ලෝඞ් කරනවා යන ඉංග‍්‍රීසි පරිගණක යෙදුමෙහි සිංහල වචනය වන්නේ බාගත කරනවා යන්නය. මාළු බෑම හෝ රැවුල බෑම වැනි අව්‍යක්ත ස්වරූපයක් බාගත කිරීම යන වචනය සතුව ඇති බැවින් ඩවුන්ලෝඞ් යන වචනය යෙදීම කෙරෙහි අපි උනන්දු වීමු. ඊයේ උදයේ අපට ලැබුණු වාර්තාවලට අනුව වැල්ලම්පිටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙක් ඝාතනය විය. කඩු පොලූ ඇතුළු තියුණු කැපෙන ආයුධ රැගෙන පැමිණි මිනීමරුවන් පිරිස ඔහු මරා දමා ඇත්තේ ”තෝ නේද ටික් ටොක් කරන එකා” යනුවෙන් අසමිනි. ඒ අනුව අදාළ තරුණයා හඳුනාගැනීමට යොදාගත් Term of Identification හෙවත් හඳුනාගැනීමේ පදය වී ඇත්තේ ටික් ටොක් ය. ඒ අතර, මේ මිනීමැරුම SMS එකක් නිසා හටගත් අවුලක ප‍්‍රතිපලයක් බවද කියනු ලැබේ. කෙසේ වුවද අවසන් ඵලයේදී මේ මරණයට කවර හෝ ආකාරයෙන් අන්තර්ජාලය සම්බන්ධ වී තිබේ.

 අවුරුදු 2500 පරණ බෞද්ධ සංස්කෘතියක් ලෙස හැඳින්වෙන නමුත් කිසිසේත්ම එසේ නොවන ව්‍යාජ සංස්කෘතියක් මේ රට තුළ මේ මොහොතේදී තිබේ. මඩ සෝදා ගත් කල (සබනුත් ගෑ යුතුය) රජකමට පවා සුදුසු බවට රොබට් නොක්ස් හඳුන්වා දුන් ගොවියාගේ සිට රටේ ජනාධිපතිතුමා දක්වා වූ හැම කෙනෙක් අතම මේ දිනවල ස්මාර්ට් ෆෝන් එකක් ඇත. මේ ෆෝන් කොතරම් ස්මාර්ට් වුවද එමගින් කෙරෙන වැඩ ඉතා පහත්ය. අන්තිම කුජීත, නීච, කැත වැඩය. මීට අවුරුදු 50 කට පෙර Blue Film එකක් සෑදීමට සම්පූර්ණ සිනමා කෲ එකක් අවශ්‍ය ය. කැමරා ශිල්පියා, අධ්‍යක්ෂ, නළු නිළියන් සහ වාජීකරණ බෙහෙත් ද සාමාන්‍ය චිත‍්‍රපටයක සිටින ලයිට් බෝයිලා, ප‍්‍රඩක්ෂන් මැනේජර්ලා ඇතුළු 30 ක පමණ පිරිසක් ද එවැනි වැඩකට අවශ්‍යය. දැන් ඒ වැඬේට අවශ්‍ය වන්නේ එක වලත්ත මිනිහකුත් අසරණ ගැහැනියකුත් ස්මාර්ට් ෆෝන් එකකුත් පමණි. අසරණ ගැහැනිය තම පෙම්වතිය බවට පත්කර ගන්නා වලත්ත පිරිමියා ඇය සමග හෝටල් කාමරයකට ගොස් ස්වකීය ස්මාර්ට් ෆෝන් එකෙන් සකලාංග සම්පූර්ණ බ්ලූ ෆිල්ම් එකක් හදයි. මෙහිදී ස්මාර්ට් ෆෝන් එකේ කැමරාව යොමුවන්නේ පෙරකී අසරණ ගැහැනියගේ නග්න සිරුරට සහ ලිංගික ක‍්‍රියාකාරකම්වලට පමණි. පිරිමියාගේ ගෙලෙන් පහළ පමණක් දැකගත හැකි අතර එයට හේතුව කැමරා ශිල්පියාත්, අධ්‍යක්ෂත්, නිෂ්පාදකත් වශයෙන් ඔහු ස්වකීය ආරක්ෂාව ගැන පරෙස්සම් වීමය. සති කිහිපයක ඇවෑමෙන් පෙර කී වලත්තයා සිය පෙම්වතිය අත්හැර දමා ඇගේ ලිංගික ක‍්‍රියාකාරකම් සහිත බ්ලූ ෆිල්ම් එක යූ ටියුබ් එකට හෝ ෆේස්බුක් එකට මුදා හරී. අසරණ තරුණිය මෙය දැනගන්නා විට ඇයට පාරේ ගමන් කිරීමට බැරි තත්ත්වයක් මතු වෙලාය. එක්කෝ ඇය වහ බොයි. එක්කෝ ළිඳකට නැත්නම් ගඟකට පනී. නැත්නම් ගෙල වැල ලා ගනී. මෙසේ මියගිය තරුණියගේ භාරකරුවන් බලගතු මිනිසුන් නම් වලත්ත මිනිහාට කඩු පහරක් හෝ වෙඩි පහරක් කෑමට සිදුවේ. ඒ මිනිසුන් අසරණයින් නම් සිද්ධිය යට යයි. සමාජ මාධ්‍ය පාලනය කිරීම සෑම රටකටම විශාල ප‍්‍රශ්නයක් වී තිබේ. දෙකෝටි විසි ලක්ෂයක් වෙසෙන ශ‍්‍රී ලංකාව තුළ අඩුම ගණනේ ස්මාර්ට් ෆෝන් කෝටි දෙකක් ඇත. මිනිසුන්ගේ ප‍්‍රකාශන අයිතිය හෙවත් අදහස් පළ කිරීමේ නිදහස එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන් මගින් සුරක්ෂිත කර ඇත. එහෙත් නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන ව්‍යාජයෙන් අන් අයගේ ජීවිතවලට එබිකම් කර ඒවායේ ඇති අති පෞද්ගලික රහස් පොළේ දමා විකුණන, ෆේස්බුක්, ටික් ටොක්, යූ ටියුබ් වැනි සමාජ ජාලවලින් සිදුවන හානියෙහි කෙළවරක් නැත. එහෙත් ලෝකය ඉදිරියට යන බැවින් ද අප ඒ සමග යා යුතු බැවින් ද අපට මෙයින් ගැලවීමක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment