පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදුලි බිලට පොලු තියති
පනතේ පරිදි පාරිභෝගික තැන්පතු සඳහා පොලී ගෙවා නැත
විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව නිසා බිලියන ගණනින් අලාභ
රට්ටුන්ට දරාගැනීමට නොහැකි අයුරින් විදුලිබිල වැඩිවී තිබේ. කොටින්ම කිවහොත් රටවැසියන්ගේ ඇඟවල් හිරිවැටෙන අයුරින් විදුලිබිල වැඩිවීම නිසා ඔවුහු දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට බෙල්ල දීමට සිදුවී ඇත්තේ රට්ටුන්ටය. විදුලිබිල ගෙවීම මාස දෙක තුනක් ප්‍රමාද වුවහොත් විදුලිය විසන්ධි කිරීම ක්ෂණිකව සිදුකෙරේ. ඒ සඳහා නිදහසට කරුණු නැත. ඇතැමුන් තම කණකර බඩු උගස්කොට විදුලි හා ජලබිල්පත් ගෙවා දැමීමට කටයුතු කරති. විදුලිබිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කළ විශාල පිරිසක් යළි සම්බන්ධතාව ලබා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. එහෙත් මේ කිසිවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නම් අදාළ නැත.
ජාතික විගණන කාර්යාලය මගින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සඳහා ලබාදී ඇති විදුලි සම්බන්ධතා 74ක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 16ක මුදලක් (එක්කෝටි හැටලක්ෂයක මුදලක්) අයවීමට තිබුණි. විගණනය මගින් සිදුකරනු ලැබූ නියැදි පරික්ෂාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විදුලිබිල නොගෙවා පොලු තබා ඇත. 2022 වර්ෂය අවසන් වනවිට මෙම මුදල අයවීමට තිබුණි. විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට මෙසේ අයවියයුතු මුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සඳහා ලබාදී තිබූ විදුලි සම්බන්ධතා 29කට අදාළව රුපියල් ලක්ෂ 50ක මුදලක් වසර හයක කාලයක් තිස්සේ අයකර නොගෙන පැවති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. තවත් විදුලි සම්බන්ධතා 30 කට අදාළව රුපියල් ලක්ෂ 30ක මුදලක් වසරකට වැඩි කාලයක් තිස්සේ අයකර නොගෙන හිගව තිබුණි.
අහිංසක දුප්පත් ජනතාව විදුලිබිල ගෙවීම ප්‍රමාද කළහොත් ක්ෂණිකව විදුලි සම්බන්ධතාව විසන්ධි කරන විදුලිබල මණ්ඩලය වසර ගණනාවක සිට විදුලිබිල නොගෙවා පොලු තැබූ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලිය විසන්ධි කිරීමට කටයුතු නොකරති. විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට ඒ සඳහා උනන්දුවක් නැත. විදුලියට පමණක් නොව ජල බිලටද ඇතැම් මැති ඇමැතිවරු පොලු තබා ඇත. විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට අමාත්‍ය නිල නිවාස සඳහා ලබාදී ඇති ජල සම්බන්ධතා 11ක් සම්බන්ධයෙන් රුපියල් හතලිස්පන්ලක්ෂ පනස්පන්දහස් එකසියහැටහතරක මුදලක් (4,555,164) 2022 වර්ෂය අවසානය වනවිටත් අයකරගැනීමකින් තොරව දිගු කාලයක සිට හිඟව පැවතුණි. එහෙත් මේ පිළිබඳ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ හිඟ මුදලක් අදාළ අමාත්‍යංශය මගින් අයකරගැනීමට කටයුතු කරඇති බවය. අභාවප්‍රාප්ත වූ ඇමැතිවරුන්ගේ හිඟ මුදල් කපා හැරීමට කටයුතු කර ඇති බවය. කෙසේවුවද විගණනය මගින් නිර්දේශකොට ඇත්තේ අදාළ පාර්ශ්වයන්ගෙන් හිඟ මුදල් අයකර ගැනීමට ප්‍රමාණවත් සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළයුතු බවය.
විදුලිබිල විදුලි වේගයෙන් වැඩිකරමින් රට්ටුන් මත බර පටවා තිබුණද ඒ ගැන විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු සේවකයන්ට වගේ වගක් නැත. ඔවුහු තමන්ට හිතු හිතු අයුරින් කිසිදු හිරිකිතයකින් තොරව විවිධ දීමනා ලබා ගනිති. ලංකා විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව ඉකුත් වර්ෂයේදී (2022) ඉංජිනේරු දිමනාව, දිරි දීමනාව, තාවකාලික දීමනාව ආදි දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418 මුදලක් ගෙවා තිබුණි. විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට කළමනාකරණ සේවා චක්‍රලේඛය අනුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන මෙම දීමනා ගෙවා තිබුණි.
එමෙන්ම 2008 අප්‍රේල් මස 09 වැනි දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව මෙකී දීමනා ගෙවා ඇති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ විතරක් නොව ශ්‍රී ලංකා විදුලිබල පනතේ දක්වා ඇති පරිදි විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගික තැන්පතු සඳහා පොලී මුදල්ද ගෙවා නොතිබුණි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් වාර්තා කරනු ලැබූ අනුපාත මත පදනම්ව විගණනය මගින් කරනු ලැබූ ගණනය කිරීම්වලට අනුව ඒ සඳහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් මිලියන 976කි. ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට නොගෙවූ සමුච්චිත පොලී මුදල රුපියල් බිලියන 09කි. එමෙන්ම විදුලිබල මණ්ඩලය විසින් ඉකුත් වර්ෂයේදී විදුලිබල පනතේ වගන්තිවලට පටහැනිව ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් තිදෙනකුගෙන් රුපියල් බිලියන 05ක් වූ ගිගාවොට් පැය 60.33ක බලශක්තිය මිලදීගෙන තිබුණි. මේ අයුරින් විදුලිය මිලදීගෙන තිබුණේ නියාමකගෙන් බලය ලබානොගෙන උත්පාදන බලපත්‍රයක් ලබානොගත් විශ්‍රාමලත් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් තිදෙනකුගෙන්ය. විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීමේ සැලසුමට අනුව කටයුතු නොකිරීම නිසා බිලියන ගණනක මුදලක් ගෙවා අතිරේක විදුලිබලයක් මිලදී ගැනීමට සිදුවී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
2022 – 2041 අවම පිරිවැය දිගුකාලීන ජනන පුළුල් කිරීමේ සැලැස්මට අනුව ඉකුත් වර්ෂයේදී මෙගාවොට් 544ක ධාරිතාවකින් යුතු නව පුනර්ජනනීය බලශක්ති බලාගාර ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් ක්‍රියාත්මක හැකිව තිබුණේ මෙගාවොට් 211 ධාරිතාවකින් යුතු නව පුනර්ජනනීය බලශක්ති බලාගාර පමණි.
මේ විදුලිබල මණ්ඩලයේ කෙරුවාවල්ය. විදුලිය මිලදී ගැනීමේදී එමෙන්ම නියමිත වේලාවට මුදල් නොගෙවීම නිසා ප්‍රමාද පොලී මුදල් ලෙස ඉකුත් වර්ෂය තුළ රුපියල් බිලියන 6.55ක මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තා මගින් අනාවරණය කොට තිබුණි. විදුලිබල මණ්ඩලය විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ දී රුපියල් බිලියන 8.92ක ප්‍රමාද පොලී ලෙස ගෙවා තිබුණි. ඒ විතරක් නොව දේශීය බංකු මගින් ලබාගත් ණය සඳහා ණය වාරික ආපසු ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් මිලියන 11කට සමාන දඩ පොලී මුදලක් ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
විදුලිබල මණ්ඩලයේ පවතින මෙවැනි අකාර්යක්ෂමතාව හේතුවෙන් බිලියන ගණනින් සිදුවන අලාභයන් සඳහා රටේ බදුගෙවන ජනතාවට වන්දි ගෙවීමට සිදුවී ඇත.
ඉකුත් වර්ෂයේදී විදුලි කිලෝවොට් පැයක සාමාන්‍ය පිරිවැය රුපියල් 33.65කි. එයට සාපේක්ෂව 2021 වර්ෂයේ පිරිවැය රුපියල් 19.42කි. ඉකුත් වර්ෂයේ දි විදුලි කිලෝවොට් පැයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 21.24කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ දි විදුලි කිලෝවොට් පැයක සාමාන්‍ය දළ අලාභය රුපියල් 12.41කි. 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දි විදුලි කිලෝවොට් පැයක සාමාන්‍ය දළ අලාභය සියයට 307කින් වැඩිවී තිබේ. ගල් අඟුරු ඇතුළු ඉන්ධන මිල ගණන් වැඩිවීම මේ සඳහා හේතුවී තිබුණි. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්ද විසන්ධි කරනු ලැබූ ජල පාරිභෝගිකයන්ගෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට හිඟ ණය මුදල් වශයෙන් එකසිය හැටදෙකෝටි විසිහත්ලක්ෂ අසූහතරදහස් පන්සියනමයක (1,622,784,509) මුදලක් අයවීමට තිබුණි.
මෙකී හිඟ ණයගැති ශේෂයෙන් සියයට 73කට සමාන රුපියල් එකසිය විසිකෝටි එක්ලක්ෂතිස්නමදහස් දෙසිය විස්සක මුදලක් (1,200,139,220) ආපසු අයකර ගැනීමකින් තොරව වසර දෙකක් තිස්සේ හිඟව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. හිඟ මුදලක් අයකරගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා පියවර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබඳ ජලසම්පාදන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ හිඟ මුදල් අයකර ගැනීමට දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන හා අනිකුත් නීතිමය හා නියාමන අවශ්‍යතා පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවට පිළිතුරු සමගින් විගණකාධිපති වෙත වාර්තාවේ පිටපතක් ඉදිරිපත්කොට ඇති බවය. ජලසම්පාදන මණ්ඩලය පාඩු ලැබුවද එහි සේවකයන්ට ගෙවනු ලබන දිරිදීමනාවල කිසිදු අඩුවක් සිදුවී නැත. ජලසම්පාදන මණ්ඩලය විසින් එකාබද්ධ අරමුදලට ලාභාංශ හෝ බදු බෙදාහැරීමකින් තොරව ප්‍රසාද දීමනා වෙනුවට නිෂ්පාදන දිරිදීමාන ලෙස ඉකුත් වර්ෂයේදී එහි සේවකයන්ට රුපියල් විසිහයකෝටි අසූතුන්ලක්ෂ විසිතුන්දහස් අනූදෙකක මුදලක් (269,323,092) ගෙවා තිබුණි. මේ සම්බන්ධන ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ මෙය ප්‍රසාද දීමනාවක් නොව භාණ්ඩාගාර චක්‍රලේඛය අනුව ගෙවනු ලැබූ දිරිදීමනාවක් බවය.
ලලිත් චාමින්ද