උපන්දා සිට පොතේ නොලියැවුණු මාර්ටින් වික‍්‍රමසිංහ අධ්‍යාත්ම චරිතය වයස් ගතවූ තැන් සිට

606

උපන්දාසිට ග‍්‍රන්ථයේ දෙවැනි කොටස වන වයස් ගත වූ තැන් සිට කෘතිය සඳහා 1973 වර්ෂයේ සිටම ලියූ සටහන් සහිත පැරණි දින පොතක් (1969) මාර්ටින් වික‍්‍රමසිංහ ලේඛනාගාරයේ පවත්නා ලේඛණ අතර ඇත. අනුපිළිවෙළ ලේඛනයක් නොවන එහි වික‍්‍රමසිංහයන්ගේ මතකයට නැගෙන අතීත වර්තමාන ජීවන තොරතුරු සටහන් කොට තිබේ. එහි එක් තැනෙක ..”Autobiography Second Part” යනුවෙන් සඳහන් කොට තිබිණ.

මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සිය ළමා විය, තරුණ විය, හා මැදි විය අලලා උපන්දා සිට ග‍්‍රන්ථය රචනාකොට පළ කළේ සිය වයස අවුරුද හැත්තෑ එකක් පිරුණ දිනයේ 1961 මැයි 29 දාය. එදිනට පසුව අවුරුදු පහළොවක් නිරෝගීව ජීවත්ව සිටි ඔහු මිය යන විට තවත් නවකථා දෙකක් හා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ දහ අටක් සිය ග‍්‍රන්ථාවලියට එකතු කොට තිබුණේය. ඒ අතරින් හතරක් ඉංගිරිසි බසින් රචිත ග‍්‍රන්ථ විය. ඊට අමතරව ලියා සංස්කරණය කොට මුද්‍රණයට යවා නොතිබුණ ග‍්‍රන්ථ හතරක් වික‍්‍රමසිංහයන්ගේ අභාවයෙන් පසුව පළ කරන ලදී.

සිය ජීවිත කාලය තුළදී ලියූ සියයකට ආසන්න එකී ග‍්‍රන්ථ සංඛ්‍යාව හැරුණු විට තවත් වටිනා ග‍්‍රන්ථ දෙකක් රචනා කිරීමට වික‍්‍රමසිංහ මහතා කරුණු රැුස්කරමින් සිටි බව මම පෞද්ගලිකව දනිමි. එසමයේ වික‍්‍රමසිංහ මහතාගේ ඇස් පෙනීම ඉතා දුබලව පැවති හෙයින් ඔහුගේ පොත්වල සෝදුපත් බැලීම සිදුකරන ලද්දේ මවිසිනි. එකල ඔහුගේ අවධානයට වඩාත් යොමුව තිබූ විෂයක් වූ, දඹදිව සිදුහත් බෝසතාණන් බිහිවුණු සමයේ පැවති විතණ්ඩවාදී බමුණු සමයට එරෙහිව නැගී සිටි කැත්කුල තරුණ පරපුරේ බුද්ධිමය පරිශ‍්‍රමය අලලා උපනිෂද් ග‍්‍රන්ථද ඇසුරු කොට ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයක් රචනා කිරීමට වික‍්‍රමසිංහ මහතා අදහස් කළේය. අනෙක් පොත වූ කලි සිය ආත්ම චරිත කථාව වන උපන්දා සිට ග‍්‍රන්ථයේ දෙවැනි කොටස එනම් මහලූ විය පිළිබඳ සිය ජීවන තතු අලලා ආඛ්‍යානයක් රචනා කිරීමයි. එම ග‍්‍රන්ථයට වයස් ගතවූ තැන් සිට යන නම යොදන බව වික‍්‍රමසිංහ මහතා වරක් මා සම`ග පැවසීය.

උපන්දාසිට ග‍්‍රන්ථයේ දෙවැනි කොටස වන වයස් ගත වූ තැන් සිට කෘතිය සඳහා 1973 වර්ෂයේ සිටම ලියූ සටහන් සහිත පැරණි දින පොතක් (1969) මාර්ටින් වික‍්‍රමසිංහ ලේඛනාගාරයේ පවත්නා ලේඛණ අතර ඇත. අනුපිළිවෙළ ලේඛනයක් නොවන එහි වික‍්‍රමසිංහයන්ගේ මතකයට නැගෙන අතීත වර්තමාන ජීවන තොරතුරු සටහන් කොට තිබේ. එහි එක් තැනෙක .. ”Autobiography Second Part”  යනුවෙන් සඳහන් කොට තිබිණ. තවත් තැනෙක ඊට පහළින් සිංහාවලෝකනය ආවර්ජනය යන නම් සටහන් කොට ඇත්තේ තම ග‍්‍රන්ථය සඳහා සුදුසු යැයි හැ`ගී යන නමක් සිතට නැ`ගුණු විටෙක විය යුතුය. වික‍්‍රමසිංහයන්ගේ අභාවය සිදුවන්නට වසරකට පෙර සිය ආත්ම චරිත කතාවේ දෙවැනි කාණ්ඩයට ඔහු යෙදූ නම වයස්ගතවූ තැන් සිට යන්නය. එය උපන්දාසිට යන ග‍්‍රන්ථ නාමයට ද නෑකම් කියන්නකි. වයස්ගත වූ තැන් සිට යන නම සිය චරිතපදානයේ දෙවැනි කාණ්ඩයට යොදන බව එතුමාගේ මුවින්ම කළ ප‍්‍රකාශයක් 1975 මැයි 29 වැනිදා තිස්ස අබේසේකරයන් සම`ග පැවති සම්මුඛ සාකච්ඡාවක ඇත. එවකට කිසිදු රූපවාහිනි මාධ්‍යයක් නොතිබූ බැවින් පිළිසඳර මෙහෙයවන ලද්දේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ චිත‍්‍රපට අංශය මගිනි. එම වාර්තා චිත‍්‍රපටයේ පහත සඳහන් දෙබස ඇතුළත්ය.

තිස්ස අබේසේකර : ඔබේ බාලවියත් මැදිවියත් අතරතුර කාලය සිහිකරන්ටත් ලියන්ටත් ඔබ කළ වෑයමෙහි ප‍්‍රතිඵලය උපන්දාසිට ග‍්‍රන්ථය ලෙස අපි කියවීමු. ඔබ මේ ලියන්නේ එහි දෙවැනි කොටස විය යුතුයි?

වික‍්‍රමසිංහ : ඔව්. දෙවැනි කොටස ලියන්නේ.

තිස්ස : එහි නම?

වික‍්‍රමසිංහ : වයස් ගත වූ තැන් සිට එම ග‍්‍රන්ථය ලියා අවසන් කිරීමේ බලාපොරොත්තුව වික‍්‍රමසිංහ මහතා තුළ පැවති බැව් දින පොතේ තැනින් තැන යොදා ඇති සටහන් වලින් පෙනී යයි. හදිසියේ රෝගාතුරව දිවි ගමන නිමා නොවිණි නම් වික‍්‍රමසිංහයන්ගේ අතීත, වර්තමාන ජීවන තතු මෙන්ම ආගම්, දර්ශනවාද, දේශීය හා විදේශීය දේශපාලන සමාජ හා සංස්කෘතික තොරතුරු පිළිබඳ කාලීන විශ්ලේෂණයන්ගෙන් එම ග‍්‍රන්ථයේ අන්තර්ගතය පෝෂණය වීමට ඉඩ තිබුණ බව පැහැදිලිය.

මානව පරිණාමය පිළිබඳව කරන මෙම දීර්ඝ විස්තරයට බුදුදහම හා මානව හිතවාදය ගැනත් බ‍්‍රාහ්මණ සමය හා උපනිෂද් දර්ශනය ගැනත් ඉංග‍්‍රීසි බසින් ලියන ලද පිටු දහයකින් යුතු විවරණයක් වෙයි. අනතුරුව සිය ළමා කාලයට හිත යොමු කරන වික‍්‍රමසිංහ පහත සඳහන් සටහන සිංහල බසින් ලියා තිබේ. ඔහු හෙළිකරණ මෙම තොරතුරු උපන්දාසිට ග‍්‍රන්ථයෙහි දක්නට නැත.

‘‘මා පළමුව පස් අවුරුදු වියෙහිදී සිංහල අකුරු උගත්තේ ගුරුගෙදර ගුරුන්නාන්සේගෙනි. එකල ගමේ වැදගත් මැද පන්ති ගැමියන් මෙන් මගේ තාත්තා ඇන්දේ චන්දරපටි සරමකි. උරහිසක් වසා තවත් චන්දරපටි සරමක් දමාගත් ඔහු බැනියමත් කමිසයත් නෑන්දේය. ගම්මුලාදෑනිකම ලත් ඔහුට හිමි කළුකබා රිදී පට්ටම ඔහු ගාලූ උසාවියට යන විට ඇන්දේ ඒ කබාය ලොකු ලේන්සුවක දවටා බැඳ ගාල්ලේ උසාවියෙන් මෙහා මයිල හතරක් වන කඩවත දීය. ඔහු තිරික්කලයෙන් බැස කඩවත ඔහු හඳුනන හෝටලයකට ගොස් අලූත් කබාය හැඳ රිදී පට්ටම කබායේ ගසාගෙන කඩවත සිට නගරයට යන තිරික්කලයක නැ`ගුණේය. පාලමෙන් එගොඩට පයින් ගොස් නගරයේ තිරික්කල වලට නගර සභාව වැඩි ලැයිසන් ගාස්තුවක් අය කළෝය. එහෙයින් ඒ ගාස්තුව නොගෙවූ ගම්වල තිරික්කල නැවැත්වූයේ කඩවතය. කඩවතින් එහාට තිරික්කල ගියහොත් අල්ලා නඩු පවරා දඩ ගසනු ලැබීය.

ගම්මුලාදෑනියා කළු කබාය දමාගෙන කඩවතින් ඇතුළු වී උසාවියට හෝ කච්චේරියට යැයි. එහි කටයුතු ද අවසාන වූ විට ඔහු ආපසු ඇවිත් කබාය ගලවා තබා පරෙස්සමෙන් උල්ලූරු ලේන්සුවේ තබා බැඳ කුලී තිරික්කලයක නැග ගමට එයි. අවුරුදු දහයකට දොළහකට පසු ගමේ මිනිස්සුන්ට කෝට් අඳින්නට පුරුදු වුණු විට මුලාදෑනියා ගෙදර සිටම කළු කබාය ඇදගෙන උසාවියට කච්චේරියට යන්ට පුරුදු විය.

පස් හැවිරිදි වියෙහි දී ගුරුන්නාන්සේ ගෙදරට ඇවිත් මට අකුරු ඉගැන්නුවේය. පුස්කොළ හෝඩියෙන් අකුරු උගත් මා නාමාෂ්ට ශතකය දක්වා සකු සිලෝපොත් උගත්තෙමි. අනතුරුව මම පන්සලට ගොස් මගේ ඥාති සහෝදරයකු වන ධීරානන්ද හිමියන්ගෙන් සතු හිතෝපදේශය උගත්තෙමි. ඔහු මා ලවා කියවූයේ දේවනාගර අකුරෙන් මුද්‍රිත හිතෝපදේශයයි. හත් අට හැවිරිදි වියෙහි සිටියකු හිතෝපදේශය කියවීමෙන් බොරු අහංකාරකමක් හටගත් නමුත් ඉගෙනීමේ ආසාවත් පොත් කියවීමේ ආසාවත් මා තුළ හට නොගත්තේය. දැනුම ලැබීමේ ආසාව මා තුළ උපන්නේ කොළඹ වෙළෙඳ සැලක රැුකියාවට ගිය කාලයේදීය.

ගමෙන් පිටව ගොස් වෙළෙඳසැලක ලිපිකරුවකු වශයෙන් ගත කළ කාලය පිළිබඳව උපන්දාසිට ග‍්‍රන්ථයේ නොලියැවුණු තොරතුරු බිඳක් තම ආත්ම චරිත කථාවේ දෙවැනි කාණ්ඩයට ඇතුළත් කිරීමට වික‍්‍රමසිංහ අදහස් කොට ඇත. පහත දැක්වෙන සැකිලි සටහන තබා ඇත්තේ ඒ සඳහාය.

‘‘කරෝලිස් සිල්වාගේ දෙවැනි ලියන්නා වශයෙන් ලැබුණු පඩිය: රු.15/=… හොඳින් වැඩ කළා. උගැන්මට ආසාව. මාලිගාකන්දේ යතිවරයෙකුගෙන් සිංහල, පාලි උගත්තා… කොරනේලිස් සිල්වාගේ සාප්පුව මඩකලපුව – මා මැනේජර් වෙළඳාම දියුණු කළා. පඩි ගැන මගේ ආසාවක් නෑ. සල්ලිවලට කිසිම ආසාවක් තිබුණේ නෑ. මා අර්ථ ක‍්‍රමය නොදත් මෝඩයෙක්. මගේ ආසාව පොත් කියවීම හා

උගැන්ම. ඩාවින්, ටොල්ස්ටෝයි, චැකෝෆ්, ගෝර්කි, ජීඞ් හා අනික් ශ්‍රේෂ්ඨ ප‍්‍රංශ කාරයන්ගේ නවකථා කියෙව්වා.

රැ නිදිමරාගෙන කියෙව්වේ උගැන්මේ ආසාව නිසා. ලීලා 19 වැනි වියේදී ලියුවා. එය බෞද්ධයන්ගේ ළාමක අදහස් තරයේ විවේචනය කළ ග‍්‍රන්ථයක්. එය විකිණුනේ නෑ.

කුඩා වියේ සිටම තම ප‍්‍රතිරූපය නංවා ගැනීමේ ආසාවක් මාර්ටින් වික‍්‍රමසිංහ චරිතය තුළ නොපැවති බව ඉහත දැක්වුණ අව්‍යාජ කියුම තුළින් හෙළි වෙයි. ඔහු හැම විටම සිතුවේ සාහිත්‍ය කලා ආදිය රටේ ජනතාවගේ යහපත උදෙසා මෙහෙයවිය යුතු බවයි. සිය දින පොතේ තවත් තැනක යොදා ඇති සටහනක් මෙසේය:

‘‘ලංකාවේ බෞද්ධ ප‍්‍රතිමා කලාවත් ඉන්දියාවේ බෞද්ධ ප‍්‍රතිමා කලාවත් හින්දු ප‍්‍රතිමා කලාවට පටහැනි බව මා සිංහල ඉංගිරිසි නිබන්ධවලින් පෙන්වා දී ඇති. බෞද්ධ කාව්‍යය අලංකාර ශාස්ත‍්‍රයට පටහැණි බවත් එය ලෝක සාහිත්‍යයට නෑකම් ඇති බවත් මම කලක සිට පෙන්නා දුන්නා. 10 වැනි සියවසින් පසු බෞද්ධ ගුරුකුල ක‍්‍රමය හින්දු ගුරුකුල ක‍්‍රමයට හසුව මදක් වෙනස් වූ බව මම මගේ පොත්වලින් කිවුවා. ගැමි සංස්කෘත රීතිය පාලි රීතියට ඉඳුරා පටහැණි බවත් සිංහල ජනකථාවල ජනකවිවල වටිනාකමත් තරුණ වියේදීම මම පෙන්වා දුන්නා. මේවා ගැන තරුණ ලේඛකයන්ට අලූත් මං ගැනීමට පුළුවන් වනසේ විවේචනාත්මක ලිපි පළ කළ හොත් අනාගත සිංහල සාහිත්‍යයේ දියුණුවට හේතුවනවා ඇත.

මාර්ටින් වික‍්‍රමසිංයන්ගේ 80 වැනි ජන්ම දිනය අලලා උපහාර කලාපයක් සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට ලියා යැවූ ලිපියක කෙටුම්පතක්ද ද ඔහුගේ ලේඛණ අතර වෙයි. එහි මෙසේ ලියා තිබිණි.

මගේ 80 වන අවුරුද්ද සම්පූර්ණ වන්නේ මැයි මාසයේ. විශේෂ කලාපයක් නිකුත් කිරීම නම් හොඳයි. එය තරුණ පරම්පරාවේ ලේඛකයන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි සම්පාදනය වන විවේචනාත්මක ලිපි සංග‍්‍රහයක් විය යුතුයි.

පළාතේ කලාකාරයන්ගේ සමගියත් සහයෝගයත් ඇති කොට ඔවුන්ගේ දියුණුවට වුවමනා දේ කිරීම ප‍්‍රධාන අදහස විය යුතුය. මා ගැන කිසිම වර්ණනාවක් කරන්නට වුවමනා නෑ. මම හැටපස් අවුරුද්දකට වැඩි කාලයක් පොත් ලියන්නටත් පොත්පත් කියවන්ටත් මුළු කාලය ගත කළා. කිසිවකින් අධෛර්ය වුණේ නෑ. මේ කරුණු තරුණ ලේඛකයන්ටත් කලාකාරයන්ටත් පෙන්වා දිය යුතු නොවේද?

දරුවන්ගේ පාසැල් අධ්‍යාපනය ගැන සිය පත පොතෙහි නොයෙක් තැන අදහස් පළ කළ වික‍්‍රමසිංහ මහතා සිය චරිතාපදානයේ දෙවැනි කාණ්ඩයෙහි ද ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව පහත දැක්වෙන සටහනින් පෙනීයයි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියම කොට තිබෙන්නේ සාහිත්‍ය ආස්වාදය ඉහළ පන්තිවල ළමයින්ට උගන්වන්ටයි. දැන් ඒ වෙනුවට සාහිත්‍ය විචාරය නමින් ඉගැන්වෙන්නේ ළමයින් නොමග යවා ඔවුන්ගේ මානසික වැඞීමට බාධා කරන දෙයක්. ළමයින් දැන් පොත් හොඳින් කියවා ආස්වාදයක් ලබන්නටත් තමන්ගේ වැටහීම අනුව පොත් කියවා තේරුම් ගන්නටත් මහන්සි ගන්නේ නෑ. ගi පi පොත් ගැන එකිනෙකා ලියන විචාර ග‍්‍රන්ථ කියවීමෙන් විභාග පාස්කරන්නට මහන්සි ගන්නවා . දැන් මාසයකට විචාර ග‍්‍රන්ථ දෙකතුනක් හා ස`ගරා රාශියකුත් පළවෙනවා. මෙය තරුණ පරම්පරාවට විපතක්.

ලියන්නට අදහස් කොට සිටි වටිනා ග‍්‍රන්ථ දෙකක අසම්පූර්ණ සටහන් ඉතිරි කොට තබා 1976 ජූලි 23 වැනිදා සැන්දායාමයේ හිරු අස්තංගන වෙද්දී මාර්ටින් වික‍්‍රමසිංහ මහා ලේඛකයා පසළොස් වසරකට අධික කාලයක් දිවි ගෙවූ නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි සිය නිවසේ නිදන කාමරයේදී සඳහටම නෙත් පියා ගත්තේය.

දයාපාල ජයනෙත්ති

උපන්දා සිට පොතේ නොලියැවුණු මාර්ටින් වික‍්‍රමසිංහ අධ්‍යාත්ම චරිතය වයස් ගතවූ තැන් සිට
advertistmentadvertistment
advertistmentadvertistment