උපන් බිමට නුඹ වැඩියක් වීද දුවේ… හල්දුම්මුල්ල කම්පා කළ ඛේදවාචකය

576

දින දෙකක් පමණ වයසැති සිඟිති දියණියක් මියගොස් අවසන්ය. රටම බරපතළ අඳුරක පසුවන මොහොතක හල්දුම්මුල්ල සොරගුණේ රදාකඳුර ප්‍රදේශයේදී මෙලොව එළිය දකින එම සිඟිත්තිය ඉකුත් 21 වැනි දින අවසන් ගමන් යන්නීය. අකල්හි එම මල් කැකුළ පරව යන්නේ ඇය මෙලොවට දායාද කළ දෙමාපියන්ගේ වරදින් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැති අඩුපාඩුවකින් නොව වෙනත් කරුණක් මුල්කර ගනිමින්ය. රටක් ලෙස එම අනුවේදනීය සිදුවීම සම්බන්ධයෙන් අප කම්පා විය යුතුය. කම්පා වීම පමණක් ප්‍රමාණවත් නැත. ලජ්ජා විය යුතුය. ඊට හේතුව බවට පත්වන්නේ දේශපාලන මඩ ගොහොරුවක් බවට පත්වූ බිමක උපන් ඇය, ඒ බිමට බර වැඩි වූ බිලිඳියක ලෙස මිය පරලොව යන්නට සිදුවීම හේතුවෙන්ය. මෙම සටහන තබන අවස්ථාව වන විටත් අලුත කපන ලද වළක් තුළ ඇය මිහිදන්ව ගොස් දින කිහිපයක් ගතව ඇත.

මල් කැකුළක් බඳු සිඟිත්තියක් අකල්හි මියයෑමත් ඉන් උපන් කම්පනයත් හේතුවෙන් සිඟිත්තියගේ පශ්චාත් මරණය පරීක්ෂණය සිදු කළ දියතලාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශානක රොෂාන් පතිරණ මහතා එම අනුවේදනීය සිදුවීම සම්බන්ධව මුහුණු පොතට සටහනක් එක් කිරීමත් සමග බොහෝ දෙනෙකුගේ අවධානය ඒ කෙරෙහි යොමුවිය. ඇස හරහා හදවතට ගමන් කළ එම අනුවේදනීය සටහනෙහි සඳහන්ව ඇත්තේ තමන් විසින් දියතලාව රෝහලේදී සිදුකළ 86 වැනි පශ්චාත් මරණ පරීක්ෂණය එම බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ බවත් එම කටයුත්ත තමන්ට අතිශය වේදනාත්මක අත්දැකීමක් ගෙන දුන් සිදුවීමක් බවට පත් වූ බවත්ය. වෛද්‍යවරයා විසින් මුහුණුපොතට එක් කළ සටහන නිමා කරමින් ලියා තබන්නේ… “මිනිය කපන්නත් දුකයි… සියලු අවයව හොඳින් හැදුණු දරුවෙක්. හෙණ ගහනව මේ කාලකන්නි දේශපාලුවන්ට… පස්සේ හිතුන මේ කාලකන්නි රටේ ජීවත් වෙන්නෙ නැතුව ඒ ළමය ගිය එක හොඳයි කියල…” යනුවෙන්ය.

අධිකරණ වෛද්‍ය නිලධාරී වෘත්තීය ගත් කල පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු එම වෘත්තියේම කොටසක්ය. ඉහත නම් සඳහන් වෛද්‍යවරයා විසින් සිදුකළ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය දින දෙකක් වයසැති මියගිය සිඟිත්තියගේ නොවන අතර එය අදාළ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන අවසන් පශ්චාත් මරණ පරීක්ෂණය ද නොවනු ඇත. දියතලාව රෝහලේ දී පමණක් එම වෛද්‍යවරයා විසින් මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ 86 ක් පමණ සිදු කොට ඇති බවට වෛද්‍යවරයා විසින් මුහුණු පොතට එක් කරන ලද සටහනෙහි සඳහන්ව ඇත. අත්දැකීම් බහුල වෛද්‍යවරයකු ඒ සා කම්පනයට පත් කිරීමට තරම් දින දෙකක් වයසැති මියගිය සිඟිත්තියක සමත් වූවේ කෙසේද? ඒ අන් කිසිවක් නිසා නොව අකල්හි මියගිය සිඟිත්තියගේ මරණය පිටුපස කටුක යථාර්ථයක් සැඟව පැවතීම හේතුවෙන්ය. එය රිදුම් උපදවන සුළුය. එම යථාර්ථය වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා වචන බවට පත් කරන ලද්දේ එබැවින් විය යුතුය.

මියගිය බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් රටක් ලෙස අප ලජ්ජා විය යුතුය යනුවෙන් ඉහත තැනක සඳහන් කරන ලද්දේ දින දෙකක් වයසැති තම දියණියගේ අකල් මරණය සම්බන්ධයෙන් දියතලාව මූලික රෝහලේ දී පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් ඇයගේ පියා වන මුහන්දිරම් රාලලාගේ ප්‍රියන්ත ඉඳුනිල් රත්නසිරි විසින් පවසා සිටී කරුණු කාරණා හේතුවෙන්ය. තම ආදරණීය දියණිය නිසි වේලාවට රෝහල්ගත කිරීමට නොහැකි වූ පශ්චාත්තාපයත් රෝහල් ගත කිරීම ප්‍රමාදවීම සඳහා බලපෑ සමාජ ඛේදවාචකයත් ඒ තාත්තා ගේ දුක්බර කටහඬෙහි විය. ඉහළට ගත් හුස්මක් “සුසුමක්” කොට මුදා හරිමින් ඔහු සාක්ෂි ලබාදෙන්නෙ මේ ආකාරයෙන්ය.

“…මම රැකියාව විදිහට කරන්නෙ වඩුවැඩ. 20 වෙනිද අපි රෝහලෙන් දරුවා ගෙදරට ගෙනාව. දරුව හොඳින් හිටිය. 21 රාත්‍රී 8.00 ට විතර දරුවව ගැහෙන්න පටන් ගත්ත. බිරිඳ දරුවාට කිරි දුන්නත් හොඳින් කිරි උරා බිව්වෙ නෑ. දරුවා ටිකෙන් ටික කහ පාට වුණා. අපි බය වුණා. බිරිඳ කිව්වා පුළුවන් තරම් ඉක්මනට දරුව අරගෙන රෝහලකට යමු කියල. මම කරුවලේම දුවගෙන ගොස් වාහනයක් සොයා ගැනීමට කීපදෙනෙකුටම කතා කළා. නමුත් පෙට්‍රල් නැති හින්ද ත්‍රීරෝද රථයක්වත් හොයා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. පැයකට වැඩි කාලයක් එහෙ මෙහෙ දුවල මහන්සි වෙලා තමයි ත්‍රීවිල් එකක් හොයා ගත්තෙ. ඊට පස්සේ දරුවව හල්දුම්මුල්ල රෝහලට අරන් ආවා. ඒ වෙද්දී අසාධ්‍ය තත්ත්වයේ හිටපු නිසා එතනින් මූලික ප්‍රතිකාර කරල දරුවව දියතලාව මූලික රෝහලට ගෙනාව. එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ දී දරුවා මිය ගියා. ඊට ටික වේලාවකට කලින් ගෙනාව නම් මගේ දරු පැටියා බේරගන්න පුළුවන්කම තිබුණ කියල වෛද්‍යවරු කිව්වා. පෙට්‍රල් හිඟය නිසා ඉක්මනින් වාහනයක් හොයාගන්න නොහැකිවීම නිසා තමයි මගේ දුවට මෙහෙම වුණේ…”

සියල්ල සිදුවී හමාරය. සිඟිත්තිය මෙලොව හැරයන්නේ තවමත් හුස්ම ගනිමින් සිටින අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කොට තබමින්ය. රට තුළ උද්ගතව ඇති ආර්ථික අහේනියේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ නැත. හදිසියේ රෝගාතුර වන තම සිඟිති දියණිය නිසි වේලාවට රෝහල්ගත කිරීමට එම දෙමාපියන්ට නොහැකි වන්නේ එබැවින්ය. එම “පමාව” හේතුවෙන් තරුණ දෙමාපිය යුවලකට තම ආදරණීය දරු පැටියා අහිමිව ගොස් ඇත. දස මසක් කුස දරා මෙලොවට බිහි කළ කිරි කැටි දියණිය දින දෙකක් ජීවත්ව සිට අකල්හි මිය යෑම ඒ අම්මා විසින් කෙසේ දරා ගනු ඇතිද? ඇයගේ කඳුළට වගකිව යුත්තේ කවුරුන්ද? රට හිඟමනට ඇද දැමූ පාලකයන්ට ශාප කිරීම මිස ඇයට කළ හැකි වෙනත් යමක් වේද? පුංචි මල් කැකුළිය අකලට මෙලොව හැර යන්නේ මේ ආදී වශයෙන් සිතන්නට බොහෝ දේ ඉතිරි කොට තබමින්ය.

උපදිනු විනා ජීවත් වීමට වරම් අහිමි ඇය මවු කුස පිළිසිඳ ගැනීමට පෙර, පෙර කල බෝසතාණන් දුටු පස් මහා බැලුම් බැලීමට සමත් වූයේ නම් වෙනත් දේශයක්, දීපයක් තෝරා ගනු නොඅනුමානය. ඊට හේතුව බවට පත් වන්නේ මේ මොහොත යනු මෙරට අන් කවරදාටත් වඩා කැත හිරිකිත දේශපාලන, ආර්ථික, සමාජයීය මඩ

ගොහොරුවක ගිලී තිබීමය. ඇය වේලාසන නික්ම යන්නේ එබැවින්ය. උපන් බිමට බර වැඩි වූ බැවින් සුරලොව ගිය කිරිකැටි දියණියට තනියක් නොදැනෙනු ඇත. ඇගේ තනිකම පිණිස සුර දූතියන් තනි රකිනු ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment