උපාධිය කරලා ගමට ගියා නම් දැන් ටීචර් කෙනෙක්

204

මගේ ස්වරූපය සිනමාවට මැච් වෙන්නේ නැහැ

වේදිකාව තුළින් රංගනයට පිවිසි ඇය නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක්. එදා රන්තිලි වැවේ මුතු මැණිකේ ලෙසත්” නීල පබළු පූජා වගේම අඳුන්ගිරේ පද්මාවතී ලෙසත් වෙනස් චරිත නිරූපණයෙන් ඔබ හමුවට පැමිණෙනවා. අද දවසේ වානුකි නිත්‍යා ලෙසින් ඔබ හමුවට එන ඇය නමින් නයෝමි තක්‍ෂිලා. මේ කතාබහ ඇයත් සමග.

නයෝමි වැඩිපුර කාලය වෙන් කළේ ජානු වෙනුවෙන්ද?

ඇත්තම කිව්වොත් ටෙලි නාට්‍ය අංශයෙන් ජානු වෙනුවෙන් විශේෂ තැනක් දීලා තියෙනවා. මොකද අලුතෙන්ම විකාශනය වුණ ටෙලි නාට්‍ය හින්දා.

ඔය අතරේ වේදිකාවේත් පුහුණුවීම් කරනවා?

එළැඹෙන 29” 30 දිනවල ඩග්ලස් සිරිවර්ධනගේ සුභ සැන්දෑවක් නාට්‍යය වේදිකාගත කරනවා. ඉතිං එහි පුහුණුවීම්වලත් නිරත වෙනවා. ඒ වගේම සචිත්‍ර රාහුබද්ධගේ හිතට වැටුණු මිසයිල වේදිකා නාට්‍යයත් අකිල සපුමල්ගේ හිනාවෙලා මිනිත්තුවක් වේදිකා නාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා.

නයෝමි වැඩිපුර කැමති වේදිකාවට ද?

මම ගමන පටන් ගත්තේ වේදිකාවෙන් නිසා වේදිකාව අතහැර යන්න බැරි තත්ත්වයක් තියෙනවා. කොච්චර වැඩ තිබුණත් මම මොකක් හරි ස්ටේජ් ප්ලේ එකක් කරනවා.

උපාධියෙන් ලබාගත් දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න අදහසක් තියෙනවද?

දැනට මම වැඩමුළු පවත්වාගෙන යනවා. ඩිප්ලෝමා එක අවසන් වෙලා තියෙන්නේ. උපාධිය අවසන් වෙන්න මට තව පුහුණුවීම් කිහිපයක් තියෙනවා. විභාග සියල්ල අවසන්. පුහුණුවීම් ටිකත් ඉක්මනටම අවසන් කරන්නයි හිතාගෙන ඉන්නේ.

මොනවද ඒ?

උසස් පෙළට වෙනකම් මගේ ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව තිබුණේ නැහැ. දහය වසරට වෙනකම් නැටුම් විෂය තිබුණේත් නැහැ. ඒ වගේම සෞන්දර්ය විෂය පිටිසර පළාත්වලට මඟහැරිලයි තියෙන්නේ. මට පුංචි කාලේ දැනුන ඒ අඩුපාඩුව දැන් මට පුළුවන් විදිහට මඟහරින්න පුළුවන් නම් මම ඒ වෙනුවෙන් උදව් කරනවා. ඒ හින්දයි මමත් මේ වැඩේට සම්බන්ධ වුණේ.

නයෝමි රැකියාවක් කරන ගමන් රඟපාන්නද කැමති?

ඔව්. මොකක් හරි රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන ගමන් මේ ක්‍ෂේත්‍රයේ ඉන්න එක වඩාත් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ දේවල් හැමදාම ස්ථිරත් නැහැනේ. අනික රඟපෑම මැරෙනකම් මේ විදියට එක දිගට කරන්නත් බැහැ.

උපාධිය කරලා ගමට ගියා නම් දැන් ටීචර් කෙනෙක්

වෘත්තීය නිළියක් කියලා හඳුන්වනවාට අකමැත්තක් එහෙම තියෙනවාද?

නැහැ. එහෙම අකමැත්තක් නැහැ. දැනට මම වෘත්තීය වශයෙන් කරන්නේ රංගනය. නමුත් මම මේ කියන්නේ අනාගතය ගැනයි. මොකද තව ඉස්සරහට අලුත් මුහුණු එනවා. අනික කාලයක් යද්දී අපිට හැමදාම කෙල්ලගේ චරිතය රඟපාන්නත් බැහැ. වැඩ අඩුවෙනවා. ඒ හින්දයි මම කිව්වේ මේක එක දිගට වෘත්තීය වශයෙන් කරන්න බැහැ කියලා.

ජානු හි නිත්‍යාගේ ආදරය ගැන රසිකයන් මොනවද කියන්නේ?

ආදරය ගැන කතා කළහම ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ නොලැබීම ගැන. ඒ හින්දයි මම හිතන්නේ ආදරයට මෙච්චර වටිනාකමක් දීලා තියෙන්නේ. නිත්‍යාගේ

චරිතයටත් එහෙමයි. එයා කොච්චර ආදරය කළත් එයාට එයාගේ ආදරය ලැබිලා නැහැ. මේ වගේ චරිත සමාජයේ ඕනෑ තරම් ඉන්න හින්දයි නිත්‍යාගේ චරිතය ගොඩක් මිනිස්සුන්ට දැනෙන්නේ. මොකද එයා නොලැබුණු ආදරයක් පස්සේනේ යන්නේ.

නිත්‍යාට එහෙම වුණාට නයෝමිට ඒ වගේ ප්‍රශ්න නැහැනේ?

නැහැ නැහැ නයෝමිට එවැනි ප්‍රශ්න නැහැ.

මේ වෙනකොට ගමේ හිටියා නම් මොනවා කරාවිද?

කොළඹට එන්නේ නැතිව ගමේ හිටියට කොහොමත් උපාධිය හදාරන්න හරි අනිවාර්යයෙන් කොළඹට එන්න වෙනවා. රඟපාන්නේ නැතිව උපාධිය කරලා ගමේ ගියා නම් දැන් අනිවාර්යයෙන්ම ටීචර් කෙනෙක් වෙලා ගමේ ඉස්කෝලෙක උගන්වනවා වෙන්න පුළුවන්.

කොළඹ ආපු ගමන ගැන සතුටින්ද?

උපාධිය කරලා ගමට ගියා නම් දැන් ටීචර් කෙනෙක්

ඇත්තටම සතුටුයි. කොළඹ ආවට පස්සේ තමයි ගමයි කොළඹයි අතර වෙනස දැනෙන්නේ. මම හිතන්නේ තරුණ ළමයි විදිහට අත්දැකීම් ලබාගන්න මෙවැනි පරිසරයකට එකතුවෙන්න ඕනෑ කියලා. එතකොට තමයි සමාජය ගැන වුණත් දැනුමක් ලැබෙන්නේ.

ගමේ ඉඳන් කොළඹ ආපු අය රැවටෙන්නත් පුළුවන්?

ඒක ඉතිං තමන්ගේ බුද්ධි මට්ටම පරිකල්පන ශක්තිය අනුව වෙන දෙයක්නේ. කොළඹ ඉඳලා ගමේ ගියපු කෙනෙකුට වුණත් වරදින්න පුළුවන්නේ. ගමේ ඉඳලා කොළඹ ආපු කෙනෙකුටත් වරදින්න පුළුවන්.

නයෝමිටත් ගැමි චරිත නේද වැඩිපුර ලැබෙන්නේ.

ඔව්. වැඩි හරියක් ගැමි චරිත තමයි මට ලැබිලා තියෙන්නේ. බටහිර පන්නයේ චරිතත් මට ලැබිලා තියෙනවා. මම හිතනවා මට සතුටුවෙන්න පුළුවන් විදිහේ චරිත මට ලැබිලා තිබෙනවා කියලා.

පසුගිය දවස්වල චිත්‍රපට කිහිපයකත් වැඩ කළා?

චිත්‍රපට දෙකක වැඩ කළා. කොරෝනාත් එක්ක ඒවා නිතර නිතර අතපසු වෙන්න ගත්තා. මම ගොඩක්ම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් තමයි ඉස්සරහට එන්නේ.

වැඩිපුර කැමති?

සිනමාවත් හොඳයි. නමුත් මම හිතනවා මගේ ස්වරූපය සිනමාවට මැච් වෙන්නේ නැහැ කියලා. ඊට වඩා මට ටෙලි නාට්‍යවලට සහ වේදිකාවට ආරාධනා ලැබෙනවා. මම ඒ දෙකට තමයි වැඩිපුර කැමති.

උපාධිය කරලා ගමට ගියා නම් දැන් ටීචර් කෙනෙක්

ගෙදරින් කියන්නේ නැතිද ගමට එන්න කියල?

අනේ නැහැ. මේ වගේ තැනකට ඇවිල්ලා ඉගෙන ගෙන හරි බුද්ධිමත්ව කිසි කෙනකුගෙන් කතන්දරයක් අහන්නේ නැතිව ඉන්න එක ගැන එයාලා මං ගැන හරි ආඩම්බරයෙන් ඉන්නේ.

මේ ගමන ගැන තෘප්තිමත්ද?

ඇත්තටම ඔව්. ගමේ හිටියා නම් මේ තත්ත්වය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේක මට පුංචි කාලේ ඉඳලා තිබුණු බලාපොරොත්තුවක්. මට අතපසුවුණු දේවල් වගේම මට වැරදුනු තැන් ගැන කොයිම වෙලාවකවත් පසුතැවෙන්නේ නැහැ. ආපස්සට හැරිලා බලද්දී මට තිබෙන්නේ සතුටුවෙන දේවල්.

ගෙදරින් විවාහයට එහෙම හදිසි කරන්නේ නැතිද?

ඔව් ඉතිං ගෙදරින් නම් කියනවා. මම ඉතිං ගෙදරට කියන්නේ විවාහය කියන්නේ හදිසිවෙලා ගන්න ඕනෑ තීරණයක් නෙමෙයි කියලා. ඒකට හරිකෙනා” හරි පුද්ගලයා හරි කාල වෙලාවට ආවට පස්සේ ඒ තීරණය ගන්න ඕනෑ කියන කාරණාව අපේ අම්මත් තේරුම් අරගෙන ඉන්නේ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment