උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් 37 වන වරටත් විදුලි ආලෝක පූජාව පැවැත්වෙන

23

සිත් අලවන සිතුල්පව්ව

ඓතිහාසික සිතුල්පව්ව පුදබිමේ විදුලි ආලෝක පූජාව 37 වන වරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙවරද පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සිංහල බෞද්ධ සංස්කෘතියේ මූලාරම්භය සනිටුහන් වූ පොසොන් පොහොය සමයෙහි මෙරට බෞද්ධයෝ සැදැහැති සිතින් රට පුරා නොයෙක් පින්කම්වල නිරත වෙති. ඒ අතරින් අනුරාධපුර, මිහින්තලය මෙන්ම රුහුණේ සිතුල්පව්ව වෙහෙර ද පින්කම් සිරියෙන් ඇලළී යයි. වන්දනාකරුවෝ සැදැහැ සිතින් මේ ස්ථාන කරා ඇදී එති. මෙරට බුදුසසුන පිහිටු වූ මුල් අවධියේ සිටම සිතුල්පව්ව රුහුණේ වැඩවිසූ භික්ෂුන්ගේ ආරණ්‍යක විහාරස්ථානයක් ලෙස ආරම්භ වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම මෙහි ජනාවාස පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන ඇත. එකල මෙය චිතල පවත, චිතල පවම යන නම්වලින් හඳුන්වන්නට ඇතැයි සෙල් ලිපි සාධක අනුව වටහාගත හැකිය. චිතල පවත යන සිංහල නාමය පාලි භාෂාවෙන් චිත්තල පබ්බත යනුවෙන් නාමකරණය වී ඇති අතර, වර්තමාන සිතුල්පව්ව යන නම එම පාලි ව්‍යවහාරය ඇසුරින් බිඳී ආව යැයි සිතිය හැකිය. පාලි අටුවාවන් හි චිත්තල පබ්බත යන්න සිත් අලවන ස්ථානය ලෙස හඳුන්වා අර්ථ දක්වා ඇත. ප්‍රාග් මහින්ද යුගයේ මෙහි විසූ ‘චිතල’ නමැත්තාගේ පර්වතය යන අරුතින් ‘චිතල පවත’ යන ව්‍යවහාරය බිහිවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එය කිහිරිගම පාලියේ දී කාචරගාම වී පසුව එයින් කතරගම යන්න බිඳී ආවා සේ ය.

පුරාණයේ කතරගම ඇතුළු මෙම ප්‍රදේශය පාලනය වූයේ කතරගම අගනුවර කරගෙන විසූ දසබෑ රජුන් ලෙස ප්‍රසිද්ධ වූ ක්ෂත්‍රිය රජ පරපුර මඟිනි. එහි ප්‍රධානියා විශාල සේනාවක් ඇති තැනැත්තා යන අරුතින් මහාසේන යනුවෙන් හැඳින්විණ. මහා බෝධිය වඩමවන අවස්ථාවට කතරගම ක්ෂත්‍රීයන් සහභාගි වූ බව මහාවංශයේ 19 පරිච්ඡේදයේ ද මහා බෝධිවංශයේ ද සඳහන් වේ. වර්තමානයේ කතරගම දෙවියන් ලෙස පුද පූජාවන්ට ලක්වන්නේ මෙම මහාසේන රජතුමා ය. හින්දු සංස්කෘතික බලපෑම් නිසා කතරගම දෙවියන් ස්කන්ධ කුමාර ලෙස හැඳින්වීමට යොමු වී ඇත් ද කතරගම දෙවියන් මෙරට ස්වදේශීය දෙවි කෙනෙකි. මහාසේන රජුගේ මරණයෙන් පසු දේවත්වයෙන් පිදීමට ජනයා යොමු වීමෙන් මෙම දේව විශ්වාසය හටගෙන ඇත. අනුරාධපුරයෙන් පලා ආ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග යුවරජු කතරගම ක්ෂත්‍රිය රජවරුන්ගේ උප රාජයකු ලෙස මෙහි සිටි බව පෙනේ. සෙල්ලි පිවල මහානාග උප රජ ලෙස මිස මහරජ ලෙස හඳුන්වා නොතිබීම ඊට සාධක ලෙස දැක්විය හැකි ය.

මහානාග යුව රජුගේ මනුබුරු ගෝඨාභය විසින් මෙම කතරගම ක්ෂත්‍රීයන් පරදවන ලද බව 14 වන සියවසට අයත් ධාතුවංශයේ සඳහන් වේ. ගෝඨාභයගේ මනුබුරු දුටුගැමුණු කුමරා එළාර සමග යුද්ධයට යෑමට පෙර එකල දේවත්වයෙන් පුදනු ලැබූ කතරගම මහාසේන දෙවියන්ගේ ආශීර්වාදයෙන් යුද්ධය ජයගත හොත් දේවාලයක් ඉදි කරවන බවට පොරොන්දු විය. ඒ අනුව කතරගම දේවාලය ගොඩනඟා එහි ආවතේව කටයුතු එතෙක් කරගෙන ආ පරිදිම සිංහලයන් වෙතම පවරා දෙන ලදී.

කතරගම ක්ෂත්‍රියයන්ගේ උපරාජයකු වූ මහානාග කුමරු විසින් සිතුල්පව්ව පුදබිම පළමුවෙන්ම ගොඩනංවන ලදී. එහෙත් එය සංවර්ධනය වූයේ කාවන්තිස්ස රජුගේ අනුදැනුම හා මඟපෙන්වීම යටතේය. එතුමා මෙහි දාන ශාලා, උපෝසථ ශාලා, ධර්ම ශාලා, ගිමන්හල්, සක්මන් මළු ආදී විහාරාංග ඉදිකරවා සහදේව රහතන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩමවා සත් දිනක් උත්සව පවත්වා සඟ සතු කොට පූජා කළ බවත්, තමාගෙන් පසු ඇතිවන යුව රජ, මාපා, ඈපා ආදීන් විසින් මේ තපෝ භූමිය ආරක්ෂා කළ යුතු බවට විධාන කළ බවත් මහාවංශයේ 22 සහ 24 පරිච්ඡේදවල සඳහන් වේ. ඉන් පසු මෙය බොහෝ භික්ෂුන් වැඩ සිටින ආරාමයක් බවට පත් විය. සම්මෝහ විනෝදනී අටුවාවේ සඳහන් පුවතකට අනුව එක් කලෙක සිතුල්පව්වේ භික්ෂුන් විසිහතර දහසක් පමණ වැඩවාසය කොට ඇත. මෙය කෙතරම් විශාල ආරාම සංකීර්ණයක්ව ඒ කාලයේ තිබෙන්නට ඇත්දැයි අපට යම් තරමකට අනුමාන කළ හැකිය.

මහානාග යුව රජු ආරක්ෂාව පතා මහාසේන රජු වෙත පැමිණිය ද ඔහුගේ මුනුබුරු වූ ගෝඨාභය මෙම ක්ෂත්‍රියයන් පරාජයට පත් කළ බවත්, ඉන්පසු කතරගම රාජ්‍යය මාගම රාජධානියේ උප රාජ්‍යයක් ලෙස පැවති බවත් මූලාශ්‍රවලින් තහවුරු වේ.

මහානාග යුව රජු සිතුල්පව්ව ආරාමය ආරම්භ කළ ද එය වැඩිදියුණු කරන ලද්දේ ඔහුගේ මුනුබුරාගේ පුතකු වන කාවන්තිස්ස රජතුමා විසිනි. එතුමා මෙහි දාන ශාලා, උපෝසථාගාර, ධර්ම ශාලා, සක්මන් මළු ආදිය කරවා සහදේව රහතන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩම කරවා සත් දිනක් උත්සව පවත්වා පූජා කළේය. මෙහි වාසය කළේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා ය. ග්‍රාමවාසීව වාසය කරන භික්ෂුන් වහන්සේ නමකට වුවද විදර්ශනා ධුරය පුරන්නේ නම් මෙහි වැඩ සිටීමට බාධාවක් නොවී ය. ඒ අනුව මෙය වෙනම සංඝ සංස්ථාවක් වශයෙන් නොපැවතුණ බව තහවුරු වේ.

දුටුගැමුණු, සද්ධාතිස්ස, වසභ, මහල්ලක නාග, දෙවන භාතිය තිස්ස, පළමු වන දප්පුල, පළමු වන විජයබාහු, දෙවන පරාක්‍රමබාහු යනාදී බොහෝ රජවරු සිතුල්පව්ව විහාරය සංවර්ධනය කළහ. දේවානම්පියතිස්ස යුගයේදී මෙහි දෙතිස් ඵලරුහ බෝධියක් රෝපණය කිරීම නිසා වඩාත් ප්‍රසිද්ධියට පත් විය. වළගම්බා රජු දවස ඇති වූ සාගතයේදී මෙහි වැඩ විසූ දොළොස් දහසක් භික්ෂුන් ආහාර හිඟකම නිසා තිස්ස මහා විහාරයට වැඩම කරන අතර, ආහාර හිඟය හේතුවෙන් තිස්ස මහා විහාරයේ සිට සිතුල්පව්වට වඩිමින් සිටි දොළොස් දහසක් භික්ෂුන් අතරමඟ දී මුණගැසී පවතින තත්ත්වය සාකච්ඡා කොට පිරිනිවන් පෑ බවත්, ගාම්භීර කන්දරා නදී තොට උන්වහන්සේලා මුණගැසුණු ස්ථානය බවත් විහංග අටුවාවේ සඳහන් වේ.

රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමත්, බලවත් රජවරුන් පහළ නොවීමත් නිසා ක්‍රමයෙන් වන ගහනය විසින් ගිල ගන්නා ලද මෙම උතුම් පින් බිම දිගු කලක් මහ වනයේ සැඟව පැවතිණි. දහ අටවන සියවස වන විට මෙය සම්පූර්ණයෙන් ම වල් බිහි වූ ස්ථානයක් බවට පත් විය.

එසේ පැවැති සිතුල්පව්ව පුදබිම පළමුවරට ඇස ගැටුණේ රාජ්‍ය වර්ෂ 1909දී හෙන්රි පාකර් නම් පුරාවිද්‍යාඥයාට ය. එතුමා මෙහි කටු පඳුරු අතරින් ගොස් සොයාගත් තොරතුරු සටහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කළේය. ඉන් වසර නවයකට පමණ පසු බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වන සිතුල්පව්ව හා ඒ අවට පිළිබඳ තොරතුරු මැනවින් හදාරා එම ස්ථානය පිහිටි යාල නවෝද්‍යානයට දායක මහතකු සමග වැඩි, ගාල්ලේ යටගල රාජමහා විහාරාධිපති, කවිකුල තිලක පූජ්‍ය කලහේ ගුණරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කටු අකුල් පීරමින් බොහෝ දුෂ්කරතා සිඳ සිතුල්පව්ව යළි මතු කර ගැනීමට සමත් වූහ.

පසුව උන්වහන්සේ දායක පිරිසක් සමග ගොස් විහාරස්ථානය එළි පෙහෙළි කොට භික්ෂු වාසයට යෝග්‍ය තත්ත්වයට පත් කිරීමට සමත් වූහ. ඒ සඳහා එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ භ්‍යු ක්ලිෆඩ්ගේ අනුමැතිය ලබාගත හැකි විය. පසුව මෙම ස්ථානය වැඩිදියුණු කිරීමේ වගකීම ගුණරතන හිමියන් විසින් පවරන ලද්දේ තම පැවිදි සහෝදරයකු මෙන්ම ශිෂ්‍යයකු ද වූ ඉලුක්පිටියේ ජිනරතන හිමියන් වෙතය. විහාරස්ථානයට ගමනාගමන පහසුකම් ඇති කරන ලද්දේ ජිනරතන හිමියන් විසිනි. අනතුරුව වත්තෙහේනේ රතනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි වත්තෙහේනේ පියරතන හිමියෝ මෙහි භාරකාරත්වයට පත් වූහ. ගරාවැටුණු ගොඩනැඟිලි පිළිසකර කරවීමට හා වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමට උන්වහන්සේ බොහෝ වෙහෙස වූහ. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවල දී පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අනුග්‍රය විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුය.

අනතුරුව ශාස්ත්‍රපති උණවටුණේ රතනජෝති හිමියන් විදුලිය ලබා ගැනීම, විශ්‍රාමශාලා ඉදි කිරීම සිදු කරන ලදී. නොබෝදා අපවත් වී වදාළ මැටරඹ හේමරතන නාහිමි සියලු විහාරාංග සම්පූර්ණ කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් 37 වන වරටත් විදුලි ආලෝක පූජාව පැවැත්වෙන

සිතුල්පව්ව රජමහා විහාරය ප්‍රමුඛ
අෂ්ටමහා විහාරාධිකාරි
ශාස්ත්‍රපති, ලේල්වල සමිත හිමිපාණෝ

advertistmentadvertistment
advertistmentadvertistment