උම්බෑ කිය කියා මරණ බයේ…

1420

1714 දී ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ හටගත් භයානක සිද්ධියකින් අද මේ තීරය අරඹමු. මෙකල එම ප‍්‍රාන්තය තුළ හින්දුවරුත් ඉස්ලාමීයයෝත් සම සමව වාගේ සිටියහ. හින්දුවරුන් විසින් ගවයාට සලකන ලද්දේ ශුද්ධ වූ වස්තුවක් ලෙසිනි. මේ කියන අවුරුද්දේ එක් දවසක හින්දු භක්තිකයින්ගේ ආගමික ඉසව්වක් වූ හොලි උත්සවය එළඹුණේය. එම උත්සව කාලයේදී විවිධ සායම් වර්ග එකිනෙකාගේ ඇඟවල්වල ගෑමත් උත්සවය අවසානයේදී හොලිකා නමැති ගිනි මැලයක් පත්තු කිරීමත් චාරිත‍්‍රය විය. ප‍්‍රාන්තවාසී ඉස්ලාමීයයෝ හැමදාමත් හොලි උත්සවයට විරුද්ධ වූ අතර එම සැමරුම් කඩාකප්පල් කිරීමට උත්සාහ කළහ. මේ අනුව 1714 හොලි උත්සවය දා ගවයකු කැටිව හින්දු බැතිමතකුගේ නිවස ඉදිරිපිටට පැමිණි ඉස්ලාමීයයන් පිරිසක් හින්දුවරුන් බලා සිටියදීම ගවයාගේ ගෙල කපා ඌ ඝාතනය කළහ. කෝපයට පත් හින්දුවරු ගව ඝාතකයාගේ පුතා අත්අඩංගුවට ගෙන ගවයාගේ ගෙල කැපූ අයුරින්ම පුතාගේ ද ගෙල කපා මැරීය. මේ සමගම ඉස්ලාමීයයන්ගේ සහයෝගයට ඉස්ලාමීය සන්නද්ධ පිරිසක් පැමිණ හින්දුවරුන්ගේ ගෙවල් ගිනි තබන්නට වූහ. හින්දුවරු ද දරුණු ලෙස ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළ අතර භයානක ජාතිවාදී කෝලාහලයක් ආරම්භ විය. මෙය කොතරම් දරුණු වූයේද යත් ගුජරාට් ප‍්‍රාන්තයේ වැඩිම ජනගහනයක් සිටින නගරය වූ අහමදාබාදය දක්වා පැතිර ගොස් නගරයෙන් භාගයක්ම අළුකර දැමුවේය. ගවයා යනු ආසියානු සංස්කෘතිය තුළ එතරම්ම සංවේදී සතෙකි.

 ඉහත සඳහන් පුවත අපට සිහිපත් වූයේ ගව ඝාතනය තහනම් කිරීම සඳහා ආණ්ඩුව විසින්, ප‍්‍රතිපත්තියක් වශයෙන් දැනටමත් සම්මත කරගනු ලැබ ඇති නීති ප‍්‍රායෝගිකවම ක‍්‍රියාත්මක කරන්නට සූදානම් වී ඇති බැවිනි. ගව ඝාතන නීති මේ රට තුළ ක‍්‍රියාත්මක කිරීම සඳහා පනත් පහක් සංශෝධනය කළ යුතු බව දැනගන්නට තිබේ. මේ සම්මත කිරීම්වලින් පසු ඉස්ලාමීයයන්ගේ සහ ගව මස් කෑමේ ආසාව ඇති සෙසු ජනයාගේ අයිතිවාසිකම් තහවුරු කරනු පිණිස පිටරටින් ගව මස් ගෙන්වනු ඇත. ඉන්දියාවේදී ගවයා යනු ශුද්ධ වූ වස්තුවකි. ඉන්දියාව සහ පාකිස්ථානය එක රටක්ව තිබූ කාලයේදී ගවයා යනු ශුද්ධ වූ වස්තුවක් නොවන බවට නඩු තීන්දුවක් පාකිස්ථානය පැත්තේ තිබූ උසාවියක්  මගින් ප‍්‍රකාශයට පත්කර තිබිණ. මේ කාලයේදී සමස්ත ඉන්දියානු භූමියම පාලනය කළේ ඉංග‍්‍රීසි පාලකයන් විසිනි. භේද කොට සහ බෙදා වෙන්කොට රටවල් පාලනය කිරීමේ බි‍්‍රතාන්‍ය ප‍්‍රතිපත්තියට අනුව ස්වකීය යටත් විජිත තුළ ජනවාර්ගික කෝලාහල හටගැනීම ඉංග‍්‍රීසීන් දුටුවේ විශාල වාසියක් ලෙසය. පාකිස්ථානය පැත්තේ තිබූ, බි‍්‍රතාන්‍ය නීතිය විසින් පාලනය කෙරුණු උසාවිය ගවයා යනු ශුද්ධ වූ වස්තුවක් නොවන බවට නඩු තීන්දුව දෙන ලද්දේ ඉස්ලාමීයයන් විසින් ගවයන් මරා කනු දැකීමටත් එයට පළිගැනීම සඳහා හින්දුන් විසින් ඉස්ලාමීයයන් මරා කනු දැකීමටත්ය. ගවයන් සුරැුකීමේ ව්‍යාපාරය අවුරුදු තුන් හාරසීයක් තිස්සේම ඉන්දියානු උප මහාද්වීපය තුළ තිබිණ. ඉන්දියානුවන් ගවයා සුරකින්නේ ඒ සතා දෙවියන්ට අයත් ශුද්ධ වූ වස්තුවක් ලෙසට ආගමික අර්ථ නිරූපනයක් හින්දු ආගමේ ඇති බැවිනි. ශ‍්‍රී ලංකාවේ ජනයා ද ගවයා සුරැුකීමට විවිධ ව්‍යාපාර දියත් කොට ඇති අතර එයට හේතු වන්නේ ගවයා යනු අහිංසක සතකු බව මේ රටේ බහු ජාතිය වූ සිංහල බෞද්ධයන් විසින් විශ්වාස කරනු ලැබීම ය. ගව ඝාතනය තහනම් කිරීමේ මූලික අඩිතාලම 1958 දී මෙරට පාර්ලිමේන්තු පනතක් මගින් තහවුරු කරන ලදී. අවුරුදු 12 ට අඩු වසු පැටවුන් සහ වැස්සි පැටවුන් ඝාතනය කිරීම මෙම පනත මගින් දැඩිව තහනම් කර ඇත. 2009 දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසට ඉල්ලමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් ළඟ එමින් තිබූ මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදී ඉස්ලාමීයයන් තරහ කර ගැනීමට අකමැතිවීම හෝ වෙනත් කාරණයක් නිසා එම යෝජනාව කෙටුම්පතක් කර සම්මත කර ගැනීමට එවකට පැවැති ආණ්ඩුව උනන්දු වූයේ නැත. මේ අතර 2012 සැප්තැම්බර් මාසයේදී නුවර නගර සභාව මගින් ඒකච්ඡුන්දයෙන් සම්මත කරගත් යෝජනාවකට අනුව නුවර නගර සභාවට අයිති සීමාවේ ගව ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කළ ප‍්‍රාන්ත කිහිපයක් ඉන්දියාවේ තිබේ. ගුජරාට්, මහාරාෂ්ට‍්‍ර, උත්තර් ප‍්‍රදේශ්, මධ්‍ය ප‍්‍රදේශ් යනාදිය එම ප‍්‍රාන්තයන් ය. මේ අතර හරක් මස් මිලට ගැනීම, විකිණීම සහ ළඟ තබා ගැනීම සිදුකළොත් සත් අවුරුද්දක හිර දඬුවම් පැමිණ වීමට අවශ්‍ය නීති ඉන්දියාවේ ලක්ෂද්වීප් ප‍්‍රාන්තයේ කෙටුම්පත් කෙරෙමින් පවතී. 2013 දී ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මහනුවරදී සිරුරට ගිනි තබා ගත්හ. පසුව උන්වහන්සේ එම පිළිස්සුම් තුවාලවලින් අපවත් වූහ. සිංහල රාවය, බොදුබල සේනා වැනි සංවිධාන කිහිපයක් ශ‍්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීම සඳහා ක‍්‍රියාකාරී සටනක නිරතව සිටිති. 2018 දී යාපනයේ තිබෙන සිව සේනායි නමැති සංවිධානයක් ගව ඝාතනය නවත්වන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

 ඉන්දියාවේ ගව ඝාතන විරෝධී අරමුණ සහ ශ‍්‍රී ලංකාවේ ගව ඝාතන විරෝධී අරමුණු එකිනෙකට වෙනස්ය. ගවයා ශුද්ධ වූ සතකු බැවින් නොමැරිය යුතු බවත් ගව මස් අනුභවය නොකළ යුතු බවත් හින්දු ආගමිකයන්ගේ මතයයි. නේපාලය ද මේ මතයම දරන නමුත් ඒ රටේ ඕනෑ තරම් Meat Sausages තිබේ. ඒවා සාදන්නේ හරක් මස්වලින් නොව මී හරක් මස්වලිනි. හින්දු ආගමේ හැටියට හරකා ශුද්ධ වූ වස්තුවක් වුවද මී හරකා ශුද්ධ වූ වස්තුවක් නොවේ. ලංකාවේ ගව ඝාතන විරෝධය වඩාත් මානුෂිකය. මේ රටේදී ගවයා යනු ශුද්ධ වූ සතකු නොවේ. මිනිස් දරුවන්ට කිරි දෙන මාතාවක ලෙස ද අහිංසක ශාක භක්ෂක සතකු ලෙසද මේ රටේදී ගවයාට සැලකිලි කරනු ලැබේ. ගව ඝාතකයෝ ගවයාගෙන් ප‍්‍රයෝජන රැුසක් ගනිති. ගව මස් ආහාර සඳහා විකුණනු ලැබේ. ගව කටු පොහොර සඳහා විකුණනු ලැබේ. ගව කුර මගින් ගම් වර්ගයක් සාදනු ලැබේ. ගවයාගේ අස්ථි සන්ධි සහ කාටිලේජ දියකර ජෙලටින් සාදනු ලැබේ. සම්වලින් සපත්තුද, බෙරද, සම් පටිද, බෑග් ද සාදනු ලැබේ. ගොම යනු ඉතා හොඳ කාබනික පොහොරකි. ගව මුත‍්‍රවලින් ආයුර්වේද බෙහෙත් සාදනු ලැබේ. මව් කිරි ළඟට දරුවන්ට හොඳම කිරි වර්ගය වන්නේ එළකිරි ය.

 ආණ්ඩුව ගව ඝාතනය තහනම් කරන්නේ නම් එය ඉතා යහපත් වැඩකි. මේ ලෝකය සම්පූර්ණයෙන්ම නිර්මාංශ ලෝකයක් වන්නේ නම් එය කොතරම් යහපත් වනු ඇත්ද?

advertistmentadvertistment