උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවීමට ගිය මහා විනාශයන් රැසක් උද්ඝෝෂණය කර නැවැත්තුවා – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

301

● ළිං අටදාහක් හිඳුණා
● තවමත් බව්සර් හයකින් වතුර බෙදනවා
● පන්සල් – පල්ලි 32ක් පිපිරුවා
● නිවාසවලට වූ හානියට ආණ්ඩුව ලක්‍ෂ 8572ක් වන්දි ගෙව්වා

උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවීමට ගිය මහා විනාශයන් රැසක්ම උද්ඝෝෂණ කර නැවැත් වූ බවත් උමා ඔය ව්‍යාපෘතිය නිසා තවත් පරිසර විනාශයන් ඉදිරියේදී සිදුවීමට නියමිත බවත් ජනතාවගේ ප්‍රශ්නය අවතක්සේරු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (24 දා) පැවසීය.

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු පාර්ශවයන් පහුගිය සමයේ දැක්වූ ප්‍රතිචාරයන් විවේචනය කරමින් ඉදිරිපත් වන අදහස් පිළිබඳව සිය මතය ප්‍රකාශ කරමින් ඔහු මේ බව කීවේය.

මහා ඛේදවාචකයක් සිදු වූ විට හානිය පෙනෙන නමුත් හානියක් වැළැක්වූ විට එය පෙනෙන්නේ නැතැයි ද සඳහන් කළ විද්‍යාසේකර මහතා සැබෑ සංවර්ධනයකට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ නැතැයි ද පැවසීය. උමා ඔය ව්‍යාපෘතියෙන් මුදල් ගසා කෑම් සොරකම් සිදු වූ බවද හිතෙම කීවේය.

ඔහු මෙසේද කීවේය.

උමා ඔය ව්‍යාපෘතිය තුන්වෙනි වතාවටත් විවෘත කළා. 2008 අප්‍රේල් 29 වෙනිදා තමයි මේකට මුල් ගල් තිබ්බේ. ඒ වෙනකොට මේකට පරිසර අධ්‍යයන වාර්තාවක් කර තිබුණෙ නෑ. එනිසා අපි විරුද්ධ වුණා. අධිකරණයට ගියා. ඊට පස්සේ ආණ්ඩුව 2010 නොවැම්බර්වල පරිසර අධ්‍යයන වාර්තාවක් සකස් කළා. මුල් ගල් තියලා අවුරුදු දෙකකට පස්සේ තමයි ඒක හැදුවේ. බාගෙට කරගෙන ගිය වැඩේ අනුමත වෙන විදිහට තමයි ඒක හැදුවේ.

එදා හරීන් ප්‍රනාන්දු කිව්වෙ බණ්ඩාරවෙල උද්ඝෝෂණයේ සීයට පන්දාහක් සාධාරණයි කියලා. අපි විතරක් නෙවෙයි රනිල්ගේ ළඟම ගෝලයොත් අපි උද්ඝෝෂණ සාධාරණයි කියල එදා කිව්වා.

පස්සේ විදෙස් විශේෂඥයොත් ඇවිල්ලා උමා ඔය ගැන පරීක්ෂණ කළා. ඒ අනුව ආපු නෝර්වේ විශේෂඥයෝ කිව්වේ නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව වැඩ ආරම්භ කිරීම විපතට හේතුව කියලයි. ඒවා මාධ්‍යවල පළ වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සංවර්ධන ව්‍යාපෘතියක් වන විට මහා හානියක් උනහම ඊට සහන සලසන්න කියලා රාජ්‍ය ආයතනයක් පිහිටපු අවස්ථා එකයි තියෙන්නේ. ඒ උමා ඔය ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වෙච්ච අයට සහන සලසන්න සහන ලේකම් කාර්යාලයක් බණ්ඩාරවල දැම්මා. වෙච්ච විපත වාර්තා කරන්න එයින් පත්කළ කමිටුවට බාර දුන්නා. ඌව පරණගම, ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, හාලිඇල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතට මහා හානියක් වුණා. අර සහන ලේකම් කාර්යාලයෙන් මාසෙන් මාසෙ අධ්‍යයනය කරලා මේ ප්‍රදේශවලට වුණ හානිය ආණ්ඩුවට වාර්තා කළා.

ආණ්ඩුවේ එම වාර්තාවලට අනුව ළිං අටදාහක් පමණ හිඳිලා තියෙනවා. හීල් ඔය හිඳුණා. මකුල් වැව නැතිවුණා. මිනිස්සුන්ට බොන්න වතුර නැතිවුණා. අපි ඒවාට එරෙහිව අරගල කරන විට ආණ්ඩුවට සිදුවුණා බවුසර් 76කින් වතුර බෙදන්න. දැනටත් බවුසර් හයකින් වතුර බෙදෙනවා. හැත්ත හය හය දක්වා අඩු වුණේ අරගලය හේතුවෙන් නව ජල ව්‍යාපෘති ආරම්භ කිරීම නිසා දැන් සමහර ප්‍රදේශවලට ජලය තිබෙන නිසයි. එක මාසෙක ලීටර් ලක්ෂ 585ක් බෙදලා තියෙනවා. ඔය විදිහට තව බෙදලා තියෙනවා.

අපි උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් හැටියට ලීටර් පන්සීයේ ජල ටැංකි දහදාස් නවසිය හැට තුනක් බෙදන්න ආණ්ඩුවට සිදුවුණා. පවුල් කීයකට බොන්න වතුර නැති වුණාද කියන එක ඒකෙන්ම පැහැදිලියි. වතුර නැති වුණා විතරක් නෙමෙයි මිනිස්සුන්ට ඉන්න ගෙවල් අහිමි වුණා. වගා බිම්වලට වතුර නැති වුණා. පන්සල්, පල්ලි තිස් දෙකක් පිපුරුවා. 2018 වසරේදී නිවාසවලට වූ හානිය වෙනුවෙන් ලක්ෂ 2262ක් ආණ්ඩුව වන්දි ගෙවා තියෙනවා. ඒ 2018 වසරේදී විතරයි. මේ වන විට සම්පූර්ණ වන්දි වශයෙන් ලක්ෂ අටදාස් පන්සිය හැත්තෑ දෙකක් ආණ්ඩුව ගෙවලා තියෙනවා. තවමත් ගෙවනවා. උමා ඔය ව්‍යාපෘතිය නිසා සම්පූර්ණයෙන් හානි වූ නිවාස පන්සිය හයක් අයින් කරලා තියෙනවා. 2018 වසරේදී විතරක් තමන්ගේ වගාවන්ට වූ හානිය වෙනුවෙන් ගොවීන් හාරදාස් පන්සිය හැත්තෑ අට දෙනෙකු වන්දි අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.

මෙන්න මේ ප්‍රශ්නෙටයි අපි පාරට බැස්සේ. එනිසා ජනතාවට වූ ප්‍රශ්නය අවතක්සේරු කරන්න එපා කියලා අපි කියනවා. සංවර්ධනයට අපි පක්ෂයි, හැබැයි අටුව කඩලා පුටුව හදන සංවර්ධනයකින් ඇති වැඩක් නෑ.

මහවැලි මහා සැලැස්මේ ඉහළ උමා ඔය සහ පහළ උමා ඔය කියලා විදුලි බලාගාර දෙකක් යෝජනා කර තිබුණා. ඒව හදන්නෙ නැතුවයි මේ වැඩේ කළේ. එදා අපේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් හැටියට නෝර්වේ, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවලින් විශේෂඥ කණ්ඩායම් ආවා. ඔවුන්ගේ නිර්දේශ අනුව උමා ඔය ව්‍යාපෘතිය මුල් සැලසුම් වෙනස් වුණා. ප්ලාස්ටර් කරන ක්‍රමවේදය වෙනස් කළා. ටැනර්බෝරින් මැෂින් එක යන වේගය වෙනස් කළා. ඒකේ බ්ලේඩ් එක වෙනස් කළා. උමං මාර්ගය වෙනස් කළා. අපේ උද්ඝෝෂණ හරහා මේ වෙනස්කම් නොකළා නම් අද මධ්‍යම කඳුකරයට වෙනදේ බලාගන්න තිබුණා. පරිසරය එක්ක ගනුදෙනු කරනකොට පාරිසරක මිතුරු සංවර්ධන සැලසුම් අවශ්‍යයි. මේක සතුරු සංවර්ධන සැලසුමක්. බත්මැඩිල්ල ගොවි ජනපද ව්‍යාපාරයට අනාගතයේදී මොකද වෙන්නේ කියලා බලමු.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment