උල

1352

මෙයට විසි අවුරුද්දකට පෙර මේ රටේ ලේඛකයන් සහ පර්යේෂකයන් කිසියම් අධ්‍යයන පත‍්‍රිකාවක් ලිවීමට අවශ්‍ය වූ විට මූලාශ‍්‍ර සඳහා දිව යන්නේ තැන් දෙකකටය. එකක් රාජ්‍ය ලේඛනාගාරයයි. අනෙක පුස්තකාලයයි. ශ‍්‍රී ලංකාවට අදාළ සියලූම ලිපි, තොරතුරු සහ සංඛ්‍යා ලේඛන කොළඹ පිහිටි රාජ්‍ය ලේඛනාගාරයේ ඇත. කිසියම් විදේශීය මූලාශ‍්‍රයක් අවශ්‍ය නම් කොළඹ මහජන පුස්තකාලයට ගොස් Encyclopedia Britannica සාම්පලයේ විශ්ව කෝෂයක් හෝ Keesings Contentrary Archives වර්ගයේ තොරතුරු ලිපි ගොනුවක් දිගහැර ගත්විට අවශ්‍ය සංඛ්‍යා ලේඛන හෝ ඉතිහාස කතන්දර සොයා ගැනීමට හැකිය. එහෙත් මීට අවුරුදු පහළොවකට පෙර මේ ක‍්‍රමය වෙනස් වූ නිසා පර්යේෂකයන් සියලූම දෙනා මූලාශ‍්‍ර සෙවීම පිණිස අන්තර්ජාලය ඇසුරු කිරීමට පටන් ගත්හ. ඒ තත්ත්වයට අපිද පත්ව සිටිමු. ලෝකයේ ඕනෑම රටක ජීවන වියදම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් Enumbeo නමැති වෙබ් සයිට් එකෙන් ඔබට උදව් ලබාගත හැකිය. මේ වෙබ් සයිට් එක හෙළිකරන පරිදි නූතන ලංකාවේ සිව් දෙනකුගෙන් සමන්විත නාගරික පවුලකට තුන් වේල කා බී ලයිට් බිල් වතුර බිල් ගෙවා ලෙඩ රෝග වලට බෙහෙත් ගෙන විලි වසාගෙන ජීවත්වීම සඳහා රුපියල් දෙලක්ෂ හැට දෙදහස් හාරසිය විසි අටක් මසකට අවශ්‍යය. මේ මුදල තුළ ගෙවල් කුලිය හෝ වාහන ලීසිං වාරික හෝ හවුසින් ලෝන් ඇතුළත්ව නැත. එසේම නගරාශ‍්‍රිතව ජීවත්වන වැඩිහිටියකුට රුපියල් හැත්තෑ හතරදාස් හයසිය අටක මාසික වියදමක් අවශ්‍යය. මෙහිද ගෙවල් කුලී, වාහන ලීසිං වාරික, හවුසින් ලෝන් යනාදිය ඇතුළත්ව නැත. ජාත්‍යන්තර ඇස්තමේන්තුව මෙසේ වුවද රුපියල් 20000 මාසික පඩියෙන් පස් දෙනකුගෙන් යුත් පවුලක් Run කළ හැකි පුදුම මිනිස්සු මේ රටේ තවමත් වෙසෙති. මෙවැනි පවුල්වල දරුවන් තිදෙනා පාසල් යති. බිරිඳ ගෘහණියකි. පියා රැකියාවක් කරයි. මේ පවුල මගින් නිරූපණය කරන්නේ ක‍්‍රමයෙන් දියාරු වී යන මාතෘ මූලික සමාජයේ සුන්බුන්ය. ගෙවල් කුලීත් ගෙවාගෙන තුන් වේලක් ආහාර ගෙන බස්, කෝච්චිවල ගමන් කරමින් ලයිට් බිල් හා වතුර බිල් ගෙවමින් මෙවැනි පවුල් ජීවත් වන්නේ කෙසේද යන්න සෙවීම අර්ථ ශාස්ත‍්‍රඥයන්ගේ සහ මානව විද්‍යාඥයන්ගේ යුතුකමකි.

ගෑස්, කිරි පිටි, සිමෙන්ති සහ තිරිඟු පිටිවල මිල පාලනය කිරීම අත්හැර දැමීමට ආණ්ඩුව මේවන විට තීරණය කර ඇත. ආණ්ඩුව තවදුරටත් එම භාණ්ඩවල මිල පාලනය කළොත් ගෑස්, කිරි පිටි, සිමෙන්ති සහ තිරිඟු පිටිවලින් විනිර්මුක්ත සමාජයක් මෙරට තුළ බිහිවීමට ඉඩ තිබිණ. පසුගිය දවස්වල සහල් සහ සීනිවල මිල පාලනය කිරීම ද ආණ්ඩුව අත්හැර දැමීය. ආණ්ඩුව එම ද්‍රව්‍යවල මිල පාලනය කළ අවසන් කාලයේදී හාල් ඇටයක් හෝ සීනි ඇටයක් හොයා ගැනීමට පාරිභෝගිකයන්ට බැරිවිය. ඉන්පසු ආණ්ඩුව කළේ සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමය. සහල් නිෂ්පාදකයෝ එම මිල පිළිගැනීමෙන් වැළකී සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් වැළකී සිටියහ. එවිට ආණ්ඩුව කළේ සියලූම වී මෝල් Raid කර සහල් තොග ස්වල්පයක් අත්පත් කර ගැනීමය. තවදුරටත් වැටලීම් සිදුකළද දහයියා මිස හාල් ඇටයක්වත් හොයාගැනීමට ආණ්ඩුවට බැරිවිය. වී මෝල්කාරයන් කිව්වේ තමන් සතු සියලූම සහල් තොග රජය විසින් පැහැර ගන්නා ලද බැවින් දහයියා මිස අන් යමක් තමන් සතුව නැති බවය. දහයියා යනු කුකුල් කෑමට යොදාගන්නා වී පොතුය. දහයියා අවශ්‍ය තරම් ප‍්‍රමාණයක් රජයට සැපයීමට වී මෝල්කාරයන් සූදානම් වූ නමුදු තමන් විසින් පාලනය කරනු ලබන්නේ මහජනතාව මිස කුකුල් ෆාම් නොවන බැවින් දහයියා වලින් ප‍්‍රයෝජනයක් රජයට නැතිවිය. අන්තිමේදී වී මෝල්කාරයන් සමග හැප්පී හොඳටම මහන්සි වී සිටි ආණ්ඩුව සහල් පාලන මිල ඉවත්කරන බව ප‍්‍රකාශ කළේය.
එයින් පැය හයක් යෑමට පළමු ලංකාවේ සුපිරි වෙළෙඳසල් සියල්ල කීරි සම්බා, සූදුරු සම්බා, නාඩු, සුදු කැකුළු සහ රතු කැකුළු, සාමාන්‍ය සම්බා යනාදියෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත්තේය. සහල් මිල තීරණය කිරීම භාරගත්තේ ඩඞ්ලි සිරිසේනය. කීරි සම්බා සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාලන මිල රුපියල් එකසිය තිහ නොඉක්මවද්දී ඩඞ්ලි කීරි සම්බා කිලෝව රුපියල් දෙසිය දහයකට මිල නියම කළේය. දැන් හාල් ප‍්‍රශ්නයක් නැත. ඇත්තේ සල්ලි ප‍්‍රශ්නය පමණි.

ගෑස්, කිරි පිටි, සිමෙන්ති සහ තිරිඟු පිටි යනාදියෙහි පාලන මිල රජය විසින් අත්හැර දමනු ලැබ ඇති මේ මොහොතේදී මෙතෙක් රුපියල් තුන්සිය අසූවට අලෙවි කළ ග‍්‍රෑම් හාරසීයේ කිරි පිටි පැකට්ටුව රුපියල් හාරසිය අසූවක් දක්වාද සිමෙන්ති මිල කිලෝග‍්‍රෑම් පනහක බහාලූමක් රුපියල් දෙසීයකින්ද තිරිඟු පිටි කිලෝවක් රුපියල් විස්සකින් ද ඉහළ යනු ඇත. ගෑස් වෙළෙන්දාගේ අවශ්‍යතාව සන්තර්පණය කිරීමට නම් කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 750 න්වත් මිල නැංවිය යුතුය. රුපියල් 20 ට තිබූ ප්ලේන්ටියක් රුපියල් 25 ටද පොඩි රෝස් පාන් ගෙඩියක් රුපියල් 30 දක්වාද බනිස් ගෙඩියක් රුපියල් 50 දක්වාද ඉහළ යෑමට නියමිතය. තිරිඟු පිටි මිල රුපියල් 20 න් ඉහළ ගිය විට බනිස් ගෙඩියක මිල රුපියල් 10 න් ඉහළ දැමීමට බේකරිකාරයන් කටයුතු කරන්නේ පිටි කිලෝවකින් බනිස් ගෙඩි 2 ට වඩා සෑදිය නොහැකි බව කල්පනා කරමිනි.

ලංකාවේ අමු ද්‍රව්‍ය මිල වැඩිවීම සහ භාණ්ඩ මිල වැඩිවීම අතර සුවිශාල වෙනසක් තිබේ. කිරි පිටි සහ වෙනත් පාරිභෝගික ද්‍රව්‍ය අනිසි ලෙස මිල ඉහළ දමා අසුවන වෙළෙඳුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව වෙළෙඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න කියා ඇත. මේ සම්බන්ධයෙන් ලසන්තට ගත හැකි දැඩි පියවර කුමක්ද? වෙළෙඳුන් අල්ලා උල තැබීමද? උල් සියල්ලම මේ මොහොතේ ඇත්තේ වෙළෙඳුන් අතය. ඒ නිසා ආණ්ඩුව වෙළෙඳුන්ගෙන් පරිස්සම් නොවුණහොත් ඔවුන් විසින් ආණ්ඩුව අල්ලා උල තබනු ලබනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment