ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ ප්‍රියලාල් චමින්ද සිරිසේන මහතා ඊයේ (29දා) අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළේය.
පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය අසල විරෝධතාවක නිරතව සිටි සාමකාමී අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සැකකරුවකු වන එම මන්ත්‍රීවරයා
පසුගිය 28 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකට එරෙහිව එකී පැමිණිල්ල ගොනු කළේය.
එහිදී අරගලකරුවන්ට රජයේ මර්දනයට මුහුණදීමට සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයේ අඩංගු කරුණු එනම් “අද නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්, නීතිඥ සංගමයේ සමහර නිලධාරීන්, සමහර විනිසුරුවරු වගකියන්න ඕනා. මේ අපරාධකාරයන්ව අද ගෙනිච්චා හෙට ඇපදීලා එළියට දානවා. එයාලා කිසිම බයක් සැකක් නෑ. ඒ කියන්නේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. එම් සී එකෙන් (මහෙස්ත්‍රාත් උසාවියෙන්) ඇපදීලා යවනවා. ඒ නිසා ඒකට සමහර නිලධාරීන් වගකියන්න ඕන කියන එකයි මගේ අදහස.”
මන්ත්‍රීවරයාගේ එකී ප්‍රකාශ රටේ නීතියට අධිකරණයට හා අධිකරණ නිලධාරීන්ට (විනිසුරුවන්ට) කළ දැඩි අපහාසයක් වන බැවින් එකී මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන හා හඬපට අධිකරණය හමුවට කැඳවීමට අභියාචනාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝගයක් කරන ලෙසත් සිය පැමිණිල්ල විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙනතුරු ඔහුගේ විදේශ ගමන් වළක්වන නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කාර නීතිඥවරයා එමගින් ඉල්ලා ඇත.
නීතිඥ සම්පත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා නීතිපතිවරයා නම්කර ඇත.
අධිකරණයට, විනිසුරුවන්ට නීතියට ආධිපත්‍යයට අපහාස වන ආකාරයේ එවැනි ප්‍රකාශ තවදුරටත් සිදුකිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මුල් අවස්ථාවේදීම සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට නිකුත් කරනා ලෙසටද පෙත්සම්කාර නීතිඥ පද්මසිරි දිසානායකලාගේ ප්‍රියලාල් චමින්ද සිරිසේන මහතා සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඔහු සිදුකළ ජනතාව නොමග යවන සුළු එම ප්‍රකාශයට ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබීම නිසා එය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක් නොව පක්ෂයේ මතයක් ලෙස සමාජගතවී ඇති බවත් පෙත්සම්කාර නීතිඥවරයා එමගින් වැඩිදුරටත් අභියාචනාධිකරණයට පෙන්වාදී තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක