උසාවියට අපහාස කළැයි මෛත්‍රීට එරෙහි පෙත්සම සැප්. 2 කැඳවයි

46

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (10) දින නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම ඊයේ කැඳවනු ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට මැදිහත්වීම හා සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග නිකුත් කර තිබියදීත් මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට මැදිහත් වන බව පෙනී යන්නේ යැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් පවසයි. එබැවින් අධිකරණ නියෝග නොසලකා හරිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට අපහාසයක් සිදු කර තිබෙන බව ද පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එම නිසා නිසි විමර්ශනයක් පවත්වා ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ. පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment