සැකකරු යාපනයේ පදිංචිකරුවෙක්
ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුවලට හොරෙන් ඉන්දියාවට පලා යමින් සිටියදී, ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රඳවා ගෙන ඊයේ (30 දා) උදෑසන ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ.
මොහු 45 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි.
ඔහුට එරෙහිව යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව සහ මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබුණි.
එසේ තිබියදී 29 වැනිදා රාත්‍රී 11.45 ට ඉන්දියාවේ මුම්බායි වෙත පිටත්ව යෑම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 141 දරන ගුවන් යානයට ගොඩවීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොහු මෙම ගුවන් යානය පිටත්වීමට ආසන්න වනවිට ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළු වෙත පැමිණ, නිලධාරීන් කිසිවකු නොමැති ස්ථානයක් බලා, ඒ අතරින් රිංගා ගොස් තිබේ.
මේ බැව් ආගමන විගමන නිෂ්කාශන කටයුතු කර ගැනීමට පැමිණ සිටි ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාවක විසින් දැක ඒ බැව් ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව එම කාන්තාව සමග ආගමන විගමන නිලධාරීන් මෙම පුද්ගලයා සොයා ගිය ද ඔහු ඒ වනවිට අදාළ ගුවන් යානය වෙත ගොස් තිබුණි.
පසුව මෙම නිලධාරීන් ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයාට මේ බැව් පවසා, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර, මොහුගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය පරිගණක පද්ධතිය මගින් ලබා ගෙන පරීක්ෂා කිරීමේදී, මොහු ගුවන් ගමන් තහනම් දෙකක් ඇති පුද්ගලයකු බවට කරුණු අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව වහාම කටුනායක ගුවන් ගමන් පාලන මෙහෙයුම් මැදිරිය අමතා මේ තොරතුරු දැනුම් දී ඇති අතර, ඒ වනවිටත් මෙම ගුවන් යානය ශ්‍රී ලංකා සීමාවෙන් ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී තිබුණි.
පසුව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කළමනාකරු මගින් මේ පිළිබඳ මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා, ඉන්දියාවේ මුම්බායි නුවර ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු සහ එරට ගුවන් ගමන් මෙහෙයුම් පාලන මැදිරිය දැනුවත් කිරීමට ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි.
ඒ අනුව මෙම ගුවන් මගියා ඊයේ (30 දා) ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් ආපසු රැගෙන විත් කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.
මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ විගමන කවුළුව වෙත නොපැමිණිය ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි ව්‍යාජ කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව සටහන් වී තිබුණි.
එහිදී අත්අඩංගුවට ගත් මෙම ගුවන් මගියා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.
ප්‍රධාන ආගමන විගමන නිලධාරී එන්.කේ. ගුරුගේ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.ආර්. සේනානායක, කේ.ඒ.එන්.ජී. බණ්ඩාර, පී.ඒ.සී.පී. පතිරාජ සහ ඩී.එම්.සී.ජේ. දසනායක යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදු කරති.
කටුනායක ටී.කේ.ජී. කපිල