උසාවි නොආ චම්පිකගේ ලෙඩේ ගැන වාර්තාවක් දෙන්න: අධිකරණය අවභාවිත කිරීමේ වෑයමක් – නි. සොලිසිටර් ජනරාල්

221

නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබියදී ඊයේ (11 දා) අධිකරණය හමුවේ පෙනී නොසිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබා ගන්නා බව කියන හිටපු අමාත්‍ය සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් වහාම සවිස්තර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ පස්වරුවේ කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

පෙරේදා (10 දා) පස්වරුවේ අධිකරණයට පැමිණ සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක පෙරේදා රාති‍්‍රයේම රෝහල්ගත වී ඇත්තේ හිතාමතාම නඩු විභාගයට මුහුණ නොදී නඩු විභාගය කල්තැබීමේ අරමුණින් බව පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම හා විත්තිය අධිකරණයට ඉදිරිපත් කොට තිබූ විත්තිකරුගේ වෛද්‍ය වාර්තාව කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය කළේය. ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ එම නඩුවේ නඩු විභාගය අත්හිටුවන ලෙසට කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් පෙරේදා ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් පසුව විත්තිකරු හිටිහැටියේ රෝහල්ගත වී ඇති බවත් එය පැහැදිලිවම අධිකරණය අවභාවිත කිරීමට දැරූ වෑයමක් බවට පෙනී යන්නේ යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් ඔහුට මසක පමණ කාලයක් අධිකරණය හමුවේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝගයක් කරන ලෙසට ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එකී වෛද්‍ය වාර්තාව කියැවීමට අපහසු අත් අකුරින් ලියන ලද වෛද්‍ය වාර්තාවක් වන්නා සේම එහි සඳහන් වනුයේ කුමන රෝග තත්ත්වයක්දැයි නිශ්චිතව දක්වා නොමැති බව සිය අධිකරණයට පෙනී යන්නේ යැයි පෙන්වාදුන් මහාධිකරණ විනිසුරුවරයා එකී වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ පි‍්‍රයංකර ජයවර්ධන නමැති විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය.

කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙත තම අධිකරණය විසින් නිකුත් කළ එම නියෝග දෙක ඊයේම අදාළ නිලධාරීන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසට ද අධිකරණය හමුවේ පෙනී සිටි කොළඹ අපරධ කොට්ඨාසයේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයන්ත ලාල් මහතාට විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිදුකරනු ලැබුවේ සාධාරණ ඉල්ලීමක් බවට නිගමනය කළ විනිසුරුවරයා එම නියෝග නිකුත් කළ අතර එම නඩුව ලබන 21 වැනිදා යළි කැඳවීමටද දින නියම කළේය.

අධිකරණයේ නියෝගය පරිදි නඩුව වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා සාක්‍ෂිකරුවන් මෙන්ම යුක්තිය ඉල්ලා වින්දිත තරුණයා ඇතුළු පිරිස ද අධිකරණය හමුවේ පෙනී සිටියදී කුමක් හෝ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ විට විත්තිය ඉල්ලා සිටින පරිදි දීර්ඝ කාලයකට නඩු විභාගය කල්තැබීම සෙසු පාර්ශ්වවලට ද වැරදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2016.02.28 වැනිදා රාති‍්‍ර රාජගිරිය ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබූ අතර දෙවන විත්තිකාර තුසිත දිලූම් කමාර හා තුන්වන විත්තිකාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පළමුවන විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා පෙනී සිටි අතර නීතිඥ ශාලික ගුණවර්ධන මහතා දෙවැනි විත්තිකරු වෙනුවෙන් ද නීතිඥ චාරක ඇන්ටන්, නීතිඥ ජයබා කළුපහන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා තෙවන විත්තිකරු වෙනුවෙනුත් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment