උසාවි බිමේදී කෙහෙළිය හිරවේ රට යන්න අවසර ලැබෙයි

190

පැමිණි රථය මග දමා ආරක්‍ෂක රියෙන් පිටවෙයි

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (01දා) අවසර ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීමේ කාර්ය සඳහා ඔහු විදේශ ගතවන බැවින් එලෙස සිය සේවාදායකයාට විදේශ ගතවීමට ප්‍රමාණවත් කාලයක් සඳහා අවසර නොලැබුණහොත් ඖෂධ ලබා ගැනීමේ කාර්යයට දැඩි බාධාවක් විය හැකි බවත් පවසමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා ඔහුට පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය තාවකාලිකව ඉවත්කිරීමට ද නියෝග කළේය.

කුමන කරුණක් මත වුවත් එම නඩුව ප්‍රමාදයකින් තොරව ඉදිරියට පවත්වා ගෙන යෑම සිදුකළ යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා කරුණු දක්වමින් අධිකරණයට පැවසීය. ඒ අනුව විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදේශ ගතවන කාලය අතරතුර එම නඩු විභාගය සඳහා කැඳවන්නේ නම් විත්තිකරු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ නඩු කටයුතු ඉදිරියට පවත්වා ගෙන යෑමටද විනිසුරුවරයා අවසර ලබා දුන්නේය. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැමිණ තිබූ වාහනය ඊයේ (01දා) උදෑසන මහාධිකරණ සංකීර්ණය තුළ ගාල්කර තිබූ අතර නඩු කටයුතු අවසන්වී පිටතට පැමිණි පසු එම වාහනය අධිකරණය සංකීර්ණයෙන් පිටතට ගැනීමට නොහැකි වීම නිසා පැය භාගයකට අධික කාලයකට පසුව ආරක්‍ෂකයන් පැමිණි වාහනයේ නැගයෑමට ඔහුට සිදුවිය. නීතිඥවරුන්ගේ හා ආරක්‍ෂක අංශවල වාහන පමණක් මහාධිකරණ සංකීර්ණය තුළට ඇතුල්කිරීමට අවසර හිමිව තිබියදී අමාත්‍යවරයාගේ වාහනය නිසි අවසරයකින් තොරව අධිකරණ සංකීර්ණය තුළට ඇතුල්කිරීම සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙක් විරුද්ධත්වය දැක්වූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment