උ.පෙළ දින 6කින් කල් යයි

74

කාලසටහනට අනුව උ.පෙළ ලබන 4 සිට – විභාග කොමසාරිස් ජනරාල්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගයට ලබාදී ඇති කාලසටහනට අනුව ලබන දෙසැම්බර් 04 වැනිදා සිට එය ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (28දා) ප්‍රකාශ කළේය. දෙසැම්බර් 04 ආරම්භ කරන්නේ 04 වැනිදාට නියමිත විෂයන් බවද ඔහු කීය. මේ අනුව විභාගය දින 06ක් කල්ගොස් ඇත.

මීට පෙර නොවැම්බර් 27, 28, 29 යන දිනයන්වලට අදාළව පැවැත්වීමට තිබූ විෂයන් නොවැම්බර් 30, දෙසැම්බර් 02, දෙසැම්බර් 03 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයාගේ ද උපදෙස් මත අධ්‍යාපන ඇමැතිනි අගමැති හරිනි අමරසූරිය, අමාත්‍යාංශ ලේකම්, විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පෙරේදා (27දා) සිදුකළ සාකච්ඡාවකින් පසු විභාගය නැවත නොවැම්බර් 30 වැනිදා නොව දෙසැම්බර් 04 වැනිදා සිට පැවැත්වීමට තීරණය කළ බවද විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

දෙසැම්බර් 04 වැනිදාට අදාළ කාලසටහන අනුව පෙරවරුවේ රසායන විද්‍යා පළමු පත්‍රය, තාක්‍ෂණවේදය පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍රද සවස් වරුවේ දේශපාලන විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ද පවත්වන බව ඔහු කීය.

නත්තල් උත්සව සමය නිමිත්තෙන් විභාගය දෙසැම්බ්ර් 24, 25 සහ 26 යන දිනයන් හිදී නොපැවැත් වේ.

මේ අනුව නොවැම්බර් 27 වැනිදාට නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා ද, නොවැම්බර් 28 බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විභාගය දෙසැම්බර් 23 සඳුදා ද, නොවැම්බර් 29 සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා ද, දෙසැම්බර් 02 සඳුදා නොපැවැත් වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා ද, දෙසැම්බර් 03 අඟහරුවාදා නොපැවැත් වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා ද පැවැත්වීමට නියමිතය.

පොදු සාමාන්‍ය පරීක්‍ෂණ දෙසැම්බර් 07 වැනි සෙනසුරාදා පැවැත්වෙන අතර එදින නව කාලසටහනක් වෙනත් වර්ණයකින් මුද්‍රණය කර සිසුන්ට ලබාදීමට කටයුතු කරන බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් සියලු වගකීම විභාග දෙපාර්තමේන්තුව ගන්නා බවත්, කිසිදු අක්‍රමිකතාවයක් සිදුනොවන ආකාරයට ප්‍රශ්න පත්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ මහතා කීය.

විභාගය පවත්වා අවසන්වීම පාසල් නිවාඩු කාලය තුළම සිදුවන නිසා නිවාඩු කාලය තවදුරටත් දීර්ඝ කරනවාද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයක් කරනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment