ඌන භාවිත කාණ්ඩය තුළ සිරවූ  ඔසු පිරි පලතුරු…

613

* පලතුරු සිය ගණනක් තිබෙන රටේ වෙළෙඳපොළට එන්නේ ජනප්‍රිය පලතුරු වර්ග කීපයක් පමණයි

* ඌන භාවිත පලතුරු අතර විදේශ විනිම උල්පත්

* රෝග වළක්වන සංයෝග රැසක් ඇති බවට විද්‍යාත්මක අනාවරණ

ඌන භාවිත කාණ්ඩය තුළ සිරවූ  ඔසු පිරි පලතුරු...

මීට දශක දෙකකට ඉහතදී ශ්‍රී ලංකා – ඇමරිකා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පලතුරු බෝගයන්හි ගවේෂණය, එකතුකිරීම, සංරක්ෂණය සහ රූපීය විදහා දැක්වීම යන පියවර උදෙසා වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙහිදී ඉලක්කගත පලතුරු ප්‍රභේදයන් වූයේ වෙළෙඳපොළ ජයගෙන සිටින අඹ, කෙසෙල්, පැපොල්, අන්නාසි වැනි ජනප්‍රිය පලතුරු වර්ග නොව ජනතා අවධානයට එතරම් දුරට හසුනොවූ පලතුරු ප්‍රභේද ගණනාවකි. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන පරිදි අටවිසි බුදුන් අතරින් විසිඑක්වෙනියා වූ පුස්ස බුදුරදුන් බුදුවීමමේදී පිටදුන් නෙල්ලි ශාකය නොහොත් ඇඹල ගසද මේ අතර විය. මෙම කාණ්ඩය අනෙකුත් ජනප්‍රිය පලතුරු වලින් වෙන්කර හඳුනාගැනීම සඳහා “ඌන භාවිත පලතුරු” වශයෙන් නමක්ද සාදාගත් අතර, විසි වසරකට පසුවත් එම ලේබලයෙන් මිදී ගමනක් යන්නට නොහැකිවීම මෙම පලතුරු කාණ්ඩයට සිදුවූ අසාධාරණයක් බව පෙනේ. වගකීම සමස්ත සමාජයේමය.

ඌන භාවිත කාණ්ඩය තුළ සිරවූ  ඔසු පිරි පලතුරු...

ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල වශයෙන් දිවයිනේ සැඟව සිටි පලතුරු ප්‍රභේද ගණනාවක් විද්‍යාත්මක අධ්‍යයනයක් යටතේ පිටතට පැමිණි අතර ඇතැම් ඒවා නිල නිර්දේශයත් ලබමින් පැළ නිෂ්පාදන වැඩසටහන්වලට පවා මේ වනවිට ඇතුළත්ව සිටී. එහෙත් මේවාහි තිබෙන අනගි ගුණාංග ගැන ජනතාවට ඇත්තේ තවමත් අල්ප අවබෝධයකි.

ඌන භාවිත කාණ්ඩය තුළ සිරවූ  ඔසු පිරි පලතුරු...

තම ආචාර්ය උපාධිය වෙනුවෙන් මෙම පලතුරු වර්ග ගණනාවක් ගැන හැදෑරූ පර්යේෂිකාවකගේ අත්දැකීම් අප මෙහිදී ඉදිරිපත් කරන්නේ මේ පිළිබඳව ඇති පාඨක දැනුම සවිබල ගන්වා ඔවුන් තුළ ඇති උනන්දුව තව දුරටත් ප්‍රේරණය කිරීම සඳහායි. ඇය බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණායතනයේ ආචාර්ය ලාංකිකා මල්ලවආරච්චිය. ප්‍රධාන අධ්‍යයන නිමිත්ත වී ඇත්තේ ඌන භාවිත පලතුරු බෝග කීපයක තිබෙන මිනිස් සිරුරට හිතකර රසායනයන් පිළිබඳව සොයායෑමයි.

“මම අධ්‍යයනය කළ ඌන භාවිත පලතුරු ප්‍රභේද 21 ක ලක්ෂණයන්ගේ සාමූහික ඇගයීම හරහා නෙල්ලි බෝගය තමයි ඉදිරියටම ආවේ. පලතුරු අතර විටමින් සී වැඩිපුරම තියෙන්නෙත් නෙල්ලි වල. ඒත් මිනිස් සිරුරේ දෛනික සී විටමින් අවශ්‍යතාව නෙල්ලි හරහා ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව අපි වරකට කෑමට ගන්නේ නෙල්ලි ගෙඩියක් හෝ දෙකක් විතර නිසා. මීට අමතරව අනුභවයෙන් පස්සේ නෙල්ලිවල තිබෙන ෆීනොලික සංයෝග වලින් 84% ක පමණ ඉහළ ප්‍රතිශතයක් ශරීරයට උරාගත හැකි තත්ත්වයට පත්වෙනවා. අංක එකට මෙම පලතුර පත්වීමට එයත් හේතුවක්. අතීතයේ සිටම නෙල්ලි වලට ඖෂධීය ගුණය අතින් ඉහළ පිළිගැනීමක් ලැබී තිබෙන්නේ මේ නිසයි.”

ආචාර්ය ලාංකිකා විස්තරය ඇරඹුවේ එලෙසිනි. මෙරට නෙල්ලි ශාකය ස්වභාවිකව දක්නට ලැබෙන්නේ වියළි කලාපය ආශ්‍රිත වියළි පතන හා සවානා තණබිම්වලත්, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලත්ය. මෙම ශාකයේ විශේෂ හැකියාවක් වන්නේ එවැනි පරිසරවල හටගන්නා ගිනිගැනීම් වලට ඔරොත්තුදීමයි. එයට සුදුසු පරිදි සකස් වූ ගනකම් පොත්තක් නෙල්ලි ශාකයට තිබේ. මීට අමතරව අඩු ජල සැපයුමක් යටතේ වර්ධනයවීමේ හැකියාවද ඇත. මල් හටගැනීම සඳහාද අඩු තරමින් සති 2-3 ක කාලයක් ජලය රහිතව පැවතීමද අවශ්‍යතාවක් බව පෙනේ. ජලය රැඳෙන ස්ථානයක සිටුවූයේ නම් මල් හටගන්නේද නැත. මේ නිසා ගෙවත්තක වුවද මෙයට සුදුසු වන්නේ අනෙකුත් ශාක වවන්නට නොහැකි වැලි, ගල් බොරළු බහුල ජලය හිඟ ස්ථානයකි. වෙනත් බෝග වලට ගෙවත්තේ ‘හොඳ තැන්’ ලබාදී කවුරුත් අකැමැති තැනකට යන්නට නෙල්ලි ශාකය මනාප වීම ගෙවතු කළමනාකරණයට කෙතරම් පහසුවක්ද?

ලොකු ගෙඩි තිබෙන නෙල්ලි ප්‍රභේදයක් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමකින් තොරව කවුරුන් හෝ විසින් කලකට ඉහතදී මෙරටට රැගෙනවිත් තිබෙන අතර ඌනභාවිත පලතුරු ව්‍යාපෘතිය යටතේ වැල්ලව ප්‍රදේශයේ ස්ථානයකින් එකතුකළ සාම්පලයක් වශයෙන් මෙහි ගුණාංග විස්තරාත්මකව හදාරා, අවසානයේදී නිල වශයෙන් නිර්දේශ කර ඇත්තේ ‘රෝහණ වැල්ලව‘ යන දේශීය නම යටතේය. සාම්පලය ලබාගත් ස්ථානයේ හිමිකරු රෝහණ පෙරේරා නම්වීම අදාළ නම යෙදීමේ හේතුව විය. වසර 8-10 ක පමණ කාලයක් වැයකරමින් නිල නිර්දේශය දක්වා ප්‍රභේදය රැගෙන ගියේ දැනට විශ්‍රාමික කෘෂි විද්‍යාඥ ආචාර්ය කල්‍යාණි කැටපේආරච්චි විසිනි.

ආචාර්ය ලාංකිකාගේ පර්යේෂණයන් තුළින් දෙවැනි තැනට පැමිණි ඌන භාවිත පලතුර වන්නේ උගුරැස්සයි. වියළි සහ අතරමැදි කලාපයන් වෙත නෙල්ලි සීමාවෙත්දී උගුරැස්ස හොඳටම හැදෙන්නේ තෙත් කලාපයේය. ඇන්තොසයනින් සහ ෆ්ලවනොයිඩ් වර්ණක බහුලව අන්තර්ගත වීම නිසා මිනිස් සිරුරේ ආරක්ෂණ යාන්ත්‍රණයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරකයන් නොඅඩුව සැපයීම උගුරැස්ස පලතුර මගින්ද සිදුකෙරේ. මෙම ප්‍රතිඔක්සිකාරක වලින් 60%-65% ක් සිරුරට උරාගැනීමේ හැකියාව ඇති බව ඇය පවසයි.

දිවයිනේ දේශගුණික කලාප භේදයක් නැතිව වැවෙන තවත් වැදගත් ඌන භාවිත පලතුරක් වන බෙලි, වැඩිපුර පරිභෝජනය කෙරෙන්නේ බෙහෙතක් වශයෙන් මිස පලතුරක් හැටියට නොවේ. අරටුව හැර මල්, පොතු, ගෙඩි, කොළ පමණක් නොව සවිමත් පලාවරණය නොහොත් ‘කටුව’ පවා දේශීය වෙදකමේදී බහුලව භාවිත කරනු ලබයි.

“ඉදුණ බෙලි බඩ විරේක කිරීමේ හැකියාව දරනවා. ඒ වගේම අමු ඵලය එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඇතිකරමින් අතීසාරය වැනි අවස්ථාවලදී එයට ප්‍රතිකාරයක් වෙනවා. මේ පලතුරෙත් ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළයි. උරාගැනීමේ ප්‍රතිශතය 74% ක පමණ ඉහළ අගයක්. “මුක්ත ඛණ්ඩ” යනුවෙන් හඳුන්වන අංශු තමයි සිරුරේ සෛල ව්‍යුහය බිඳ දමමින් විවිධ ආබාධ ශරීරයට ඇතිකරන්නේ. මගේ පර්යේෂණයේ එක අවස්ථාවකදී බෙලි නිස්සාරකයත් සමග මුක්ත ඛණ්ඩ එකතුකරලා සෛලගත ද්‍රව්‍ය වලට හානි වෙනවාද කියලා බැලුවා. බෙලි නිස්සාරකය නොමැති විටදී අප දුටු හානිය, බෙලි තිබෙන විටදී දුටුවේ නෑ. ඒ කියන්නේ මේ පලතුර මොනතරම් සාර්ථකව සිරුර තුළ ආරක්ෂක මෙහෙවරක් ඉටුකරනවා ඇත්ද?”

ආචාර්ය ලාංකිකා විමසා සිටී. හොරණ පර්යේෂණායතනය මගින් “හොරණ බෙලි – 1” නමින් ඇතුළත ගම් ප්‍රමාණය අඩු, වසර 4 ක් තුළ ගෙඩි හටගන්නා බෙලි ප්‍රභේදයක්ද තෝරාගෙන නිර්දේශ කර ඇති අතර මේ වනවිට බද්ධ පැළ නිෂ්පාදනයද සිදුකරනු ලබයි. දිවුල්, වෙරළු සහ නමිනන් ද ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් ඌන භාවිත පලතුරු බෝගයන් වන අතර ජනප්‍රිය පලතුරු කීපයකට සීමාවී තිබෙන අපගේ පරිභෝජන රටාවට මෙවැනි සැඟවුණු බෝගයන් එකතුකර ගැනීම නිරෝගිමත් දිවිපෙවෙතකට මඟ සලසන බව මෙවන් පර්යේෂණ තොරතුරු හරහා සනාථ වන්නේය. ගෙවත්තේ හෝ පහසුකම් සීමා වූ නවාතැනක නම් විශාල බඳුනක් තුළ හෝ සිටුවාගැනීමට සුදුසුවන පරිදි බද්ධ පැළ වශයෙන් හෝ මේවා ලබාගැනීමට හැකියාව තිබේ. ඔබගේ උනන්දුව ඇත්නම් අප සතු මේ වටිනා පලතුරු කාණ්ඩය විදේශ විනිමය උපයන අපනයන  බෝගයන් බවට පත්කරගැනීමේ හැකියාවද ඇත.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment