ඌරන් රජවුණ දියපොකුණක්

69

එක්තරා වනාන්තරයක් මධ්‍යයේ මනස්කාන්ත ජලාශයක් තිබුණා. අතිශයින් ම සුන්දර පරිසරයක් වූ මෙය දැක්කා ම දියවන්නා පාර්ක් එකේ සෞන්දර්ය මොන බම්බුවක් ද කියලා හිතෙනවා. දිය මත පිහිනා යන රණ හංසියන් ද පිපී සුළගේ නැළැවෙන නෙළුම් ඕලු මානෙල් ආදි පුෂ්පයන්ගේ මකරන්දය උරා බොන බඹරුන් ද පරිසරයට එක් කරන්නේ අමුතුම චමත්කාරයක්. නිදහසේ ඒ මේ අත පිහිනා යමින් පෙම් කෙළින හංස ජෝඩු ගෝල් ෆේස් පිට්ටනියේ කුඩ යට පෙම් කෙළින උන්ට වඩා විනීතය. ජලාශයේ නිසසල දිය දහර පළිඟුවකට වඩා පැහැදිලිය. මේ පළිඟු දිය යටින් පිහිනා යන මත්ස්‍ය සමූහයා රිදී පැහැයෙන් දිලිසෙන අයුරු විශ්මිතය. කොටින්ම කියනවා නම් මොවුන් නලියන්නේ ටී වී එකේ කොත්තු දැන්වීමක බිකිනි ඇඳගෙන දඟලන ඇබිතිලි කෙල්ලන් මෙනි. පිපී සුළඟේ නැළැවෙන නෙළුම්, ඕලු, මානෙල් ආදී පුෂ්පයන්ගේ මකරන්දය උරාබොන බඹරුන්ද පරිසරයට එක් කරන්නේ අමුතුම චමත්කාරයකි. නිදහසේ ඒ මේ අත පිහිනා යමින් පෙම් කෙළින හංස ජෝඩු ගෝල්ෆේස් පිටිටනියේ කුඩ යට පෙම්කෙළින උන්ට වඩා විනීතය. ජලාශයේ නිසසල දිය දහර පළිගුවකට වඩා පැහැදිලිය. වනාන්තරයේ බොහෝ කුරුලු කොබෙයියන් මෙන්ම සතා සීපාවන්ද උන්ගේ පිපාසාව සංසිඳුවා ගැන්මට ද මේ ජලාශයට පැමිණ ෆුල් ටෑන්ක් වෙන්න කූල් ඩි්‍රන්ක්ස් පාරක් දාගෙන යන්නේය. එසේම පායන කාලයක් එළැඹුණ කල්හි වනාන්තරයෙන් අඩකට වඩා සතා සීපාවන්ගේ ජල අවශ්‍යතාවයන් ඉටුකර දෙන්නේ මේ මහා ජලාශ තොමෝයි. ඉතිං මෙහෙම කාලයක් ගෙවෙද්දී වනාන්තරයට දැඩි නියං කාලයක් එළැඹුණා. කුරුලු කොබෙයියන් ඇතුළු සෑම සතා සීපාවෙක්ම උග්‍ර ජල හිඟයකට මුහුණ දුන්නා. මේ හේතුව නිසාම වනාන්තරයේ එහා කෙළවරේ සිට පැමිණි වල්ඌරන්, මී හරකුන්, බූරුවන් පමණක් නොව කිඹුලන්, කබරයන්ද පැමිණ කාටත් නොදැනෙන්නට මෙහි පදිංචි වෙන්නට පටන් ගත්තා. මෙසේ බොහෝ ආගන්තුක සතුන් ජලාශය ආක්‍රමණය කරන්නට වීම නිසා පෙර දවසේ ජලාශයේ තිබූ ආකර්ශනීය තත්ත්වය පහව යන්නට වුණා.

වල්ඌරන් හා මීහරකූන් ජලාශයට වැදී ජල පොකුණ එකම මඩවගුරක් බවට පත්කරන්නට පටන් ගත්තා. මෙතෙක් කාලයක් නිර්මල මනරම් ජල පොකුණක් සේ පැවතුණ මේ ජලාශය නොහික්මුණ වල්ඌරන්, මී හරකුන් වැනි එවුන් පැමිණීම නිසා අපවිත්‍රව ගොස් ඇති හැටි බොහෝ විනය ගරුක සතා සීපාවුන් කම්පාවෙන් යුතුව කතා කරන්නට වුණා. නොහික්මුණ එවුන් නොගැළපෙන තැන්වලට අවාම ඔහොම තමා…. මොනවා කරන්නද…. හැමවිටම සත්ව සමූහයාගේ ප්‍රගතිය උන්නතිය ගැන හිතන බොහොමයක් එවුන් කිසිවක් කරකියාගත නොහැකිව තැන් තැන්වලට එකතුව මේ ගැන කතිකා කරන්නට වුණා.

මේ අතර වාරයේ මුළු මහත් ජලාශයට ම අමුතු සුන්දරත්වයක් එක්කරමින් සිටි රණ හංසයෝ වෙනත් ඉසව් කරා පියඹා ගියා. බොහෝ කුරුලු කොබෙයියන් ද වල් ඌරන්, මී හරකුන් මඩ කළ වතුර බීමට නොහැකිව වෙනත් වනාන්තරවල පදිංචියට පියෑඹූවා. දැන් සමහර දාකට, ඒ දවස් වල තාපස ආරාමයක් වගේ තිබුණ මේ නීල ජලාශයේ කෙළවරක් නැති වලි! මේ ඊයේ පෙරේදාත් මී එළදෙනක් එක්ක වල් ඌරෙක් කොක්කක් දා ගත්තා…. කියලා වැඩක් නෑ නියම මඩ!. අනේ නීල ජලාශයට වෙච්ච දේ. වනාන්තරයේ සාමයට ලැදි බුද්ධියක් ඇති වැදගත් විදියට ජීවත් වෙන හැම එකෙක්ම මනස්කාන්ත පරිසරයක් මවා තිබූ මේ ජලාශයට වී ඇති අබග්ගය ගැන කම්පාවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි අසීරු අමාරු අවස්ථාවක වනාන්තරයේ ඕනෑම සතෙකුට සැනසිල්ලේ දිය පොදක් බොන්නට තිබුණ තැන නොගැළපෙන උන්ගේ සම්ප්‍රාප්තියෙන් පත්ව ඇති තත්ත්වය මුළු වනාන්තරයම අපවිත්‍ර කළා.

“ඔවුන්ව ගහලා පන්නමු” බොහොමයක් සත්තු යෝජනා කළා.

“ඒකත් ලේසි නෑ….. ජීවිත කාලේම මේකේ ලගින්න උං එක එක නීතිත් හදා ගෙන” තව එකෙක් කිව්වා!

“දවසක් ඉතිං එළු කපල් එකක් ඊවිනිං වෝක් එකක් යන ගමන් ජලාශය පැත්තට ආවා. බොහොම කාලෙකින් සැඳෑ සුවය විඳින්නට කියලා මේ එළු කපල් එක පොකුණ පැත්තට ආවත්…… ඒ වෙනකොටත් එදා පීස්ෆුල් නීල ජලාශයක්ව පැවැති, අද මඩ වළේ වල්ඌරු මී හරක් වලියක් ෟ එහෙන් කිඹුලන් කබරයන් පී ආර් ඉල්ලලා යුද්ධයක් පටන් අරං…… බොහොම කාලෙකින් සැ`දැ සුවය විඳින්න කියලා මේ එළු කපල් එක පොකුණ පැත්තට ආවේ !

‘ හපෝ ඔයා මේවා පෙන්නන්නද යමු වෝක් එකක් දාන්න කියලා මාව මේ මඩ වළ පැත්තට එක්කං ආවේ …… අනේ මේකද මේ වැදගත් උගතුන් වියතුන් ගැවසෙන සුන්දර නීල ජලාශය.’

එළු ඇබේණිය එළුසන්ට නිකං කිණ්ඩියට වගේ ටෝකක් දුන්නා !

‘ගණන් ගන්න එපා ඩාලිං අජා ! ඕක මොකක්ද වනාන්තරයට ම ආදර්ශයක් දෙන රාජ සභා වත් ඔය වගේම තමා ! යං යං හොඳ වෙලාවට අපි පොඩි එවුන් ටික එක්ක ගෙන නාවේ ! යි කියූ එළුසන් ඇබේණියගේ කරට අතක් දමාගෙන වෙන පැත්තකට මාරු වෙලා යන්න හදද්දී නරිනිඳු එතැනට තට්ටු වුණා !

‘හේයි නරිනිඳු !, එළුසන් තරමක් දුරින් යන නරිනිදුට කතා කළා !

‘ මං යනවා බං පොකුණ පැත්තට, නරිනිඳු උත්තර දුන්නා.

‘ කොහෙද බං දැන් මෙහෙ දිය පොකුණක්! අර වල්ඌරොයි, මී හරකුයි කිඹුල්ලුයි බොර කරපු මඩවළක් නං තියෙනවා ! , එළුසන් කිව්වා.

‘ඒක තමයි මං ඒ පැත්තට යන්නේ ,

‘ඒ අහවල් කජ්කටද,

‘හෙහේ …………… මං ඒ පැත්තට යන්නේ බොරදියේ මාළු බාන්න ! යි කියූ නිරිනිදු එළු කපල් එකෙන් වෙන්ව දිය පොකුණ පැත්තට පිටත් වුණා !

ආදර්ශය : ඌරන් මීහරකුන් දිය පොකුණු මඩ කරනවිට බොරදියේ මළු බාන්නේ නරින්ය.

සරත්චන්ද්‍ර පත්තලඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment