ඌර්කාවතුරේ එස්.අයි. ජාවාරම්කරුගේ ගෙදර කුඩු ගහද්දී අතේ මාට්ටු

41

කිළිනොච්චියේ ආනන්දපුරම් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසක් තුළ සිටි උප පොලිස් පරීක්ෂකවරයකු සමග පුද්ගලයන් පස්දෙනකු කිළිනොච්චිය පොලිසිය විසින් පෙරේදා (28 දා) අත් අඩංගුවට ගෙන තිබේ.

සැක කටයුතු ලෙස පුද්ගලයන් පිරිසක් එම නිවසේ රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය එම නිවස වටලා පරීක්ෂා කළ අවස්ථාවේදී මේ පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඒ වනවිටත් එම නිවස තුළ හෙරොයින් මිලිග්‍රෑම් 2700 ක ප්‍රමාණයක් තිබී හමුවීම නිසාය.

අත්අඩංගුවට පත් උප පොලිස් පරීක්ෂකවරයා යාපනයේ ඌර්කාවතුරේ පොලිසියේ සේවය කරන අයකු වන අතර ඔහු කිළිනොච්චියේ මෙම නිවසට පැමිණ ඇත්තේ මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා බවට තොරතුරු හෙළි වී තිබේ.

ඔහු ඇතුලු පිරිස පොලිස් අත්අඩංගුවට පත්වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හැරෙන්නට අනෙක් ඉතිරි හතර දෙනාම මත්ද්‍රව්‍ය පානය කොට සිටි බව හෙළි වී තිබේ.

එමෙන්ම ඔහුගේ හිතවතකු වන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එම ව්‍යාපාරය පවත්වා ගෙන යෑම සඳහා උප පොලිස් පරීක්ෂකවරයා උදව් උපකාර කොට ඇති බවද පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් පස්දෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කිළිනොච්චිය පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment